2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

මැතිසබයේ විනස පිරිහෙන්නේ ඡන්ද ක්‍රමයේ වැරැද්දෙන්

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 42

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කලබලගෑනි බහුල වෙමින් තිබේ. බොහෝ මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල වන්නේ විනය විරෝධී ලෙස මැතිසබයේ හැසිරීම සම්බන්ධයෙනි. කලකට ඉහත පොත්පත්වලින් පුටුවලින් හා මිරිස්කුඩුවලින් ගසාගත්  මැති ඇමැතිවරු එම ක්‍රියාදාමය ඉදිරියටම ගෙන යමින් සිටිති. පසුගිය මාසයේ අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීවරයා සෙංකෝලය උස්සන්නට ගොස් සති දෙකකට පාර්ලිමේන්තුව තහනම් කර ගත්තේය. ඊට දින කිහිපයකට පසු ඩයනා ගමගේ රාජ්‍ය අමත්‍යවරිය හා සජබයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා හා රෝහණ බණ්ඩාර අතර ගුටි හුවමාරුවක් පාර්ලිමේන්තුව තුළ සිදු වූ අතර එම විනය විරෝධී ක්‍රියාවට මාසයක කාලයක් ඔවුන්ට පාර්ලිමේන්තුව තහනම් කරන්නට පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව තීරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවට බාධා කරමින් ඔහු අත තිබූ ලේඛන කිහිපයක් උදුරාගැනීම හේතුවෙන් ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ පාර්ලිමේන්තු සේවය සති දෙකකට අත්හිටුවීමට කතානායකවරයා කටයුතු කළේ පසුගිය නොවැම්බර් 22 දාය.

පාර්ලිමේන්තුවේ ගෞරවය පිරිහෙමින් පවතින බවත් දේශපාලනඥයන් විනය විරෝධි ලෙස හැසිරෙන හෙයින් මෙවැනි දේශපාලකයන් රටට අනවශ්‍ය බවත් ජනතා මතය බවට පත්ව තිබේ. මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ විනය කඩකරන මැති ඇමැතින්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දේශයට ප්‍රකාශ කළේය. පවත්නා නීතිමය තත්ත්වය අනුව දැඩි විනය කඩකිරීමකදී අදාළ මන්ත්‍රීවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට පවා හැකියාවක් ඇතැයි ද යම් විනය කඩකිරීමකදී ඒ සම්බන්ධයෙන් සම්මත කෙරෙන මැතිසබා යෝජනාවක් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකර පරීක්ෂා කොට නීතිපති උපදෙස් මත අදාළ නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙන යාමට නීතිමය අවසරය ඇති බවද හෙතෙම සඳහන් කළේය.

අතීතයේ ඉතා ගෞරවණීය ආයතනයක් වූ පාර්ලිමේන්තුව මේ වන විට විනය පිරිහුණු ස්ථානයක් බවට පත්වීමට බලපෑ සාධක මොනවදැයි අප විමසා සිටියේ හිටපු අගවිනිසුරු සරත් නන්ද  සිල්වා මහතාගෙනි.  ඒ මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව සකස් වී ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ එම සම්ප්‍රදායන් ආරක්ෂා කිරීමෙන් මෙම තත්ත්වය වළක්වා ගත හැකි බවටය.

''පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් බොහෝ රාජ්‍යවල මෙන්ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවත් සකස් වී ඇත්තේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවයි. බොහෝ දෙනකුගේ මතය වී ඇත්තේද  විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට බලය පැවරිය යුතු බවටයි.  පාර්ලිමේන්තුව බලවත් කිරීමට නම් එය ප්‍රථමයෙන්ම විනීත සභාවක් විය යුතුයි. අතීතයේ අපේ පාර්ලිමේන්තුව බ්‍රිතාන්‍ය සම්ප්‍රදායයන් අනුවම ක්‍රියාත්මක වුණා. පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයා. පාර්ලිමේන්තුව පාලනය කිරීමේ වගකීම පවතින්නේ ඔහුටයි. කතානායකවරයා සිටින්නේ ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය හෝ ආරක්ෂා කිරීමට නොවෙයි. ඔහු සිටින්නේ ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමටයි. ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටින්නේ මහජනතාවගේ ඡන්දයෙන්. ඒ නිසා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම ඔහුගේ වගකීමයි. ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට නම් පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාම විනීතව හැසිරිය යුතුයි. ඇතැම් මන්ත්‍රීවරුන් කතානායකවරයාටවත් ගරු කරන්නේ නැති බවක් පෙනෙනවා. මන්ත්‍රීවරුන් අවිනීතව හැසිරෙනවා නම් ඔවුන්ට විනය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම කතානායකවරයා වෙත පැවරෙනවා. පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරකම් රෑපවාහිනියෙන් විකාශනය වෙනවා. ජනතාව මේවා දකිනවා. සභාව විනීතව කටයුතු නොකරන්නේ නම් ඉන් හානි වන්නේ ජනතා පරමාධිපත්‍යයටයි.

ඒ කාලයේ ගාලු මුවදොර පැවැති පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ඉතා විනීත ලෙස සිදු වුණා. එම පාර්ලිමේන්තුව සකස් වී තිබුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය අනුවමයි. එම පාර්ලිමේන්තුවේ එකිනෙක මන්ත්‍රීවරුන්ගේ ආසන තිබුණේ ඉතා සමීපවයි. විවාදයට එක්වන දෙදෙනා මුහුණට මුහුණ බලාගෙනයි කතා කළේ. ජේ.ආර්. ජයවර්ධන මහතා කරන ලද ලොකුම වැරැද්ද එම පාර්ලිමේන්තුව එතැනින් ඉවත් කළ එක. ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුව වෙනස් කරන්නේ නැහැ. ඉන්දියාව වගේ රටක මෑතකදී අලුත් පාර්ලිමේන්තුවක් හැදුවේ සාමාජිකයන් පිරිස විශාල නිසා. ඒත් ලංකාවේ 225 දෙනාට විශාල පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ. පරණ පාර්ලිමේන්තුවේ හොඳට ඉඩකඩ තිබුණා. පාර්ලිමේන්තුව විශාල නිසා මන්ත්‍රීවරු සිටින්නේ එකිනෙකාට දුරස්ථවයි. පැරණි පාර්ලිමේන්තුවේ තිබුණේ ඕඩර් පේපර් එක විතරයි. එය එළියේ මේසයක් මත තබා තිබුණා. අවශ්‍ය මන්ත්‍රීවරයා ගිහින් එය රුගෙන එනවා. ජනතාව කියනවා නිසි අධ්‍යාපනයක් නැති පිරිස් පාර්ලිමේන්තුවට පැමිණීම නිසා මෙවැනි තත්ත්වයක් ඇති වී තිබෙනවා කියලා. අතීතයෙත් එතරම් අධ්‍යාපනයක් නොතිබි පුද්ගලයන් පාර්ලිමේන්තුවේ සිටියා. එහෙත් ඔවුන් විනීතව, ගෞරවණීය ලෙස පාර්ලිමේන්තුවේ හැසිරුණා.

වර්තමානයේ පාර්ලිමේන්තු නියෝජනය සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා. අතීතයේ මන්ත්‍රීවරයකු පත් වුණේ ආසන මට්ටමින්. ඔවුන් ඇමතුවේ එම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙසයි. ඔහු පාර්ලිමේන්තුවේ කතාවක් කරන විට ඔහු නියෝජනය කළේ තම ආසනයේ ජනතාවයි. ඔහු පාර්ලිමේන්තුවේ අවිනීතව හැසිරුණොත් ඔහුගේ ආසනයේ ජනතාවගෙන් දොස් අහන්න සිදු වෙනවා. මනාප ක්‍රමය ආවට පස්සේ ජනතාවට වගකියන එක මන්ත්‍රීවරුන්ගෙන් ඈත් වුණා. ඔහු කුමන ප්‍රදේශයක් නියෝජනය කරනවාදැයි කිසි කෙනෙක් දන්නේ නැහැ. ඔවුන් ඇත්තටම මහජනතාව නියෝජනය කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ වර්තමාන තත්ත්වය ඇතිවීමට මේක එක හේතුවක් වුණා ලොව කොහෙවත් මෙවැනි ක්‍රමයක් නැහැ. ජේ.ආර්. ජයවර්ධන මහතා අනුපාත ක්‍රමය දැම්මේ සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂයට වැඩි අනුපාතයක් ලබා ගැනීමේ අරමුණින්. අනුපාත ක්‍රමය නිසා එක්සත් ජාතික පක්ෂය කවදාවත් පරදින්නේ නැහැ කියලා ඔහු සිතුවා. ආසන අඩු වුණත් වැඩි අනුපාතයක් ඔවුන්ට ලැබුණා.  ජේ.ආර්. ජයවර්ධන මහතා ගෙනාවේ ලැයිස්තු ක්‍රමය. එවිට ලැයිස්තුවේ යට සිටි පුද්ගලයන් මැතිවරණයට එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන් දිරිමත් කිරීමට සංශෝධයක් ලෙසටයි මනාප ක්‍රමය ගෙන ආවේ. වසර 17කට පසු එම ක්‍රමය වෙනස් වුණා. පසුව පැමිණි පුද්ගලයනුත් එම ක්‍රමය භාවිත කළා තමන්ගේ පැවැත්ම සඳහා. මේ නිසා තමයි ජනතාවට වගනොකියන මන්ත්‍රීවරුන් පිරිසක් බිහි වුණේ. ඒ නිසා කඩිනමින් යළි ආසන ක්‍රමයට ගිහින් ජනතාවට වගකියන මන්ත්‍රීවරුන් පත්කරගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ව්‍යවස්ථාවේ පවතින වගන්ති තුනක් වෙනස් කිරීම පමණයි. මම ඒක හදලා දිනේෂ් ගුණවර්ධන මහතාට දුන්නා. තවමත් ඒකට කොමිටි හදනවා. 

පාර්ලිමේන්තුවේ විනය රුක ගැනීමට නම් මුලින්ම කළ යුත්තේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමයි. එවිට ආසනයට වගකියන මන්ත්‍රීවරයෙක් සිටිනවා. දෙවැනුව පාර්ලිමේන්තු සම්ප්‍රදායයන් දැනගත යුතුයි. ස්ථාවර නියෝග යනු සුළු කාරණාවන්. ප්‍රධානතම කරුණු පවතින්නේ සම්ප්‍රදායන් ලෙසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව එක් මන්ත්‍රීවරයෙක් නැඟිට කතා කරන විට වෙනත් කිසිදු මන්ත්‍රීවරයකුට නැගිටින්නට බැහැ. දැන් ස්ථාවර නියෝග කියලා හැමදේටම නැගිටිනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව ස්ථාවර නියෝග යටතේ නැගිටිය හැක්කේ කලින් මන්ත්‍රීවරයාගේ කතාව අවසන් වූ පසුවයි. එවිට දෙපිරිස අතර ගැටුමක් නිර්මාණය වන්නේ නැහැ. ඒ නිසා පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කිරීමට මැති ඇමැතිවරු කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවේ අවිනීතව හැසිරෙන පුද්ගලයන්ට සතියක් දෙකක්, මාසයක් පාර්ලිමේන්තුව තහනම් කළා කියලා කිසිම ප්‍රයෝජනයක් නැහැ. දඬුවම අවසන් වූ පසු යළි පාර්ලිමේන්තු ඇවිත් මේ පිරිස ඒ දෙයම නැවත කරනවා. එවැනි පුද්ගලයන්ට ඊට වඩා ලොකු දඬුවමක් ලබා දීමටත් නොහැකියි. ඒ නිසා කතානායකවරයා තම භූමිකාව වඩාත් තදින් ඉටු කළ යුතුයි. එක් මන්ත්‍රීවරයකු කතා කරන විට වෙනත් කිසිදු මන්ත්‍රීවරයකුට ඔහුට බාධා කළ නොහැකි යැයි අවධාරණය කළ යුතුයි. කතානායකවරයා වැරදි සිදුවීමට ඇති අවකාශය අවම කළ යුතුයි. එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කිරීමෙන් පහසුවෙන් කළ හැකියි.''

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02