2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

’’යුද අපරාධ කියල දෙයක් නෑ: යුද්ධය කියන්නෙම අපරාධයක්’’ - යුක්‍රේන යුද පෙරමුණේ දිවිදුන් කපිතාන් රනිෂ්

 2023 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 249

''මේ යුද්ධය තව බොහෝ කාලයක් පවතීවී. කවද ඉවර වෙයිද කියලා කියන්න අපි දන්නේ නෑ. සමහරවිට මේ යුද්ධය අවසන් වෙනවා දකින්න මම ජීවත් නොවී ඉන්නත් ඉඩ තියනවා. අපි බලමු...''

ඒ රුසියානු යුක්‍රේන යුද බිමේ මියගිය ශ්‍රී ලාංකික රණවිරුවා මියයාමට මත්තෙන් කී කතාවයි. ඔහු නමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ හිටපු කපිතාන්වරයෙකු වන රනිෂ් හේවගේය.

මියයාමට ඉතා කෙටි කාලයකට පෙර සංජීව රත්නායක විසින් පවත්වාගෙන යන්න ''වැනස TV'' යූටියුබ් නාලිකාවට ලබාදුන් බව කියන, වීඩියෝවක පෙනී සිටිමින් කැප්ටන් රනිෂ් හේවගේ මෙම ප්‍රකාශය සිදුකොට තිබුණි.

මේ වනවිට රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු යුද බිමේදී මියගොස් ඇති බව තහවුරු වී ඇත. බී.බී.සී. අනාවරණයකට අනුව මෙම සටන් අතරතුරදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ නාවික හමුදාවේ සේවය කර ඇති රොඩ්නි ජයසිංහ සහ එම්.එම්. ප්‍රියන්ත යන අයද තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබති. මේ තොරතුරු ඔවුන් වෙත තහවුරු කර ඇත්තේ ශ්‍රී ලාංකික හිටපු හමුදා සාමාජිකයෙකු වන හතුරුසිංහ යන අයවේ.

නලින් රාජපක්ෂ යූටියුබ් නාලිකාවේ අනාවරණයකට අනුව රුසියානුවන් ''කළු හතුරා'' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා ඇති කැප්ටන් රනිෂ් හේවගේ, ''කපිතාන් ඩෙන්ටිස්ට්'' නමින් යූක්‍රේනුවන් හඳුන්වා තිබේ. යුද බිමේදී ප්‍රදර්ශනය කළ දස්කම් හේතුවෙන් ඔහු යූක්‍රේන ජනාධිපති සම්මාන හතරකින් පිදුම් ලැබූ විරුවෙක් බවද කියවේ. ඒ නිසාවෙන්ම රුසියානු හමුදා පවා ඔහු පිළිබඳ දැන සිටි බව මෙම වාර්තා හෙළිදරව් කරයි.

සටනේදී මියගිය තවත් ශ්‍රී ලාංකික සෙබළකුගේ මළ සිරුරක් රුගෙන ඒමට යෑමේදී කැප්ටන් රනිෂ් ඇතුළු හතරේ කණ්ඩායම රුසියානු ප්‍රහාරයට ලක්ව ඇත. ශ්‍රී ලාංකික සහෝදර සොල්දාදුවෙකුගේ සිරුරක් වීම හේතුවෙන් මෙම කණ්ඩායම දැඩි අවදානමක් සහිතව මෙම ක්‍රියාන්විතය දියත් කොට ඇති බව ''නලීන් රාජපක්ෂ'' යූටියුබ් නාලිකාව අනාවරණය කොට තිබුණි.

හතුරුසිංහ නම් සෙබළාගේ යයි කියැවෙන ප්‍රකාශය මෙලෙස උපුටා දක්විය හැකිය.

''අපි ෆෝ මෑන් ටීම් එකක් විදියට රනිෂ් සර් සමඟ බොඩි එක ගන්න ගියා. මඟදීම එක්කෙනෙක් තුවාල වුණ නිසා අපි තුන්දෙනයි ඉස්සරහට ගියේ. අපි ඉස්සරහින් ලයින් එකට යද්දිම කාලතුවක්කුවලින් ගහන්න ගත්තා. ඩ්‍රෝන් ඇටෑක් එකකුත් ආවා. 4 වැනිදා උදේ 9ට විතර කාලතුවක්කු උණ්ඩයක් වැටිලා සර් එක්ක මාත් තුවාල වුණා. අපිත් එක්ක ගිය සිංහ රෙජිමෙන්ට් එකේ එක්කෙනා ඒකේදි මැරුණා.

සර්ට තුවාල වෙලා තිබුණේ. මම සර්ව කිලෝමීටර් පහළොවක් විතර අරන් ආවා. මගේ අතට කාලතුවක්කු කෑලි වැදිලා තුවාල වෙලා තිබුණේ. රනිෂ් සර් වගේ වීරයෙක් සතුරු බිමේ මැරෙන්න දෙන්න බැරි නිසා මම කොහොම හරි එයාව අරගෙන ආවා. අතරමඟදී ආයෙත් රුසියානු ඩ්‍රෝනවලින් ගහන්න ගත්තා. ඒ අතරේ රනිෂ් සර් නැතිවුණා. සර් අපිට හැමදාම කිව්වේ යුද්දේදි මැරුණොත් බොඩි එක ගන්න එපා කියලයි. ඒත් මම උපරිම උත්සාහ කළේ, සර්ව අරගෙන එන්නයි. දිගටම ඩ්‍රෝනවලින් ගහද්දි මට තනිවම පසුබහින්න වුණා...''

මෙම සිද්ධිය සිදුවී ඇත්තේ මේ දිනවල ලෝකයේම අවධානය යොමුව ඇති යුක්රේනයේ බක්මුත් ප්‍රදේශයේ පවතින සටන් අතරතුරදීය. කවර යුද බිමක මියගියද වික්‍රමාන්විත රනිෂ් ඇතුළු පිරිස වික්‍රමාන්විත සොල්දාදුවන් බව කීමට තවත් සාක්ෂි අවශ්‍ය නොවේ. ඔවුනට ඒ ගෞරවය හිමිය.

මෙම වික්‍රමාන්විත කපිතාන්වරයාගේ ඉතිහාසය සොයාබලන විට දැනගැනීමට ලැබුණේ, ශ්‍රී ලංකා යුද හමුදාවේ පළමුවැනි කමාන්ඩෝ රෙජිමේන්තුවේ කපිතාන්වරයෙකු ලෙස වසර 12ක් සේවය කිරීමෙන් අනතුරුව රනිෂ් හේවගේ 2018 වසරේදී ඉන් ඉවත්වූ බවකි. ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශයද මේ බව තහවුරු කොට ඇති බව සඳහන් කළ යුතුය. තොරතුරු වාර්තා අනුව රනිෂ් හේවගේ යූක්‍රේන හමුදාවට එක්වීමට තීරණය කොට ඇත්තේ යුද හමුදා සේවයෙන් ඉවත් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍ය බලා ගොස් එහි පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටියදීය. ඒ අනුව 2022 වසරේ මාර්තු මාසයේදී ඔහු ඩුබායිහි සිට යුක්රේනය බලා පැමිණ එරට හමුදාව සමඟ එක්ව ඇත.

මේ වනවිට විදේශීය හමුදා සෙබළු යූක්‍රේන හමුදා සමඟ එක්ව සටන් කිරීම සාමාන්‍ය තත්ත්වයක් වී ඇති බවද සමස්ත ලෝකයාම දනී. යුක්රේන හමුදාවේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස සේවයට එක්ව මෙම විදේශීය සටන්කරුවෝ සේවය කරන ''විදේශීය හමුදා ලීගයේ'' සාමාජිකයෙන් ලෙස සටන් බිමට අවතීර්ණ වී සිටිති.

ඒ අනුව විදේශ ලීගය යටතේ කැප්ටන් රනිෂ්ද මෙලෙස මාස 20කට අධික කාලයක් යූක්‍රේන යුද මෙහෙයුම්වල නිරත සිට තිබේ. වැනස TV වීඩියෝ අන්තර්ගත ඔහුගේ හඬ පටයකට අනුව ඔහුගේ සේවා භූමිකාව මෙලෙස පැහැදිලි වෙයි.

''ස්පෙෂල් ෆෝසස් එක, ලීජන් එකේ හැදුවේ මම. ඩිපෙන්ස් මිනිස්ට්‍රි එකෙන් අපිව අනුමත කරලා තිබෙනවා, ''රීජනල් ස්පෙෂල් ෆෝසස් යුනිට්'' කියලා. ඒක විකිපීඩියා එකෙත් තිබෙනවා. මෙහේ කැප්ටන් රූන්ක් එක සමාන වෙන්නෙ ලංකාවේ මේජර් රෑන්ක් එකට. මම එතකොට කන්ෆර්ම් කමාන්ඩින් ඔෆිසර් කෙනෙක් විදිහට තමා යුනිට් එක රන් කරන්නෙ...''

කෙසේ වෙතත් කැප්ටන් රනිෂ් හේවගේ මෙම තොරතුරු සපයමින් පවසා සිටින්නේ තමාට තමා ගැනම ප්‍රසිද්ධ මාධ්‍යයේ සඳහන් කළ නොහැකි බවයි. කෙසේ වෙතත් ඔහු විදේශ හමුදා ලිගයේ විශේෂ හමුදා අනුකණ්ඩය මෙහෙයවූ බව මෙම තොරතුරු අනුව පැහැදිලි වේ.

කපිතාන් රනිෂ් හේවගේ යටතේ කැනඩා හමුදා භට කණ්ඩායම්ද සේවය කර ඇත. එක් සටනකදී ඔහු සමඟ සිටි කැනඩා භටයින් 21දෙනෙකු මියගොස් ඇති බවත්, කපිතාන් රනිෂ් හේවගේ පසුගිය මාස විස්සක කාලය තුළ සටන් අතරතුරදී සිව්වතාවක් තුවාල වී ඇති බවත් වාර්තා වේ.

මියයාමට පෙර නිකුත් කරනු ලැබූ වීඩියෝවේදී ශ්‍රී ලාංකික කපිතාන්වරයා යූක්‍රේන යුද්ධයේ බරපතල බව මෙලෙස සඳහන් කොට තිබුණි.

''සමහරක් දේවල් පිළිබඳ මට කියන්න බෑ ආරක්ෂක හේතුන් නිසා. සටන් පෙරමුණේ අඩ්වාස් ඇන් ඔපෙන්සිව් කියන දේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ වින්ටර් එක නිසා. වින්ටර් නිසා අපිට අඩ්වාස් කරන්න බෑ. මූලිකම අවශ්‍යතාවය ඩිපෙන්ස් ලයින් හෝල්ඩ් කර ගැනීම. මම මේ යුද්ධයට මූලිකවම දෙන හරය මේක ආටිලරි වෝ ෆෙයා එකක්. පේස්ටු පේස්, රෙකී, ස්ටෝමින් කියන එක සීයට දෙකක් තුනක් වගේ. මේ යුද්ධයේදී මිය යන සහ තුවාල වන ප්‍රමාණය අධිකයි.''

රුසියානු ප්‍රහාර සහ නීති විරෝධී අවි ආයුධ භාවිතාවන් පිළිබඳ මෙහිදී කපිතාන්වරයා වැඩිදුරටත් අදහස් දක්වා ඇත. කෙසේ වෙතත් තවදුරටත් යුක්‍රේන යුද්ධය ගැන කතා කරන්නට ඔහු අප අතර නොමැත. 

රනිෂ් මියදෙන්නට දින තුනකට පමණ පෙර ඔහුගේ මව, සහෝදරිය ඇතුළු පවුලේ සාමාජිකයින්ද යුක්‍රේනයට පැමිණ ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. සැබවින්ම මෙය ඛේදවාචකයකි. එහෙත් කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු වික්‍රමාන්විත සොල්දාදුවන්ගේ මරණය යුද බිමේදී සිදුවීම ඔවුනට ගෞරවයකි.

කපිතාන් රනිෂ් හේවගේ අණදෙන භට කණ්ඩායමට එක්වීමේ අරමුණින් ශ්‍රී ලාංකික නිලධාරීන් හා සෙසු නිලයන්වල 70ක් එක්වීමට සිටි බවද තොරතුරු අනාවරණය වෙමින් තිබේ. යුද සේවය දීර්ඝ ඉතිහාසයක් පවතින ගෞරවාන්විත රුකියාවක් බැව් අවසානයේ අපි සිහිපත් කොට සිටිමු. එය උදක්ම දේශානුරාගය මතම පමණක් පදනම් නොවන්නක් බවත් අවසානයේ ලියා තබමු. කපිතාන් සිය වීඩියෝවේ කී කතාවකින් මෙම සටහන අවසන් කරමු.

''යුද අපරාධ කියලා දෙයක් නෑ. යුද්ධයක් කියන්නෙම අපරාධයක්...''

I චමිඳු නිසල් ද සිල්වා 
මූලාශ්‍ර : BBC සිංහල
වැනස TV (YouTube) Nalin Rajapaksa (YouTube)