පැරණි හින්දු රාජධානි සමයේ මිථිලා නුවර ජනක් පුරයේ විසූ බව කියැවෙන ධනිය නමැති ගව පාලකයකු ප්‍රකාශ කරන ලද අදහසක් අදටත් උත්ප්‍රාසයෙන් සඳහන් කෙරේ. මහා වැසි වසින්නට සූදානම් වන අවස්ථාවක ඔහු විසින් මෙසේ කියා ඇති බව දැක්වේ. “පිසින ලද බත් ඇත. දොවාගන්නා ලද කිරි තිබේ. පැල්පත සෙවිලි කර ඇති හෙයින් තෙමෙන්නේ නැත. හොඳින් ගින්දර ද දල්වා ඇත. දැන් ඉතින් ඕනෑ තරම් වැස්සාට ප්‍රශ්නයක් නැත.” තමන් සුරක්ෂිත වූ පමණින් පැවැත්ම සාධාරණීකරණය කළ නොහැක. අනාරක්ෂිත දස දහස් ගණනක් සිටිය දී ආත්මාර්ථකාමීව හැසිරීම සුදුසු තත්ත්වයක් නොවේ.
ශ්‍රී ලංකාවේ සමාජ පැවැත්ම ද ධනිය ගෝපාල සංස්කෘතියට ඇතුළු වෙමින් පවතී. රට අධික ණය බරකින් පසුවන අතර දේශීය හා විදේශීය ණය ගෙවාගත නොහැකි තත්ත්වයක පසුවේ. ආර්ථිකය අර්බුදයක පසුවන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් ස්ථාවර කරන ප්‍රයත්නයකය. ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ගැන පාලකයන්ට හෝ ජනතාවට හැඟීමක් නැත. පළාත් සභා ඡන්ද වසර දහයකින් පමණ පවත්වා නැත. පළාත් පාලන ඡන්ද පැවැත්වෙන දිනයක් ප්‍රකාශ නොවේ. ඡන්ද අයිතිය නැති රටක ආණ්ඩුව හා විපක්ෂ ක්‍රියා පටිපාටිය ගැන මහජන විශ්වාසය පිරිහී ගොස් තිබේ.
► වගකීම සහ යුතුකම් නොදන්නා රටක්
පිරිහීමකට පත් වූ සමාජ ක්‍රමය තුළ සාරධර්ම විනාශ වී තිබේ. දරුවන්ට අහන්නට දකින්නට නොහැකි දැන්වීම් ගුවන්විදුලියෙන් රෑපවාහිනියෙන් ප්‍රචාරය වේ. කාන්තාවන්ගේ අතිශය පෞද්ගලික ස්වස්ථතාව විහිළුවකට ලක් කරන ප්‍රචාරණයෙන් මඩිය තරකර ගන්නට හිතන, එවැනි පිටපතක් ලියා දී ආඩම්බරයෙන් හැසිරෙන සමාජයකට, පවතින පාලන ක්‍රමය හොඳටම ප්‍රමාණවත්ය. ශ්‍රාවකයන් දැනුම්වත් කිරීම වෙනුවට මහත් හාස්‍යෝත්පාදක ආකාරයෙන් හැසිරෙන නාළිකා ඉදිරියේ ශ්‍රී ලංකාව තවමත් පැවැතීම පුදුමයකි. සමාජ හර පද්ධතින් වැසනෙන, ඒවා පිරිහෙන්නට ඉඩ දෙන අතරවාරයේ නිහඬව සිටින ප්‍රාමාණිකයන් ගැන අප්‍රමාණ ශෝකයක් ඇතිවේ. පාලකයන් හා පාලකයන්ට පසුබිමක් නිර්මාණය කරන සන්නිවේදනයත් එකට ගැලපේ. බුද්ධිමත් සමාජයක් නිර්මාණය වුවහොත් මෙම වෙළෙඳපොළ නැත. මෙම සමාජ ක්‍රමය ද පවත්වාගෙන යන්නට නොලැබේ. දේශපාලනඥයන් විවේචනය කරන නමුත් ඔවුන් සමඟ කරගෙන යන මෙම පාලන රාමුව ශ්‍රී ලංකාව ධනිය ගෝපාල රටක් බවට පත් කර ඇත.
ධනය ඇති පුද්ගලයා රිසි සේ වියදම් කරමින් සිටී. ඇමැතිවරුන් අඳින, පළඳින හා කන බොන ආකාරය ණය ගෙවාගත නොහැකි රටක තත්ත්වයක නොවේ. ගමන් කරන සුඛෝපභෝගී වාහන දුප්පත් රටක මහජන නියෝජිතයන් බව කිසිසේත් අඟවන්නේ නැත. මැති ඇමැතිවරුන්ගේ සංචාරවලදී රට ගැන කැක්කුමක් නැත. ඩේලි මිරර් පුවත්පත අනාවරණය කළ පරිදි රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීහු අසීමිත වරප්‍රසාද භාවිත කරති. සන්ඩේ ටයිම්ස් පුවත්පත හෙළි කළ කරුණු අනුව විශාල කණ්ඩායමක් ඩුබායි ජාත්‍යන්තර සමුළුව නියෝජනය කර ඇත. පසුව මෙම පිරිස ආණ්ඩුවේ වියදමෙන් ගමන් නොකළ බව ප්‍රකාශ කළ නමුත් ශ්‍රී ලංකාවේ නියෝජිත පිරිස දෙස බලන ජගත් නායකයන් රට ණය ගෙවාගත නොහැකි තැනක් දැයි පුදුමයට පත්වනු නොඅනුමානය.
► තවත් ණය ගැනීම හා රටේ ඉරණම
2024 අයවැය ලේඛනය අනුව 2024 වසරේ දී රුපියල් ණය වශයෙන් ලබාගත හැකි සීමාව ට්‍රිලියන 7.35 දක්වා වැඩි කරගෙන තිබේ. 2022 මැද භාගයේ දී ට්‍රිලියන තුනක් දක්වා නංවාගත් මෙම ණය පහසුව දෙගුණයක් කිරීමෙන් රට ගමන් කරන දිසාව හඳුනාගත හැක. නිෂ්පාදනයක් නැති, ආදායම උත්පාදනය නොකරන අතර ණය ගෙන නැවත හොඳට කා බී සැනහෙන්නට කල්පනා කිරීම, කිසිසේත් සුදුසු තත්ත්වයක් නොවේ.
2024 අයවැය කරුණු දක්වන පරිදි රජයේ ආදායම රුපියල් බිලියන 2,839 ක සිට රුපියල් බිලියන 4,107 දක්වා වැඩිකර ගැනීමට ඉලක්ක කර ඇති අතර වියදම ද රුපියල් බිලියන 4,471 ක සිට රුපියල් බිලියන 5,277 දක්වා වැඩිවන බව පෙන්වා දී තිබේ. රජයේ ආදායම ලැබෙන්නේ කර්මාන්ත හෝ ව්‍යාපාර වැඩිදියුණු කිරීමෙන් නොවේ. කර්මාන්ත අපනයන සියයට 14.6 කින් පිරිහී ඇති බව අලුත්ම සංඛ්‍යාලේඛන පෙන්වයි. මහජනතාවට බදු පනවා ඇත. වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කරන අතර පාසල් පොත්පත්වල සිට පෙට්‍රල් ලීටරය දක්වා සියලුම දේ වැට් බද්දට යටත් කෙරේ. මෙම ධනයෙන් පොහොසත් වන ආණ්ඩුව එයින් ඉසුරුමත් ලෙස හැසිරෙන ආකාරය ඉතාම අනුචිතය.
විපක්ෂ බලවේග කරන විරෝධතා මර්දනය කරන අතර වැටුප් ප්‍රශ්න, අමාත්‍යංශවල වියදම් අඩුකිරීම හා සංවර්ධන සැලැස්මක් රහිත වීම ගැන නගන චෝදනා ඉදිරියේ ඒවා නොසලකා හැරීම ප්‍රශ්නකාරී තත්ත්වයකි. ආණ්ඩුව තුළ හා විපක්ෂ දේශපාලන කණ්ඩායම් අතර ඇති බෙදීම් හේතුකොටගෙන මහජනතාවට පිළිසරණක් නැති බව පෙනේ.
► පාලකයන්ට හිතකර ජනතා හැසිරීම
සහල් කිලෝව ශත විසි පහකින් වැඩි කරන විට හර්තාල් කරන ලද රටක් විදුලිය බිල හතර වතාවක් සියයට එකසිය පනහක් දක්වා වැඩි කිරීමෙන් පසු ද නිද්‍රාවක පසුවේ. ලක්ෂ පහක පමණ ජන කොටසකට රතු නිවේදන සහිත බිල්පත් ලැබී ඇති අතර සෑම තැනකින්ම විදුලිය හා ජලය හා සැපයුම නතර කර ඇති බවට මැසිවිලි නැගේ. සමාජයක් වශයෙන් කම්පාවන නමුත් මහ පාරට එන කිසිවකුට ප්‍රශ්න ඇති බව පෙන්වන්නේ නැත. අධික වාහන තදබදය අනුව ඉහළම මිලක් ගෙවා ඉන්ධන පරිභෝජනය කළ හැකි බව අඟවයි. ලබන වසරේ සිට වැට් එකතු කරන නමුත් මෙම ප්‍රජාවට එය ප්‍රශ්නයක් නොවන බව පෙනේ. සුපිරි වෙළෙඳසල්, භෝජන ශාලාවල සෙනඟ අඩු නැත. පහළම පැලැන්තියේ ජන කොටස් තමන්ගේ රන් භාණ්ඩ පවා උකස් කර ජීවත් වන නමුත් රට තුළ ප්‍රශ්න ඇති බව පෙන්නුම් නොකරයි.
ආණ්ඩුව ද රාජ්‍ය බැංකු දෙකක සියයට විස්සක කොටස් විකිණීමට යෝජනා කරන අතර තවත් රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලීකරණය කරන්නට සූදානම් වේ. මෙම සම්පත් විකුණන ආණ්ඩුව එම ධනය ආයෝජනය කරන්නේ ද යන්න ප්‍රශ්නයක් පැන නැගේ. විකුණන ආයතනවල ධනය ද පරිභෝජනයට වැය කරනු ඇත. රටක් පවතින්නේ කෙසේද යන්න පැහැදිලි නැත.
► ක්‍රමය වෙනස් කිරීම
රට ගොඩනගන අලුත් ප්‍රතිපත්ති කෙරෙහි ආණ්ඩුව අවධානය යොමු කළ යුතු වේ. විපක්ෂ දේශපාලනඥයන් ද රට ගොඩනගන ප්‍රතිපත්තිවලට ඉඩ දිය යුතුය. මෑත ඉතිහාසයේ සිද්ධි අනුව ආණ්ඩු ගන්නා තීරණ ඊළඟට බලයට පත්වන ආණ්ඩුව වෙනස් කරන අතර හොරකම් සොයන කොමිෂන් සඳහා සෑහෙන කාලයක් නාස්ති කරයි. එම ධෛර්යය අලුත් ප්‍රතිපත්ති සහිතව අලුත් ආයෝජන ක්‍රමවලට යෙදවුවහොත් පැවැත්ම වෙනස් කළ හැකි වේ.
රට දියුණුවන තෙක් ඇමැතිවරුන්, නිලධාරීන්ගේ විදේශ ගමන් නතර කළ යුතුය. චීනයේ ප්‍රධානීහු එක්තරා කාලයක විදේශ සංචාර අත්හිටවූහ. චීනය හා ඇමෙරිකාවේ නායකයන් ඩුබායි හි කොප් 28 සමුළුවට ආවේ නැත. ඉන්දියාව, ඉරාණය, චීනය වැනි රටවල ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු පවා සරල වාහන භාවිත කරති. ඉන්දියාවේ නිල භෝජන සංග්‍රහයක පවා ආහාර වර්ග සීමිතය. එක අතුරුපසකි. ආර්ථික වර්ධනය සියයට හය ඉක්මවා ඇති ඉන්දියාව හැසිරෙන ආකාරය හා මෙම දෙසැම්බර් මාසයේ මෙරට ඇමැති සාජ්ජවල වියදම ළඟ දී අනාවරණය වනු ඇත. මිලියන ගණනින් වැය කර සතුටු වන රටක් නමුත් ණය ගෙවාගත නොහැකි තැනක බව අමතක කළ යුතු නැත.
I සාරා කන්දෙගොඩ