ශ්‍රී ලංකාවේ ජාතික කිරි අවශ්‍යතාව වසරකට කිරි ලීටර් මිලියන 1300කි. ඉන් දේශීය වශයෙන් සපුරාගත හැක්කේ කිරි ලීටර් මිලියන 420ක් වැනි ප්‍රමාණයකි. ඉතිරි කිරි සියල්ල ආනයනික කිරිපිටිය. ඒ සඳහා වසරකට රුපියල් බිලියන 56ක් වැය කෙරේ. රටේ කිරි අවශ්‍යතාවෙන් 90%ක් පමණ නිපදවන්ගේ ග්‍රාමීය ගොවි ජනතාවය. ඉතිරිය පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපළවලින් ලැබෙන අතර එය වාර්ෂිකව කිරි ලීටර් මිලියන 15ක පමණ ප්‍රමාණයකි.
රාජ්‍ය ආයතනයක් ලෙස පශු සම්පත් මණ්ඩලය දිගු කලක පටන් පවත්වාගෙන ගියේ අලාබ ලබන ආයතනයක් ලෙසිනි. 2017 වසරේ රුපියල් මිලියන 293ක්ද, 20218 මිලියන 610ක්ද, 20219 මිලියන 369ක්ද වශයෙන් පාඩු ලැබූ පශු සම්පත් මණ්ඩලය 2020 දී එය රුපියල් මිලියන 2.8ක් දක්වා අවම කර ගැනීමට සමත් වූ අතර 2021 වසරේ රුපියල් මිලියන 169ක ලාබයක් ඉපැයීමට සමත් විය. 2022 වන විට එහි රුපියල් බිලියන 3.5ක පමණ පිරිවැටුමක් පැවති අතර මහා භාණ්ඩාගාරයෙන් කිසිදු මුදලක් ලබා නොගෙන 1200ක් පමණ වන සේවකයන් පිරිසක් නඩත්තු කිරීමටද මණ්ඩලයට හැකි විය.
එලෙස ලාබ උපයමින් සිටින පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ ඇතුළු සියලු වත්කම් ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට විවිධ පාර්ශ්ව චෝදනා කරයි. සති කිහිපයකට ඉහත කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදි මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර තිබිණි. ඔහුට අනුව මිල්කෝ සමාගම ඇතුළු පශු සම්පත් මණ්ඩලය සතු ගොවිපළ 31ක් ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් යටතට පත් කිරීමට තීරණය කර ඇතැයි ප්‍රකාශ කළේය.
''වර්තමානයේ ඌණ උපයෝජිත සහ අකාර්‍යක්ෂම මට්මමේ පවතින ජාතික පශු සම්පත් මණ්ඩලය මගින් පාලනය කරන ගොවිපළ 31ක් සහ මිල්කෝ පෞද්ගලික සමාගම මගින් සිදුකරන කිරි සැකසීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුම් කටයුතු ප්‍රතිව්‍යුහගත කිරීම මගින් එම සම්පත් කාර්‍යක්ෂම ලෙස යොදාගත හැකි වන අතර එමගින් ඵලදායිතාව, නිෂ්පාදනය සහ ගොවීන්ගේ ආදායම ඉහළ නැංවීම සඳහා ඒකාබද්ධ ව්‍යාපාර සමාගම ස්ථාපනය කිරීමට තීරණය කරන ලදී. එම සමාගම සඳහා සම්බන්ධ වූ පාර්ශ්වයන් වන්නේ ජාතික කිරි නිෂ්පාදන සංවර්ධන මණ්ඩලය, ඉන්දියානු රජය සතු එන්ඩීබී ආයතනය, ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලන සමාගම (අමුල් සමාගම) සහ ශ්‍රී ලංකාවේ කාර්ගිල්ස් සමාගම'' යැයි ඔහු සඳහන් කළේය.
ඉන්දිය සහ ශ්‍රී ලංකා සමාගම් දෙකක හවුල් ව්‍යාපෘතියක් සඳහා ජාතික පශු සම්පත් මණ්ඩලය සතු සියලු ගොවිපළ බදු පදනම යටතේ ලබාදීමට සැලසුම් කර ඇති බවත් පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ 31කට අයත් අක්කර 32000ක් බදු පදනම යටතේ ලබාදීමට නියමිත බවත් වාර්තා වේ. ඒවායේ සතුන් සහ ඉඩම්වල වටිනාකම් තක්සේරු කිරීම මේ වන විට සිදුකෙරෙන බවද බදු පදනම මත ලබා දෙන ගොවිපළ නිරීක්ෂණය සඳහා පසුගියදා ඉන්දියාවේ අමුල් සමාගමේ නියෝජිතයන් පිරිසක් පැමිණි බවද ජාතික පශු සම්පත් මණ්ඩලයේ සභාපති මහාචාර්ය එච්.ඩබ්ලිව්. සිරිල් මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම සඳහා අවස්ථා කිහිපයකදී සභාපතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට දේශය උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගත නොහැකි විය. පසුව පශු සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ජයන්ත විජේරත්න මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසූ විට ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් තමන් දැනුම්වත් නොමැති බවයි. සභාපතිවරයා එවැන්නක් ප්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් විට ඒ සම්බන්ධයෙන් සභාපතිවරයාගෙන් විමසන ලෙසට පවසමින් ඔහු පිළිතුරු දීමෙන් වැළකී සිටියේය. මෙරට රාජ්‍ය ආයතනයක් ඉන්දියානු සමාගමකට බදු දීමට හෝ වෘත්තීය සමිති ප්‍රකාශ කරන පරිදි විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරන අවස්ථාවක ඒ සම්බන්ධයෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා නොදැන සිටින්නේ නම් මෙරට රාජ්‍ය ආයතනවල තත්ත්වය සිතාගත හැකිය.
පශු සම්පත් මණ්ඩලය ස්ථාපනය කෙරුණේ 1972 වසරේය. මෙරට ඇති විශාලම කිරි නිෂ්පාදන ආයතනය වන එහි කාර්යභාරය වන්නේ ප්‍රධාන වශයෙන්ම කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන මෙරට ජනතාවට ලබා දීමය. එම ආයතනය සතු ගොවිපළ 33ක් පවතින අතර වාර්ෂිකව කිරි ලීටර් මිලියන 15ක් පමණ එම මණ්ඩලයට අයත් ගොවිපළ මගින් නිෂ්පාදනය කරනු ලබයි. ඒ හැර මස් සහ බිත්තර සැපයුම, සත්ව අභිජනනය, සත්ව අභිජනනයට අවශ්‍ය න්‍යෂ්ටික සතුන් වර්ධනය කිරීම සහ පොල් වගාවද එම මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වේ. එමගින් වසරකට පොල් ගෙඩි මිලියන 25ක් පමණ නිෂ්පාදනය කෙරෙන අතර පොල්තෙල්, පොල් පැණි වැනි අතුරු නිෂ්පාදන ද සිදු කරයි.
විවිධ පාර්ශ්ව චෝදනා කරන්නේ පශු සම්පත් මණ්ඩලය සතු වත්කම් බදු දීමට නොව විකුණා දැමීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි. පශු සම්පත් මණ්ඩලය ඉන්දියාවේ අමුල් සමාගමට විකුණා දැමීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින අතර එම තීරණයට එරෙහිව අධිකරණය හමුවට යාමට තමන් කටයුතු කරන බවත් දේශ හිතෛෂි ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ. රු.100,000 ට අඩු වටිනාකමක් ඇති වත්කම් තක්සේරු කිරීමකින් තොරවම අමුල් සමාගමට පවරා දීමට තීරණය කර ඇති අතර මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ආර්ථිකය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඉන්දියාව මත යැපීමට සිදුවන තත්ත්වයක් නිර්මාණය වන බවද සඳහන් කරයි.
“සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් පශු සම්පත් මණ්ඩලය පිහිටුවා රජයේ පොල් ඉඩම් එම ආයතනයට ලබාදුන්නේ කිරි ගවයින් අභිජනනය කර ගොවීන්ට ලබාදීම සහ ගොවිපොළ යොදාගනිමින් කිරි නිෂ්පාදනය ඉහළ දැමීම සඳහායි. එහි අවසන් අපේක්ෂාව බෝග වගාව සමග කිරි ගොවිතැන ඒකාබද්ධ කිරීම මගින් ගොවීන්ගේ ආදායම් මට්ටම වැඩි කිරීමයි. කුමන දුර්වලතා තිබුණත් එම අරමුණ හා අදාළ පද්ධතිය බිඳ දැමීම දුෂ්ඨ ආර්ථික ඝාතක ක්‍රියාවක්'' යනුවෙන් ඔහු සඳහන් කරයි.
පශු සම්පත් මණ්ඩලය සුරුකීමේ සංවිධානයද පෙන්වා දෙන්නේ ඉන්දියාවට ලංකාවේ කිරි කර්මාන්තය නඟා සිටුවීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති අතර ඔවුන් උත්සාහ කරන්නේ ඉන්දියාවේ නිෂ්පාදනය කෙරෙන අතිරික්ත කිරි ප්‍රමාණය ශ්‍රී ලංකාවට අලෙවි කිරීමට බවයි. පශු සම්පත් මණ්ඩලය සුරුකීමේ සංවිධානයේ සභාපති සුමේධ බණ්ඩාර ''මේක අඩු තක්සේරුවකට විකුණන්න හදනවා. මේ ආයතන දෙන්න යන්නේ ඉන්දියාවට. ඉන්දියාව කියන්නේ ලෝකයේ අංක එකේ කිරි නිෂ්පාදකයා. ලංකාවේ කිරි නිෂ්පාදනය දියුණු කරන්න ඉන්දියාවට කිසිම අවශ්‍යතාවක් නැහැ. ඔවුන් කරන්නේ ඉන්දියාවේ වැඩිපුර තිබෙන කිරි ටික ලංකාවට විකුණගන්න'' යනුවෙන් සඳහන් කළේය.
ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත් මහතා පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මෙලෙස සඳහන් කළේය. ‘‘පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ජාතික ගොවි ව්‍යාපාරයේ අපි රටට මුල්වරට හෙළි කළා ‘අපේ මිල්කෝ ආයතනයත් එහි සියලු දේපළත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළ 31කුත් විකිණීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට. දැන් ඒ මහා ජාතික අපරාධය කිරීම සඳහා කැබිනට් අනුමැතිය අරගෙන ඉඩම්, දේපළ, සතුන්, තක්සේරු කරන්නත් පටන් අරගෙන ඉවරයි. ඊට අමතරව මිල්කෝ ආයතනයේ කිරිපිටි නිෂ්පාදනය වන %හයිලන්ඩ්^ සන්නාමය සම්පූර්ණයෙන්ම විකිණීම සඳහා නව කැබිනට් පත්‍රිකාවකුත් දාලයි තියෙන්නේ. නිෂ්පාදන කර්මාන්ත ශාලා 04, බෙදාහැරීමේ මධ්‍යස්ථාන 12, කිරි සීත කිරීමේ මධ්‍යස්ථාන 93, මේ ඔක්කොම ‘අමූල් සමාගමට’ දෙන්න කටයුතු කරනවා.'' යනුවෙන් සඳහන් කළේය.
අමුල් සමාගමට මෙම ආයතනය පවරා දෙන්නේ බදුවලින් නිදහස්ව වන අතර මෙලෙස පවරා දීමෙන් පසු මෙරට කිරි ඒකාධිකාරය අමුල් සමාගමට පැවරෙන බවද අනාගතයේ මෙරට කිරි මිල මිල තීරණය කරන්නේ අමූල් සමාගම බවද සඳහන් කරන ජාතික ගොවි ව්‍යාපාරය නව දේශීය ව්‍යවසායකයන්ට කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයට පිවිසීමට ඇති අවස්ථාව අවහිර කරමින් විදේශ සමාගම්වලට එම අවස්ථාව උදාකර දීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා