විදුලිය බිඳවැටීම් අපිට අරුමයක් නොවන තරමටම ලාංකීය බලශක්ති අර්බුදය බරපතළ වී හමාරය. පසුගිය දෙසැම්බර් 9 වැනිදා හිටිහැටියේම මුළු දිවයිනේම විදුලි බිඳවැටීමක් සිදුවිය. රටම අඳුරේ ගිලී ගිය මෙම විදුලි බිඳවැටීම පිළිබඳ කුකුසක් මහජනයා තුළ ඇති වූයේය. ඒ අනුව සතියක් ඉක්ම ගිය තැන ඉකුත් සෙනසුරාදා සිදුවූ සිදුවීමේ පෙර අපර සන්ධි ගලපා බැලීමට අපි තීරණය කළෙමු.
''බැලූ බැල්මට පෙනී යන්නේ මේක ස්වභාවික හේතුවක් මත සිදුවූ දෙයක් කියලා. අකුණක් නිසා ඇතිවූ තත්ත්වයක් කියලයි කියන්නේ. ඒක ගැන තවදුරටත් හොයා බලනවා.''
මෙම හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ විගසින් පිළිතුරු බැඳි විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන නියෝජ්‍ය සාමාන්‍යධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා පවසා තිබුණි.
මෙම අනාවරණය අනුව කොත්මලේ සිට බියගම දක්වා විදුලිය ගෙන එන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇතිවූ ගැටලුවක් මෙම හදිසි විදුලි බිඳවැටීමට හේතු වී තිබුණි. කෙසේ වෙතත් මෙම බිඳවැටීමත් සමඟ රටපුරා විවිධ ක්ෂේත්‍රවලට අයත් ආයතන තුළ විවිධාකාර වූ ගැටලු රැසක් උද්ගත වූයේය. ඇතැම් කර්මාන්තශාලාවල යන්ත්‍ර සූත්‍ර අකර්මණ්‍යවීම් ආදී ගැටලු වාර්තා වී තිබුණි. විදුලි බිඳවැටීමෙන් විදුලි බල මණ්ඩලයට සිදු වූ පාඩුව කෙසේ වෙතත් කර්මාන්ත සහ ව්‍යාපාර කෙරෙහි සිදුවූ පාඩුව තවදුරටත් ගණන් බලා නොමැති බව පැහැදිලිය.
සෙනසුරාදා හදිසියේ විදුලිය බිඳවැටීමත් සමඟ අක්‍රිය වූ කොළඹ ජාතික රෝහලේද MRI යන්ත්‍ර කිහිපයක් පසුගිය බ්‍රහස්පතින්දා වනවිටත් නඩත්තු කර නොමැති බවට මේ අතර අප වෙත වාර්තා විය. මීට සමාන සිදුවීම් දිවයින පුරා තවත් සිදුවූ බව පැහැදිලිය. එහෙත් ඒ කිසිවක් පිළිබඳ හාවක් හූවක් නොවුණේය. මෙය රටේම විදුලිය එකවර බිඳවැටුණු පළමු අවස්ථාව නොවන බව සිහිපත් කළ යුතුය. ආසන්න වසරවලදී මෙවන් සිදුවීම් කිහිපයක් වාර්තා වූ අතර ඒ හා සම්බන්ධ නිසි පරීක්ෂණ සිදුවුයේදැයි ගැටලුවකි.
කෙසේ වෙතත් ජාතික ආරක්ෂාවටත් රටේ ආර්ථිකයටත් බලපෑම සහගත වූ මෙම සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ සංවාදයක් හටගත්තේය. මෙම තත්ත්වයට හේතුවූ සත්‍ය කරුණු හෙළිකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දෙසැම්බර් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේය.
මෙම පැනයට පිළිතුරු ලබා දුන්නේ විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධයි.
''මේ වෙද්දී විදුලිබල අමාත්‍යාංශය සහ විදුලිබල මණ්ඩලය පරීක්ෂණ ආරම්භ කරලා තියෙන්නේ. ඒ නිසා දත්ත සටහන්, ඒ ආකාරයෙන් ජනන යන්ත්‍රවලින් ලබා ගැනීමට හේතුවූ කරුණු මේ වෙද්දීත් අපි අනාවරණය කරගෙන තියෙන්නේ.''
''2015 වසරේ දී ඉදිකරන්න තිබ්බ පොල්පිටිය - කොත්මල් රැහැන් පද්ධතියේ ඉදිකිරිම වසර ගණනාවකින් ප්‍රමාද වෙලා තියෙන්නේ. ඒ නිසා, ඇයි මෙච්චර ප්‍රමාද වුණේ මේක ඉදිකරන්න හේතුව ගැන පරීක්ෂණයක් කරන්න කියලා ඇමැතිතුමා දැනුම් දුන්නා. මේකට හේතු කාරණා ගණනාවක් තියෙනවා.''
''මේ අවුරුද්ද පුරාම අපි පැය 24ම විදුලිය දුන්නා. නමුත් ඊයේ මෙහෙම අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවුණා.''
මේ අතර විදුලි ඉංජිනේරුවන්ගේ පාර්ශ්වයෙන් කියවුණේ වෙනත් කතාවකි. රටේ පවතින විදුලි ඉල්ලුම සහ සැපයුම නිසියාකාරව පවත්වාගෙන යාමේ දී ජාතික විදුලිබල පද්ධතිය ඇතැම් අවස්ථාවලදී මුහුණ දෙන අසමතුලිතතාවන් නිසා ක්ෂණිකව විදුලි සැපයුම බිඳ වැටීමකට ලක්වීමේ හැකියාවක් පවතින බව ඔවුන් කීවේය.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ජනක ලක්මෙවන්ගෙන් මහතා මාධ්‍ය වෙත මෙසේ කරුණු පැහැදිලි කොට තිබුණි.
''විදුලිය කියන්නේ පරිභෝජනය කරන භාණ්ඩයක්. ප්‍රශ්නය තියෙන්නේ අනිත් ඒවා වගේ විදුලිය ගබඩා කරන්න බැහැ. මේ වගේ ලොකු ශක්තියක් ගබඩා කරන්න පහසු නැහැ. සාමාන්‍ය ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන් බැටරිවල වගේ. හැබැයි ඒ වෙනුවෙන් ලොකු වියදමක් දරන්න වෙනවා.''
''ලංකා විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මැදිරිය තමයි රටේ තියෙන විදුලි ඉල්ලුමට අවශ්‍යතාවය සහ රටේ තියෙන විදුලි බලාගාරවල තියෙන ජනන යන්ත්‍රවලින් නිපදවෙන විදුලිය සමතුලිත කරලා තමයි ලබා දෙන්නේ. ඒ සමතුලිතතාවය නැතිවුණාම විදුලි සැපයුම බිඳ වැටීමකට ලක්වෙන්නේ.''
කෙසේ වෙතත් මෙම සිදුවීම හරහා රුපියල් කෝටි 200ක පමණ පාඩුවක් සිදුවී ඇති බවත්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම විදුලිය බිඳවැටීම සිදුව ඇති බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සඳහන් කොට තිබුණි. ඔවුන් මෙම සිදුවීම පිළිබඳ රහස් පොලිසිය වෙත පැමිණිල්ලක් පවා සිදුකළේය. ඔවුන්ගේ අදහස අප මේ සමඟම ඔබ වෙත ඉදිරිපත් කරමු.
කෙසේ වෙතත් අවසානයේ සඳහන් කළ යුත්තේ ජාතික ආරක්ෂා, ජාතික ආර්ථිකය සේම ජන ජීවිතය කෙරෙහිද බලපෑම්සහගත මෙවන් සිදුවිය නැවත නැවතත් වාර්තා වීම යහපත් තත්ත්වයක් නොවන බවයි. මෙවන් සිදුවීම් වළක්වා ගැනීම සියලු බලධාරීන්ගේ වගකීමකි.
I චමිඳු නිසල් ද සිල්වා