2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

නත්තලට පෙරම අහස උසට යන බඩුමිල

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 72

උත්සව සමය ආසන්න වනවිට රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම කවදත් සිදුවන දෙයකි. මෙවරද එය එසේ සිදුවෙමින් පවතී. එහෙත් මෙවර එම තත්ත්වයේ විශේෂත්වයක් ඇත. එයට හේතුව උත්සව සමය ආරම්භයට සෑහෙන කාලයක සිටම වෙළෙඳපොළේ මිල ඉහළ යාමට පටන්ගෙන තිබීමය. විශේෂයෙන් ආහාර ද්‍රව්‍යවල මිල විශාල ලෙස වැඩිවී ඇති අතර එයට හේතුව ලෙස පැවසෙන්නේ අයහපත් කාලගුණික තත්ත්වයයි. ඒ නිසා ඉහළ ගොස් තිබුණු මිල මට්ටම උත්සව සමය ආසන්න වනවිට ඉතාම තීව්‍ර තත්ත්වයට පත්ව තිබේ. ඒ හේතුවෙන් මෙම දිනවල වෙන උත්සවකාලවලට වඩා භාණ්ඩ හා සේවා මිල අසීමාන්තික ලෙස ඉහළ යාමේ අනතුරක් උද්ගතව ඇත.

උත්සව සමයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට ප්‍රධාන කරුණු දෙකක් බලපායි. ඉන් එකක් වන්නේ ඉල්ලුම ඉහළ යාමය. අනෙක අවශ්‍ය තරම් භාණ්ඩ වෙළෙඳපොළට නොපැමිණීම නිසා කෘත්‍රිම වෙළෙඳපොළක් නිර්මාණය වීමය. භාණ්ඩ සැපයුම අඩු වූ විට මිල වැඩිකර අලෙවි කිරීමට වෙළෙන්දාට පොට පෑදෙයි. උත්සව සමයේ භාණ්ඩ ඉල්ලුම වැඩිවීමට එක හේතුවක් වන්නේ පාරිභෝගිකයා තුළ සාමාන්‍ය දිනවලට වඩා මිල මුදල් ගැවසීමය. එවිට ඔහු වෙනදාට වඩා වැඩියෙන් ඉල්ලයි. එසේම උත්සව සමයේ ඔහු ඉල්ලන ද්‍රව්‍යවලද වෙනසක් පෙනේ. උත්සව සමයට පරිහරණය කරන සුවිශේෂ භාණ්ඩ සඳහා ඉල්ලුම වැඩිවෙනවා දැකිය හැකිය. ආහාර රටාවේ වෙනසක් ඇතිවන අතර ඇඳුම් පැළඳුම් ආදියේද ඉල්ලුම ඉහළ යනවා ඇත. වෙනදාට නොඉල්ලන භාණ්ඩද ඇණවුම් කරනු දැකගත හැක.

මේ වනවිට සිව් දෙනකුගෙන් යුත් පවුලක මාසික පාරිභෝජන වියදම රුපියල් 58,000කින් වැඩි වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වාර්තා කරයි. 2019 වසරේදී 4 දෙනකුගෙන් යුතු පවුලක මාසික පාරිභෝජන වියදම රුපියල් 63,130ක්ව පැවතියද 2023දී එම වියදම රුපියල් 1,19,498ක් දක්වා ඉහළ නැග තිබේ. අද පවතින භාණ්ඩ මිල අනුව ඉදිරියේදී මෙම වියදම තවදුරටත් ඉහළ යනු ඇතැයි උපකල්පනය කෙරේ.

එසේම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත වූ වැට් බදු සංශෝධන පනත අනුව සියයට 15ක් වූ වැට් බද්ද සියයට 18 දක්වා වැඩි වූ අතර බද්දෙන් නිදහස්ව තිබූ භාණ්ඩ 97කට 0 සිට සියයට 18 දක්වා බදු පනවා ඇත. මෙම තත්ත්වයද උත්සව සමයේ සහ ඉදිරියට භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ යාමට හේතු වී ඇති බව පෙනෙන්නට තිබේ. වෙළෙඳුන් දැනටමත් බඩු මිල ඉහළ දමා ඇත. උත්සව සමයේදී මස් සහ බිත්තරවලට ඉහළ ඉල්ලුමක් ඇතිවන නිසා ඒවායේ මිල ඉහළ යාම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එහෙත් මෙවර එලෙස මිල වැඩිවීම උග්‍ර තත්ත්වයට පත්ව ඇති අතර පසුගිය සතිය තුළ කුකුළු මස් කිලෝවක මිල රුපියල් 150කින් පමණ වැඩිව ඇති බව පෙනෙන්නට තිබේ. කුකුළු මස් මිල රුපියල් 800ට බස්සන බවට වෙළෙඳ ඇමැති පුරසාරම් දෙඩුවද පසුගිය සතිය වනතුරු රුපියල් 1200ක් පමණ අලෙවි වූ මස් කිලෝව රුපියල් 1350 දක්වා ඉහළ නැග ඇති බව සනාථ වෙයි. පසුගිය 11දා වනවිට සම සහිත කුකුළු මස් කිලෝව රුපියල් 1100-1150ට අලෙවි කළ අතර කරි චිකන් කිලෝව රුපියල් 1050ක් විය. ශීත කළ මස් කිලෝවක මිල රුපියල් 960ක් වූ නමුත් මේ වනවිට ක්‍රමයෙන් මිල ඉහළ නගිමින් පවතින බව වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව සනාථ වෙයි.

මේ අතර බිත්තර මිලද ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින අතර පසුගිය සතියට වඩා බිත්තර මිල රුපියල් 20කින් පමණ මේ වනවිට ඉහළ නැග තිබේ. සාමාන්‍යයෙන් රුපියල් 40ක මට්ටමේ තිබූ සුදු බිත්තරය රුපියල් 55ක් දක්වාද රතු බිත්තරය රුපියල් 65 දක්වා රුපියල් 23කින් පමණද වැඩිවී තිබේ. මේ වනවිට ලැබෙන ආරංචි අනුව ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල රුපියල් 70 දක්වා ඉහළ නැග ඇති අතර දෙසැම්බර් 20 ඉක්මවන විට තවත් රුපියල් 5-10කින් ඉහළ නගිනු ඇතැයි අපේක්ෂා කෙරේ. පසුගිය දිනවල පැවැති අධික වර්ෂාව නිසා කුකුළු ගොවිපොළවල් සති ගණන් වතුරෙන් යට වී තිබුණු අතර, කිකිළියන් බිත්තර දැමීම අඩුවීමද, ප්‍රවාහනය කිරීමට අපහසුවීමද නිසා ඉල්ලුමේ තරමට බිත්තර සැපයීමට නොහැකි වී තිබෙන බව ගොවීහු පවසති. රජය විසින් පසුගිය සමයේ මහා පරිමාණ වශයෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලැබූ බිත්තර නිසා වෙළෙඳපොළට බලපෑමක් සිදු කිරීමට හැකියාවක් ලැබී නැත. ආහාර ඇමැතිවරයා මේ වනවිට උත්සාහ ගනිමින් සිටින්නේ යළිත් වරක් බිත්තර ආනයනය කිරීමටය. බිත්තරවලට පසුගිය සමයේ පැනවූ පාලන මිලද මේ වනවිට අක්‍රිය වී තිබේ.

අපේ රටේ දෛනික බිත්තර අවශ්‍යතාව ලක්ෂ 55-60 පමණ වන අතර වෙළෙඳපොළට සැපයෙන්නේ ලක්ෂ 5ක් පමණ වන නිසා බිත්තර හිඟයක් පවතී. උත්සව සමයේ බිත්තර ඉල්ලුම තවත් ඉහළ යන බැවින් හිඟය තවත් උග්‍රවනු ඇත.

එසේම සහල් මිල ඉහළ යාමට පටන් ගත්තේ දෙසැම්බර් මාසය ආරම්භයට පෙර සිටය. කිසිදු හේතුවක් නොමැතිව කීරි සම්බා මිල එකවරම රුපියල් 50කින් පමණ ඉහළ ගියේය. එයට සමගාමීව සෙසු සහල් වර්ගවල මිලද වැඩිවූ අතර මිල අඩුම සහල් වර්ගය වන කැකුළුවල  මිලද කිලෝව රුපියල් දෙසීය ඉක්මවා ගියේය. මේ වනවිට වෙළෙඳපොළේ කිලෝව රුපියල් 200ට අඩුවෙන් සහලක් සොයාගත නොහැකිය. මහා පරිමාණ වෙළෙඳුන් සහල් සඟවා තබාගෙන වෙළෙඳපොළට නොඑවීමේ තර්ජනයක් ඇතිකර ඇති අතර ලැබෙන සහල් තොගවල මිල අනුව තමන්ට සිල්ලර මිල තීරණය කිරීමට සිදුව ඇති නිසා සහල් වැඩිමිලට අලෙවි කිරීමට සිදුවන බව ඔවුහු කියති. කෙසේ වුවද මෙම මාසය අවසානයට ළංවන විට සහල් මිල මෙයටත් වඩා ඉහළ යාමට ඉඩ තිබේ. සහල් මිල පාලනය කර ඇති නමුත් සෙසු භාණ්ඩවලට මෙන්ම සහල් පාලන මිලද නාමිකව පමණක් පවතින අතර වෙළෙන්දෝ සිතූ සිතූ මිලට විවෘතවම අලෙවි කරති.

පාරිභෝගික කටයුතු අධිකාරිය පවසන්නේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සහල් සඟවා තබා ගැනීම පාලනය කිරීම දැනට පවතින පාරිභෝගික ආරක්ෂණ පනත ප්‍රමාණවත් නොවන නිසා එය සංශෝධනය කර ස්ථාන පරීක්ෂාවට සහ නඩු පැවරීමට අධිකාරියට බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. එහෙත් පවතින තත්ත්වය කවදා වෙනස් වෙයිද යන්න තවමත් නිශ්චිතව පැවසිය නොහැකිය.

මේ අතර පාරිභෝගික ගැටලු ක්ෂණිකව ඉදිරිපත් කිරීමට මෙන්ම පාරිභෝගිකයාට වෙළෙඳපොළ මිල ගණන් පහසුවෙන් දැනගැනීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැයකර නිමැයූ මෘදුකාංගය තවමත් ක්‍රියාත්මක නොවන බව විගණකාධිපතිගේ වාර්තාවකින් හෙළිවෙයි. 2015 වසරේ ස්ථාපිත කළ මෙම මෘදුකාංගය සඳහා ලක්ෂ 50 පමණ වැයකර ඇති අතර ඒ සඳහා ප්‍රචාරණ කටයුතුවලටද ලක්ෂ 50ක් පමණ වියදම් කර තිබේ. එහෙත් මේ දක්වාම එහි පවතින විවිධ දුර්වලතා නිසා ක්‍රියාත්මක කළ නොහැකිව ඇත. එසේම 2018 සිට 2022 වසර දක්වා පාරිභෝගික අධිකාරියට ලැබුණු පැමිණිලි 1363ක් තවමත් විමර්ශන කටයුතු අවසන් කර නැති බවද විගණන වාර්තාවේ දැක්වේ.

මේ වනවිට දිවයින පුරා හෝටල් සහ අවන්හල්වලින් සියයට 50ක් පමණ වැසී ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියයි. ආහාර සකස් කිරීම සඳහා හාල් සහ සෙසු සියලුම අමුද්‍රව්‍යවල සහ එළවළු මස් මාළු ආදියේ මිල විශාල ලෙස ඉහළ ගොස් ඇත. වියළි මිරිස් කිලෝව රුපියල් 2500 දක්වා ඉහළ නැග ඇති අතර තුන පහ ආදී කුළුබඩුවලට මිල සියයට සියයකින් වැඩිවී ඇත. පොල් ගෙඩිය රුපියල් 120ක් පමණ දක්වාද පොල්තෙල් බෝතලය රුපියල් 500 ඉක්මවාද මිල වැඩිවී ඇත. මෙම තත්ත්වය මත ආපන ශාලාවලින් සකස් කළ ආහාර අලෙවි කිරීම ගැටලුවක් වී ඇත. වියදම අනුව බත් හා සෙසු ආහාර සඳහා නියම කරන මිලට ඒවා ගැනීමට පාරිභෝගිකයන් අත මුදල් නැති නිසා ඉල්ලුම අඩු වී තිබේ. විදුලිය සහ ජල ගාස්තුද ගෑස් මිල ආදියද ඉහළ ගොස් ඇති නිසා හෝටල් සහ ආපනශාලා වැසී ගොස් දහස් ගණන් පිරිසකට රුකියා අහිමි වී ඇතැයි අසේල සම්පත් කියයි.

බිත්තර සහ බී ලූනුවල මිල මේ මස 20දාට පෙර අඩු කිරීමට රජය කටයුතු නොකළහොත් නත්තල්වලට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් සහ කේක් කිලෝවක මිල රුපියල් 100කින් ඉහළ නැංවීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි. ඔහු අවධාරණය කරන්නේ මෙතෙක් කල් පාරිභෝගිකයා පිළිබඳ සලකා බලා කෙටිකෑම මිල වෙනස් නොකර පවත්වාගෙන යාමට කටයුතු කළද දැනට පවතින අමුද්‍රව්‍ය මිල අනුව එම ස්ථාවරයේ තවදුරටත් රුඳී සිටීමට නොහැකි වී ඇති බවය. මේ වනවිට බිත්තර මිල රුපියල් 60-65 අතරද සීනි කිලෝව රුපියල් 305-310 දක්වාද, ලොකු ලූනු කිලෝව රුපියල් 400-500 කින්ද ඉහළ ගොස් ඇති නිසා අඩු මිලට දීමට නොහැකි බව පවසා සිටී.

දැනට රටේ පවතින භාණ්ඩ හා සේවා මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවනතාව නිසා නත්තල් උත්සවයට පෙර සිටම සියලුම ආහාර ද්‍රව්‍ය සහ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය මිල අහස උසට නගිනු ඇති බව පෙනෙන්නට තිබේ. වගකිව යුත්තන් මේ පිළිබඳ යුහුසුළුව කටයුතු නොකළහොත් පාරිභෝගිකයාට දෙවියන්ගේ පිහිට මිස වෙන කියන්නට කෙනෙක් නැතිවෙනවා ඇත.

I යසවර්ධන රුද්රිගු