එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ රාමුව ප්‍රකාශයට පත් කර තිබේ. ඔහුට අනුව ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ දී පවත්වන්නට ඉඩකඩ ඇත. ලබන වසරේ සිට පනවන අලුත් බදු ජනතාවගේ පැවැත්ම තවත් වටයකින් දුෂ්කර කරන බව සැකයක් නැත. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළහොත් මහජනතාව තුළ ඇති විරෝධය ඡන්ද ප්‍රතිඵලය කෙරෙහි බලපාන සාධකයකි. අමිහිරි තීරණවලින් ආර්ථිකය ස්ථාවර කළ හැකි නමුත් ජනතාව මිහිරි ප්‍රතිඵලයකට සූදානම් බවක් එයින් පිළිබිඹු නොවේ.
ආර්ථිකය ගොඩනැගීම වසර 2048 දක්වා දීර්ඝ කටයුත්තක් බව දැනට ප්‍රකාශයට පත්ව තිබේ. මෙම සැලැස්ම අනුව පවතින ඉහිලිය නොහැකි බදු සමඟ ගමන් කළහොත් මහජනතාවට සුළු අස්වැසිල්ලක් හෝ නැති විය හැකිය. ආදායම් උත්පාදනය කරන අලුත් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට වහාම පියවර ගත යුතුය. වැට් බද්ද සියයට දහ අට දක්වා වැඩි කරන අතර මෙතෙක් අය නොකළ භාණ්ඩ හා සේවා වර්ග අනූ හතක් 2024 ජනවාරියේ සිට එයට යටත් කිරීම විශාල හිරිහැරයක් බව අවධාරණය කළ යුතුය.
හංගේරියාව හෝ ස්විස් රටවල් සමඟ සැසඳීම නරකය
මධ්‍ය යුරෝපා රටක් වන හංගේරියාව සිය පුරවැසියන්ගෙන් අය කරන වැට් බදු ප්‍රතිශතය සියයට විසි හතකි. එහෙත් එරට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 43,600 ක් බව ජාත්‍යන්තර වාර්තා දක්වයි. ස්වීඩනයේ වැට් බදු අනුපාතිකය සියයට විසි පහක් වන අතර එරට ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 66,200 කි. ඇමෙරිකානු ඩොලර් 4,000 කට ආසන්න වී සිටි ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 3,554 තෙක් පසුබැස ඇත. පිරිහී ගිය ආර්ථිකය හදන්නට වැට් බද්ද වැඩි කර ඇති අතර සියයට දහ අටක ඉහළ ප්‍රතිශතයක් දක්වා වැඩි කර තිබේ. ඉහළ ආදායම් මට්ටමක් සහිත රටවල වෙසෙන ජන කොටස්වලට ඉහළ බදු අනුපාතිකයක් ගෙවීම ප්‍රශ්නයක් නොවේ. බදු ගෙවූ පසු ආණ්ඩුවෙන් ලැබෙන පහසුකම් ද ප්‍රමාණාත්මකය. වැටුණු ආර්ථිකයකින් පසු, බිඳවැටී ඇති ජන ජීවිතය ගොඩගැනීම අරමුණු කරගෙන, අධික බදු පටවා ජනතාවගේ පැවැත්ම තවත් වටයකින් තලා පෙලා දැමීම කිසිසේත් සුදුසු නැත.
සහනාධාර ආණ්ඩු පිහිටුවන අතර ආධාර කැපීමෙන් පසු නායකයන් පලවා හරින ඉතිහාසයක් ශ්‍රී ලංකාවට ඇත. මෙරට ජනතාව තවමත් පහළ මැදි ආර්ථික ව්‍යුහයක පසුවෙති. බහුතරයක් දෙනා දිළිඳු අතර සමෘද්ධිය හෝ අස්වැසුම ආධාර සඳහා පාරට බැස සටන් කරන්නට සූදානම්ය. ආණ්ඩුව ප්‍රකාශ කරන පරිදි, ඍජු මහජන ආධාර සඳහා පමණක් රුපියල් මිලියන 183 ක් වෙන් කරන්නට සිදුවී ඇත. මෙම සහන සහිතව යාන්තමින් ජීවත් වන සමාජයකට අලුතින් පනවන වැට් බර දැරිය හැකිද?
බදු වැඩි කරන ආණ්ඩුවේ යෝජනාව පරාජය කරන්නට යුහුසුළු නොවූ විපක්ෂය ඡන්දය විමසීමේ දී එයින් ඉවත්ව සිටියේය. ආණ්ඩුවේ පැවැත්ම ආරක්ෂා කරන කොටසක් ද, අලුතින් පනවන වැට් බදු සංශෝධන පනත සම්මත කර ගැනීම ගැන ප්‍රසාදයක් දැක්වූයේ නැත. එක වැඩි ඡන්දයකින් සම්මත කළත්, කතානායකවරයා අත්සන් කිරීමෙන් පසු බදු සංශෝධනයට අනුමැතිය ලැබේ.
මෙතැනින් රට ගමන් කරන්නේ කොතැනකටද?
ආණ්ඩුවේ ආදායම තරකර ගැනීම සඳහා බදු ඉලක්ක පෙන්වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ඒවායෙන් පීඩාවට පත්වන ජනතාව ගැන කැක්කුමක් නැත. මහජන නියෝජිතයන් වශයෙන් මැති ඇමැතිවරුන් සිය රටවැසියන්ගේ ප්‍රශ්න ගැන අවබෝධයක පසුවිය යුතුය. සුපිරි වාහනවල ආරක්ෂකයන් පිරිවරාගෙන ගමන් බිමන් යන ඔවුන්ට ජනතා දුක ගැන අවබෝධයක් නැත. ඩීසල්, පෙට්‍රල් හා පොහොරවලට ද සියයට දහ අටක වැට් බද්දක් ගෙවූ පසු උද්ගත වන තත්ත්වය අතිශය සංකීර්ණ බව සඳහන් කළ යුතුව තිබේ. වැට් බදු සහිතව යොදන පොහොර හා ඉන්ධන මිල සහිතව වගා කරන ගොවිතැනෙන් නිපදවන සහල්වල මිල අඩුවිය හැකි බව තක්සේරු කළ නොහැක. බදු ගෙවන පමණක් නොව, බදු නොගෙවන අතරමැදියන් ද වැඩි කරන මිල සමඟ බරපතළ වෙළෙඳපොළ විපර්යාසයක් අපේක්ෂා කළ යුතු වේ. ආර්ථිකය ස්ථාවර කරන පියවර වැල් පාලමක ගමනක් බව පෙන්වූ නමුත් මහජනතාවට එල්ලෙන්නට වැල් නැති තැනකට පත්වීම ඉතාම නරක තත්ත්වයකි. මෙම පසුබිම තුළ නැගෙන මහජන විරෝධය පාලනය කිරීම පහසු නොවනු ඇත.
සංවර්ධනය අපේක්ෂා කරන නමුත් එහි මානුෂික ස්වභාවයක් තිබිය යුතුය. වැට් බද්ද අය නොකළ අංශ අනූ හතකට අලුතින් බදු එකතු වේ. මෙමගින් රුපියල් බිලියන 1,278 ක් ලබාගත හැකි බව දැක්වේ. මත්පැන්වලට බදු වැඩි කළ පසු, එය සාධාරණ බව සිතන සමාජයක් තුළ මත්පැන් වැට් ආදායම රුපියල් බිලියන 49 ක් බව දැක්වේ. අනෙක් භාණ්ඩවලට පනවන වැට් බදුවලින් පමණක් අලුතින් රුපියල් බිලියන 720 ක් එකතු කරගත හැකි බව මුදල් අමාත්‍යංශ දත්ත දක්වයි. මිල වැඩි වූ පසු මත්පැන් හෝ සිගරුට් භාවිතය අත්හැරිය හැකි නමුත් එදිනෙදා අවශ්‍ය භාණ්ඩ හෝ සේවා අත්හැර පැවැත්මක් නැත. ආහාර, කෘෂි මෙවලම්, යාන වාහන, දුරකථන හා විදුලිය උපකරණ, ගොඩනැගිලි ද්‍රව්‍ය, සූර්ය කෝෂ ඇතුළු අංශ, පොත් පත් හා වාර සඟරා, පරිගණක මෘදුකාංග යනාදිය ඇතුළු අංශ වැට්වලට යටත් කිරීමෙන් පසු අත්පත් විය හැකි වාසි අවාසි ආණ්ඩුව ගැඹුරින් විශ්ලේෂණය කළ යුතු වේ.
උත්පාදනය අවහිර කරන ආර්ථික උපාය
ආර්ථිකය වර්ධනය කිරීම සඳහා නිෂ්පාදන අංශ නගා සිටුවිය යුතුය. විජාතික උපදේශකයන්ට ඉලක්කම් හැර ජනතාවගේ වේදනාව දැනෙන්නේ නැත. ආණ්ඩුවේ උපදේශකයන් හා මූල්‍ය විශේෂඥයන්ට රට ගැනත්, රට වැසියන්ගේ ජීවිත ගැනත් අවබෝධයක් තිබිය යුතුය. විදුලිය බිල වැඩි කළ පසු ලක්ෂ ගණනකට ගෙවා ගත නොහැකි වී ඇති පසුබිමක අලුත් උත්පාදන ශක්තියක් නැති ජන කොටසට ලැබෙන පිටිවහල කුමක්ද?
වැට් බද්ද මෙතෙක් අය නොකළ අංශවලට සියයට දහ අටක ප්‍රතිශතයක් යනු දළ වශයෙන් පහෙන් එකක මිල වැඩිවීමක් බව පෙන්වා දිය යුතුය. රජයේ සේවකයන්ගේ වැටුප රුපියල් දස දහසකින් වැඩි කර තිබේ. එම වැටුප් වැඩි කිරීම ප්‍රමාණවත් නැති අතර විසි දහසක් එනම් දීමනාව දෙගුණයක් කරන ලෙස ඔවුහු බලකරමින් සිටිති. පසුගිය සතියේ රට පුරා පැවැති විරෝධතා සහ වර්ජන වැඩ කරන ජනතාවගේ ආවේග පිටාර ගැලූ අවස්ථාවක් බව සඳහන් කළ හැකිය.
රටට අවශ්‍ය නිෂ්පාදනය වැඩි කරන අතර එයින් ආදායම් උපයන ක්‍රමවේදයකි. පවතින සහ රට තුළ සංසරණය වන ධනයෙන් තවත් කොටසක් ආණ්ඩුවේ පැවැත්මට උදුරාගැනීම වෙනුවට ධනය උත්පාදනය කර සාධාරණ කොටසක් ආණ්ඩුවට ලබාගැනීම සුදුසුය. ඉන්දියාවේ විසූ පෙරදිග විද්වතකු වන චානක්‍ය බදු අය කරගත යුත්තේ මී මැස්සකු මලකින් රොන් ගන්නා ලෙස බව ප්‍රකාශ කළේය. පසුගියදා බලයට පත් ආර්ජන්ටිනාවේ ජනාධිපති හාවියර් මිලේ කියා සිටියේ බදු යනු හොරකමක් වන අතර හොරකම් කරන බදු අඩුම තරමින් සෞඛ්‍ය, අධ්‍යාපන හෝ මහජන සහන සඳහා යෙදවිය යුතු නැති බවය. ඔහුගේ මතය ජයග්‍රහණය කළ අතර අතිවිශාල බදු ගෙවිය යුතු නැති බව විශ්වාස කරන ජන සමාජය ඔහු ජනාධිපති ධූරයට ඔසවා තැබීය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව බදු වැඩිකර ආදායම තරකර ගන්නට සමත් වන ආණ්ඩුව ඊළඟට මහජනතාව ගැනත් මහජනතාවගේ ගෞරවය දිනාගැනීම ගැනත් සැලකිල්ලක් නොදැක්වීම කනගාටුවට කරුණකි.
I සාරා කන්දෙගොඩ