ලංකාවේ සෞඛ්‍ය අංශය පිළිබඳව ඉකුත් සතියේ ද අසන්නට ලැබුණේ අසුබ ආරංචිය. නව සෞඛ්‍ය ඇමැතිවරයා පත්වීමත් සමඟ පළපුරුදු, ප්‍රවීණ සෞඛ්‍ය ලේකම්වරයකු ද පත්කරන්නට යෙදිණි. ඒත් පසුගිය කාලාන්තරය තුළ සිදුවූ බරපතළ හානිය තවමත් පූරණය වී නොමැත. කරුණු කාරණා පෙනී යන ආකාරයට නම් ඒ සඳහා විශේෂ ප්‍රයත්නයක් දියත් වන බවක් ද තවමත් නොපෙනේ.
පසුගිය සතියේ ජාතික රෝහලේ හෘද රෝග සායනයට ගිය රෝගීන්ට සිදුවූයේ හෘද රෝග පාලනයටම ලබා දෙන ජීවිතාරක්ෂක ඖෂධ වන ඇස්ප්‍රින්, ක්ලොපිඩෝ, බිස්පෙරොල්, ඇනලප්‍රිල්, ඇටෝවා ප්‍රමුඛ ඖෂධ 4කට වැඩි සංඛ්‍යාවක් පිටින් ගන්නට සිදුවීමය. මහනුවර රෝහලේ හෘද රෝග සායනයට ගිය රෝගීන්ට ඖෂධ 05ක් හිඟ විය. මේ අන්දමට රට තුළ ඖෂධ හිඟය තවමත් උඩුදුවා ඇති තුවාලයකි. ඒ සඳහා දිගුකාලීන හෝ කෙටිකාලීන හෝ තාවකාලික විසඳුම්වත් තවම ලබා දී නැත.
‘කොරේ පිටට මරේ’ කීවාක් මෙන් ආ රජයේ වැට් මන්දට හසුවූ ඖෂධ, වෛද්‍ය උපකරණ, අත්‍යවශ්‍ය ප්‍රතීක්‍රියක මෙන්ම රසායන ද්‍රව්‍ය සහ සෞඛ්‍ය සේවාවන් සඳහා ද වැට් බලපෑම නිසා ඉදිරියේදී රෝහල් පද්ධතිය මෙන්ම ජනතාව ද තවදුරටත් කබලෙන් ලිපට ඇද වැටීමට නියමිතය. නිදහස් සෞඛ්‍ය සේවාවට කියා ප්‍රතිපාදන සහ ආධාර මුදල් වෙන්කරන අතරම නැවත වැට් වැනි බදු හරහා මේ මුදල් පැහැර ගන්නා බවට සෞඛ්‍ය වෟත්තියවේදීන්ගේ සංගමය චෝදනා නගා තිබුණි. මේ අන්දමට මිනිසුන් රවටනු වෙනුවට නිදහස් සෞඛ්‍ය සේවාව මේ වන විට ලබා දිය හැක්කේ සියයට 50% පිරිසකට පමණක් බවට වන සත්‍ය ජනතාවට පැවසිය යුතු බවට ඔවුන් අදහස් දක්වා තිබුණි.
ඒ අතර වාර්තා වූයේ වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාව වසා දමා තිබීම නිසා අධි සංවේදී ඖෂධ රුසක්ම එහි සිරවී ඇති බවය. ගබඩා අංක 06ට අදාළ සැපයුම් බාරගැනීමට නිලධාරියකු පත්කර නැතිවීම මෙයට හේතුව ලෙස වාර්තා විය. මේ නිසා අතිශය ශීත පරිසරයක ගබඩා කළ යුතුව ඇති අති සංවේදී ඖෂධ රාශියකම ගුණ හානිවීමේ අනතුරුදායක තත්ත්වයට මුහුණ දී තිබෙන බව වාර්තා විය. වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක් නැති අතර තවත් ඖෂධ 110ක තොගයක් පවතින්නේ තවත් මාසයකටත් අඩු කාලයකට සෑහෙන්නට බව වාර්තා වේ. මේ වන විට රෝහල් ගබඩා තුළ ද ඖෂධ 86ක් නැති බව සෞඛ්‍ය වෟත්තියවේදීන්ගේ සංගමය පෙන්වා දී තිබුණි. ඒ අනුව ජනවාරියේ නව වසර අපට ඇරුඹීමට සිදුවනු ඇත්තේ ඖෂධ 300ක පමණ හිඟයකට මුහුණ දෙමින්ය.
අමාත්‍යාංශය තුළ නාස්තිය, විනාශය, අපතේ යාම වැනි මේ අලකලංචි සිදුවන්නේ කලෙක සිටය. එයට හේතුවන නිලධාරීන්ගේ කල්මැරීම, කඹ ඇදීම නිසාම එය දැන් ඇබ්බැහියක් මෙන් පැතිර ගොසිනි.
ජාතික විගණන කාර්යාලයේ (NAO) දත්ත අනුව පසුගිය වසරේ රජයේ රෝහල්වල භාවිතයෙන් මිලියන 349 ක් වටිනා ඖෂධ වර්ග මෙන්ම ශල්‍යකර්ම සහ රසායනාගාර අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ගුණාත්මක අසාර්ථකත්වය හේතුවෙන් ඉවත් කර අපතේ යවා ඇති බව වාර්තා විය. මිලියන 32 ක් වටිනා අනෙකුත් ඖෂධ වර්ග රුසක් ද එම හේතුව නිසාම භාවිතය අත්හිටුවන ලද බව වාර්තාව කියයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ සැපයුම් අංශය (MSD) වෙතින් ඒවා රෝහල් වෙත නිකුත් කිරීමට පෙර ඖෂධවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමට තරම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ඇති ජාතික ඖෂධ තත්ත්ව සහතික පර් යේෂණ රසායනාගාරය දුර්වල තත්ත්වයක පැවතීම මේ අසමත්වීමට හේතුව බව කියයි.
ශ්‍රී ලංකාවට පසුගිය වසරේ රුපියල් බිලියන 10.73 ක් වටිනා Pfizer COVID-19 එන්නත් ලබා දී ඇති අතර, මේ එන්නත්වලින් සියයට 56 ක්ම 2022 ජූලි වන විට භාවිතයකින් තොරවම කල් ඉකුත්ව තිබුණි.
2021 දෙසැම්බර් සිට 2022 ජනවාරි දක්වා කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට රුපියල් බිලියන 16ට වැඩි ෆයිසර් එන්නත් 13,999,050ක තොගයක් ලැබී තිබුණි. මෙයින්, මාත්‍රා 7,951,710 - හෝ සියයට 56ක්ම භාවිතයකින් තොරවම කල් ඉකුත්ව අත්හැර දමා ඇත.
මෙයට අමතරව වෛද්‍ය සැපයුම් කළමනාකරණය වඩා හොඳින් සංවිධානය කිරීමට සහ රාජ්‍ය රෝහල්වලට අත්‍යවශ්‍ය ඖෂධ අඛණ්ඩව ගලා ඒම සඳහා MSD සඳහා “වෛද්‍ය සැපයුම් කළමනාකරණ තොරතුරු පද්ධතියක්” (MSMIS) ස්ථාපනය කිරීමට යැයි අපතේ යැවූ මිලියන ගණනක මුදල් ගැන ද ජාතික විගණන කාර්යාලයේ (NAO) දත්ත වාර්තාව හෙළිදරව් කර තිබුණි.
මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් මිලියන 633ක් වෙන්කර තිබී ඇත. පද්ධතිය සංවර්ධනය කිරීම, සැපයීම, ස්ථාපනය කිරීම, ක්‍රියාත්මක කිරීම, පුහුණු කිරීම සහ නඩත්තු කිරීම කොන්ත්‍රාත්තුවට අයත් විය. කෙසේ වෙතත්, NAO සොයාගෙන ඇත්තේ, ඒ ව්‍යාපෘතියේ වැඩ අතරමග නතර කර දැනටමත් වියදම් කර ඇති මුදලට අමතරව තවත් රුපියල් මිලියන 102ක මුදලකට "ස්වස්ථා" නමින් නව පද්ධතියක් පිහිටුවීමට වෙනත් පෞද්ගලික අංශයේ සමාගමකට කොන්ත්‍රාත්තුව බාර දී ඇති බවය.
I සුගත් පී. කුලතුංග ආරච්චි