2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කතරගම දෙවිඳුනි කපුවා කෝ?

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 220

මිනිස්සු දේවාල ගානේ  යන්නේ බොහෝවිට දියුණුව පතාය, නැත්තමි සැනසීම පතාය. තවත් පිරිසක් යුක්තිය පතාද තවත් පිරිසක් අනෙකාගේ විනාශය පතාද යති. කොහොම කොයි විදියට ගියත් දෙවොල පිරිසිදුය. කිල්ලක් ගෑවෙන්න දෙන්නේ නැත. අඩුම කට වරද්දා ගන්නටද බැරිය. ඒ තරම් දෙවොල බලගතුය. එහෙත් දෙවොල තුළද නොපෙනෙන දෙවියන්ට පෙර අපිට පෙනෙන්නේ මිනිස්සුන්ය. ඒ නිසා මිනිස් ලොව සිදුවන ඕනෑම දෙයක් දෙවොලේ සිදුවන්නට ඉඩකඩ ඇත. මේ කියන්නට යන්නේ දෙවොලේ සිදුවූ මහ හොරකමක් ගැනය.

2019 ජූලි මස 3දා මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් ඒ මොහොතේ ඉන්දියාවේ සැඟවී සිටි අංගොඩ ලොක්කා නැමැති පාතාලයාගේ පවුලේ අය විසින් පවුම් 38ක රන්තැටියක් රුහුණු කතරගම මහා දේවාලයට පූජා කළෝය. එදින පූජා කිරීමට පැමිණි පිරිස නැවතී සිටියේ දේවාලය අසල රුවන් ගෙස්ට් හවුස් නැමැති ස්ථානයෙහිය. එම ස්ථානයේ ඉවුම් පිහිම් වැඩකළ කෝකියා විසින් මේ පවුලේ අයගේ අවසරය මත එම රන්තැටියේ ඡායාරෑපයක්ද ගත්තේය. ජූලි 3දා රන් තැටිය දේවාලයට පූජා කළේය.

කෙසේ වෙතත් කාලයත් සමඟ එම කෝකියා තවත් ස්ථානයක රුකියාවට ගිය අතර එම ස්ථානය කතරගම දේවාලයේ තවත් කපු මහතකුගේ ස්ථානයක් විය. එම ස්ථානයට ගිය කෝකියා කතාවකදී මේ රන්තැටියේ ඡායාරෑපයක් පෙන්වා මේ සිද්ධිය සම්බන්ධයෙන් කීවේය. වහාම අදාළ කපු මහතා විසින් මේ සම්බන්ධයෙන් පරීක්ෂා කළ අතර දේවාලයට එවැනි රන්තැටියක් ලැබී ඇතත් එය දුන්නේ කවදාද? දුන්නේ කුමක් සඳහාද යන්න කිසිදු තොරතුරක් සටහන් වී නැත. කෙසේ වෙතත් එය තිබුණේ නැත.

අවසානයේ මෙය ෆේස්බුක් හරහා ප්‍රචාරය විය. පසුව මේ පණිවුඩ සමාජ මාධ්‍ය ඔස්සේම කතරගම මහ නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා දැක්කේය. ඔහු එය තම ගබඩාවේ පරීක්ෂා කළත් තැටිය හෝ සටහනක් තිබුණේ නැත. වහාම මේ සම්බන්ධයෙන් නිලමේවරයා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට පැමිණිලි කළේය. ඒ අනුව කොමසාරිස්වරයා පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව 2021 ඔක්තෝබර් 21 සිට පරීක්ෂණ ආරම්භ කරන්නට විය.

පරීක්ෂණ යන අතරතුර ''හොරාට පෙර කැන වැට පනින්නට'' විය. ඒ කතරගම ප්‍රධාන කපු මහතකුගේ ඥාතියකු විසින් එක් දිනක් දේවාලයේ පරිපාලන ලේකම්තුමාට රන් තැටිය දිගු කරමින් එය ප්‍රධාන කපු මහතා විසින් දෙන්නට යැයි කිවූ බව කීවේය. කෙසේ වෙතත් ඒ මොහොතේදී ප්‍රධාන කපු මහතා එය ප්‍රතික්ෂේප කළ අතර තමන් විසින් තැටිය යැවූ බව කීම අමූලික බොරුවක් බව කීවේය. එනම් ඔහු ඊට එරෙහිව පොලීසි යන බවද එදා කීවේය. එහෙත් කාලය ගෙවී ගියේය. කපු මහතා කළ පැමිණිල්ලට සිදුවූ දෙයක් නැත.

කෙසේ වෙතත් විමර්ශනවලදී කතාව වෙනස් විය. එනම් මේ රන් තැටිය දේවාලයට දීමට පෙර ඒ පිරිස උත්සාහ කර ඇත්තේ පවුම් පහක් ලබාදීමටය. එහෙත් කපුවන් පවසා ඇත්තේ අංගොඩ ලොක්කාගේ දරුවාගේ අපල දුරුවීමට රන් තැටියක් ලබාදෙන ලෙස කියාය. කෙසේ වෙතත් අදාළ රන් තැටිය ලබාදීමෙන් අනතුරුව දින තුනකට පසුව ඒ තැටිය ප්‍රධාන කපු මහතාගේ නිවසට රුගෙන ගොස් ඇත. කෙසේ වෙතත් තැටිය සෙවීම ආරම්භ කළ විට ඒ හා සමාන තැටියක් ලක්ෂ 41කට නිර්මාණය කර ගබඩාවට භාරදුන් බවට ප්‍රකාශවලදී අනාවරණය වී තිබේ. එය පොඩි කපුවා විසින් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව ගබඩාවට දී ඇත්තේ ඇත්ත රන්තැටිය නොව නිර්මාණය කළ රන් තැටිය බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පැහැදිලි ලෙසම මෙතැන වංචාවක් සිදුවී ඇති නිසා නීතිපතිවරයාගේ උපදෙස් පැතූ අවස්ථාවේ ප්‍රධාන කපු මහතාත්, ගබඩා පාලකත්, පොඩි කපුවාත් අත්අඩංගුවට ගන්නා ලෙසට උපදෙස් ලබාදී ඇත.

එහෙත් තවමත් ඒ පිරිස අත්අඩංගුවට ගෙන නැත. ඒ දෙවියන් බලන නිසාද? නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය කපුවා දෙවියෙක් යැයි සිතන නිසාද? යන්න දන්නේ නැත. කොහොම වුණත් දැන් ඇත්තේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය බලන්නටය. අනෙක් පැත්තෙන් හොරුන් වංචාකාරයන් දෙවියන් රකින්නේද යන්නත් මෙතැනදී ඇස් දෙකෙන් දැකගත හැක.

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02