2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

බස් රථවල කාන්තා හිංසනය නැවැත්වීමට තාක්ෂණය!

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 156

''අද බස් එකේදී අසහනකාරී පිරිමියෙක් පොඩි ගෑනු ළමයෙක්ගේ ඇඟටම හේත්තු වුණා. බස් එකේ කොච්චර ඉඩ තිබුණත් මේ මිනිහ ගෑනු ළමයාගේ ළඟින් හෙලවුණේවත් නැහැ. පව් පොඩි කෙල්ල. ඉස්කෝලේ යුනිෆෝම් එක ඇඳල හිටියේ. තමන්ගේ තාත්තාගේ වයසේ පිරිමියෙක්ගෙන් අර තරම් හිංසාවක් විඳිද්දී කට පියාගෙන ගෑනු අපිට ඉන්න පුළුවන්ද...? අතේ තිබුණේ කුඩේ. ඒක අතට අරගෙන අර මිනිහට මම දෙකක් කිව්වා. ඊළඟ හෝල්ට් එකෙන් මිනිහා බැහැලා ගියා. බස් එකේ පිරිමි කොච්චර හිටියත් උන් එකෙක්වත් කටක් ඇරියේ නැහැ....''

මේ පහුගියදා දිනෙක බස් රථයක සිදුවූ සිදුවීමකි. මෙවැනි හිංසාකාරී සිදුවීම් ඕනෑතරම් පොදු ප්‍රවාහන සේවයේදී සිදුවෙයි. බස් රථවලදී පමණක් නොව දුම්රියේදීත් අසහනකාරී මිනිසුන් තම අසහනය පිටකරනු ලබන්නේ අහිංසක ගෑනුන්ගෙනි. විශේෂයෙන් මගීන් වැඩි වශයෙන් බස්රථවල හෝ දුම්රියේ ගමන්ගන්නා වේලාවන්වලදී මේ තත්ත්වය වැඩි වශයෙන් දක්නට ඇත. මෙවැනි අවස්ථාවලදී ඇතැම් කාන්තාවන් මේ හිංසාව ලැජ්ජාව නිසාවෙන්ම ඉවසා දරාගත්තද ඇතැමුන් මේ සම්බන්ධයෙන් තම විරෝධතාවය පළකරති. නමුත් මෙවැනි විටදී අසහනකාරී මිනිසුන්ගෙන් සිදුවන්නේ තදබල දෝෂාරෝපණයන්ය.

''තෙරපිලා යන්න බැරිනම් කාර් එකක් අරගෙන යන්න.''

මේ බොහෝ අවස්ථාවලදී එවැනි අසහනකාරී පුද්ගලයින් තම නිදහසට කියනා කරුණකි. ඇතැම්විට මෙවැනි පීඩාකාරී තත්ත්වයන්ට මුහුණපාන කාන්තාවන් බස් රථයේ, දුම්රියේ දැඩි ලෙස අපහසුතාවයන්ට ලක්වන අවස්ථාවද ඇත. මෙවැනි කතාවකින් බස් රථයේ සිදුවන අවස්ථාවලදී ඇතැමුන් බොරු නින්දේය. එසේත් නැතිනම් කන් බිහිරි වන සේ ඉයර්ෆෝන් එක කනේ ගසාගෙනය. බොහෝ විට අවසානයේදී අසහනකාරී පිරිමියා හා වචන හුවමාරු කරගැනීමට සිදුවන්නේ මේ පීඩාකාරී තත්ත්වයට මුහුණපාන කාන්තාවට පමණි. එසේත් නැතිනම් එවැනි අසාධාරණයක් වෙන බව පෙනි පෙනී ඇස් කන් පියාගෙන සිටීමට නොහැකි කාන්තාවකට හෝ දෙන්නෙකුට පමණි.

මෙවැනි අපහසුතාවයන්ට මුහුණපාන්නට සිදුවන අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් නීතියෙන් ක්‍රියාත්මක විය හැකි අලුත්ම ක්‍රියාමාර්ගයක් ඉතා ඉක්මණින් ගැනීමට හැකි මෙවලමක් හඳුන්වා දෙන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. මේ අනුව බස්රථවල කාන්තාවන්ට සහ ගැහැනු ළමුන්ට සිදුවන හිංසන මෙන්ම වෙනත් වංචනික ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් බස්රථ සඳහා තාක්ෂණික මෙවලමක් හඳුන්වා දීමට තීරණය කර ඇත.

''මේක වෝකි ටෝකි මාදිලියේ උපකරණයක්. බස් හිමියන්ට මෙම උපකරණය බස්රථය ඇතුළේ සවිකරන්නට පුළුවන්. එය අපි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට මෙන්ම ඒ ආසන්න පොලීසිවලට සම්බන්ධ කරන්නට තීරණය කරනවා. යම් ලෙසකින් බස් රථයක මෙවැනි හිංසාවන් කාන්තාවකට හෝ දරුවෙකුට සිදුවුවහොත් අදාළ මෙවලම හරහා ඇයට හෝ බස් රථයේ ගමන් කරනා මගියෙකුට දැනුම් දීමක් කළ හැකියි. ඒ අනුව ඔහු වෙනුවෙන් ඉතා ඉක්මණින් නීතියෙන් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ලැබෙනවා.''

යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ඔහු පවසන පරිදි එවැනි හිංසාවන් සිදුවන අවස්ථාවකදී බස්රථයේ ඇති වෝකිටෝකි මෙවලම මගින් බස් රථයේ සිදුවන හිංසාකාරී තත්ත්වය පැවසීමත් සමඟ අදාළ ස්ථානය ආසන්නයේ ඇති පොලීසියට වාර්තා වීමත් සමඟ ඒ චූදිතයා නීතියට හසුකර ගැනීමේ හැකියාව ඇත.

''ඔය කිව්වට ඕවා ක්‍රියාත්මක වේවිද කියල කියන්න අමාරුයි. අපි බස්වල යද්දි අනන්තවත් ඔය වගේ අසහනකාරීන් බස්වලට නඟිනවා. හැබැයි ඉතින් මටයි කොන්දොස්තර මල්ලිටයි හම්බ වුණොත් නම් බස් එක පැත්තකට නවත්තලා ඒ මිනිහට හොඳට සලකනවා. එහෙම අපෙන් ගුටිකාපු දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්නවා. අපිටත් ගැහැනු දරුවෝ ඉන්නවා. බස් එකේ යන ඒ ගැහැනු දරුවෙක්ට ඒ වගේ අසාධාරණයක් වෙද්දි අපිට අපේ දරුවෝ මතක් වෙනවා. ඒ නිසා අපේ බස් එකේදි අපි දැනුවත්ව නම් ඒ වගේ උන්ට උන්ගේ අසහනය ගෑනුන්ගෙන් යවන්න ඉඩ දෙන්නේ නැහැ. සමහර වෙලාවට අපි දන්න උන් බස් එකට නැග්තොත් අපි ඒ අය ගැන නොකියා පොදුවේ ''අසනහනකාරීන්ගෙන් පරිස්සම් වෙන්න'' කියලත් කියන අවස්ථා තියෙනවා. බලමු ඉතින්... ඔය වෝකි ටෝකි මෙවලම ගැන තාම අපිට විශ්වාසයක් නැහැ. ඕවායින් කතා කරල කියද්දිම අසහනකාරයා බස් එකෙන් පැනලා යන්නත් ඉඩ තියෙනවා.''

යැයි පෞද්ගලික බස් රියදුරු නිමල් ගීගනගේ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය. 

ඔවුන් පවසන පරිදි ගනු ලබන මෙම තීරණයට අනුව එය කොතරම් දුරකට සාර්ථක වේදැයි බොහෝ දෙනෙකු තුළ ඇත්තේ සැකයකි. මෙවැනි වෝකි ටෝකි මෙවලමක් සෑම බස් හිමියකුටම මිලදී ගැනීමට හැකිදැයි සැකයක් පවතී. මිලදී ගැනීමට හැකියාව තිබුණද එවැනි මෙවලමක් මිලදී ගැනීමට උනන්දුවක් ඔවුන් තුළ තිබේදැයි සැකයක් පවතී. කෙසේ වුවද ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන පරිදි එම උපකරණය හරහා දැනුම් දීමත් සමඟ නීතිය ක්‍රියාත්මක කරනු ලබන අදාළ අංශවලට එම බස් රථය ලුහුබැඳ හිංසන කරනු ලබන තැනැත්තා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති බවය. නමුත් ප්‍රායෝගිකව එලෙස කළහැකිදැයි බොහෝ තුළ ඇත්තේ සැකයකි.

''බස් එකක සිද්ධවෙන සිදුවීමක් අපි බස් එකේ ඉඳන් කිව්වත් සමහර පිරිමි කිසිම ගානක් ගන්නේ නැහැ. ළඟදී ඒ වගේ සිදුවීමක් වෙලා මමයි, තව ගැහැනු කෙනෙකුයි ඒකට විරුද්ධව කතා කළා. අසහනකාරී මිනිහා බස් එකෙන් බැහැලා ගියා. බස් එකේ හිටපු මිනිස්සු සත්තු දෙන්නෙක් දිහා බලනව වගේ මමයි, අර ගෑනු කෙනයි දිහා බලාගෙන හිටියා. ඔය අසහනකාරී මිනිස්සුන්ගේ අසහනය නවත්වන්න වෝකි ටෝකි ඕනේ නැහැ. බස් එකේ යන හැම මනුස්සයෙක්ම එකතුවෙලා ඒ වෙනුවෙන් කතා කළානම්, ඒ අසාධාරණය වෙනුවෙන් ක්‍රියා කළානම් ඔය අසහනකාරීන්ව නවත්ත ගන්න පුළුවන්. හැබැයි එහෙම දෙයක් සිද්ධ නොවෙද්දී ඒ අයගේ අසහනය වැඩි වෙනවා. කොහොම වුණත් මේවාගේ උපකරණයකින් මේ මිනිසුන්ව නීතියේ රුහැනට හසුකරගන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.''

යැයි රුවන්මලී සපුතන්ත්‍රී මහත්මිය දේශයට අදහස් දක්වමින් පැවසීය.

''කොහොමවුණත් මේ විද්‍යුත් මෙවලම මගින් අසහනකාරී පුද්ගලයින් ගැන පමණක් නොවෙයි බස් රථ රියදුරු මහතාගේ, කොන්දොස්තර මහතාගේ යම් වැරුද්දක් වුණත් කියන්නට පුළුවන්. අද සමහර බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් තම රාජකාරියේ යෙදෙන්නේ මත්ද්‍රව්‍ය අරගෙනයි. මේ ගැන වුණත් දැනුවත් කිරීමේ හැකියාවක් මේ උපකරණයෙන් කරන්නට පුළුවන්. පෞද්ගලික බස් රථවල රියදුරු අසුනට පිටුපස ඇති පුවරු ඩිජිටල් දැන්වීම් පුවරු සවි කරන්නත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. මේවායේ විශේෂයෙන් මත්ද්‍රව්‍ය, මත්පැන්වලින් වැළකීම සම්බන්ධයෙන් මගීන්ව දැනුවත් කරනා දැන්වීම් පළකරනා අතර ඒවා අතරින් පතර වෙළෙඳ දැන්වීම් පළකරවා ගැනීමේ අවස්ථාද උදාකරලීමට අපි කටයුතු සලස්වනවා. මේ ක්‍රමය ඔස්සේද නිරන්තරයෙන් මඟීන්ට දැනුවත් කරලීමත් අපි උත්සාහ ගන්නවා.''

යැයි ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා දේශයට වැඩිදුරටත් පැවසීය.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:02