විශ්‍රාම වැටුප යනු රාජ්‍ය සේවයේ නිරතව සිට යම් වයස් සීමාවකට පසු විශ්‍රාම යන රජයේ සේවකයකුට ඔහු විශ්‍රාම ගැන්වෙන අවස්ථාවේ ලද මූලික වැටුප හා ඔහුගේ සේවා කාලය පදනම් කරගෙන හිමිවෙන ආර්ථික ප්‍රතිලාභයක් සහ සමාජ ආරක්ෂණ ක්රමවේදයකි. වයස අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවකයන් අනිවාර්යෙන් විශ්‍රාම ගත යුතු වන අතර මේ වන විට විශ්‍රාම වැටුප් ලබන පිරිස ලක්ෂ 7කට ආසන්නය. විශ්‍රාම වැටුපක් හිමිවීමට රාජ්‍ය සේවකයකුට විධිමත් ස්ථිර විශ්‍රාම වැටුප් සහිත පත්වීමක් හා එම පුද්ගලයා වසර දහයක සක්‍රිය සේවා කාලයක් සම්පූර්ණ කර තිබීම අත්‍යවශ්‍ය කරුණකි.
ඇතැම් විශ්‍රාමිකයන් නඟන චෝදනාවක් වන්නේ ඇතැමුන්ට මාස තුන හතරකින් විශ්‍රාම වැටුප හිමිවුවද තවත් පිරිසකට මාස 10ක් 12ක් පමණ ගතවුවද විශ්‍රාම වැටුප ලබා ගැනීමට නොහැකි වී ඇති බවටය.
විශ්‍රාම වැටුප ගෙවීමේ ප්‍රධානතම වගකීම පවතින්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව යටතේය. විශ්‍රාම වැටුප් ප්‍රමාදය සිදුවන්නේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් යැයි සමාජයේ ප්‍රචාරයක් පැවතියද විශ්‍රාම වැටුප් ප්‍රමාදයට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ නිසි කලට නිසි පරිදි විශ්රමිකයන්ගේ ලිපි ගොනු විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත යොමු නොකිරීම හේතුවෙන් යැයි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ කේ.ජී. රවින්ද්‍ර ජයනාත් මහතා සඳහන් කරයි. පසුගිය 3 වැනිදා ස්වාධීන රෑපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ 2022 වසරේ දෙසැම්බරයේ විශ්‍රාම ගිය ඇතැම් පුද්ගලයන්ගේ ලිපි ගොනු ඔවුන් සේවය කළ ආයතන මගින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට එවා තිබුණේ 2023 දෙසැම්බරයේදී බවයි.
රාජ්‍ය සේවකයකුට තමන් සේවය කරන ආයතනයේ පාලන අංශයේ හෝ ආයතන අංශයේ ඇති තම පෞද්ගලික ලිපි ගොනුවේ ඇති ලිපි ලේඛන නිවැරදිව ගොනු වී තිබේදැයි සෑම වසර පහකට වරක් පරීක්ෂා කර බැලීය හැකිය. එහෙත් බොහෝ රාජ්‍ය සේවකයන් ඒ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදක්වන අතර එම ලිපි ගොනුවේ ඇති ඇතැම් අඩුපාඩු මත විශ්‍රාම වැටුප ප්‍රමාද විය හැකිය. තම පෞද්ගලික ලිපිගොනුව පරීක්ෂා කර බලා එහි ඇති අඩුපාඩු සම්පූර්ණ කර තිබේ නම් එවැනි ප්‍රමාදයන් සිදු නොවන බව අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
සාමාන්‍යයෙන් විශ්‍රාමිකයකුගේ ලිපිගොනුවේ පත්වීම් ලිපිය, උප්පැන්න සහතිකය, අධ්‍යාපන සහතික, විවාහ සහතිකය, දරුවන්ගේ උප්පැන්න සහතික ආදිය ද ඇතුළත් විය යුතු වන අතර චර්යා සටහන්වල අඩුපාඩු ඇත්නම් ඒවාද නිවැරදි කර තිබිය යුතුය. ඇතැම් රාජ්‍ය සේවකයන් වසර 35ක 40ක සේවා කාලයකින් පසු විශ්‍රාම යන අතර ඔවුන්ගේ පත්වීමේ ලිපි ඒ වන විට හානි වී හෝ සටහන් හා නිල මුද්‍රා මැකී ගොස් තිබිය හැකිය. එවැනි ලේඛනවල පිටපතක් හෝ සහතික කර ලිපි ගොනුවට ඇතුළත් කළ යුතුය. ප්‍රමාදයට හේතු වන්නේ මුල් පිටපත් හෝ සහතික කළ පිටපත් ලිපි ගොනුවට ඇතුළත් නොකර ඡායා පිටපත් ලබා දීමට ඇතැමුන් කටයුතු කිරීම හේතුවෙනි. නිවැරදි ලේඛන ලිපි ගොනුවට ඇතුළත් කිරීමේ වගකීම රාජ්‍ය සේවකයාට මෙන්ම ඔහු සේවය කරන ආයතනය වෙත ද පැවරේ.
රාජ්‍ය සේවකයකු රාජ්‍ය සේවයට බැඳුණු දින සිට වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය. එම දායක මුදල් ගෙවූ බවට ඔහු සේවය කළ ආයතනවලින් ලබා ගත් තොරතුරුද එම ලිපි ගොනුවට ඇතුළත් විය යුතු වන අතර අනන්‍යතාව සහතික කිරීම සඳහා පැහැදිලි ජාතික හැඳුනුම්පතක්ද ඔහු සතු විය යුතුය. මෙම කරුණු සම්පූර්ණ කර තිබේ නම් විශ්‍රාම වැටුප ලබා දීමේ ප්‍රමාදයක් ඇති නොවන බව අධ්යක්ෂවරයා සඳහන් කරයි.
රාජ්‍ය සේවකයා විශ්‍රාම යන දිනට මාස තුනකට කලින් ඔහුගේ ලිපි ගොනුව ඔහු සේවය කරන ආයතනය මගින් මාර්ගගත ක්‍රමයට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට යොමුකරන්නේ නම්, එම ලිපි ගොනුවේ අඩුපාඩු නොමැති නම් එම පුද්ගලයා විශ්‍රාම ගිය විට ඔහුගේ විශ්‍රාම වැටුප කඩිනමින් ලබා දිය හැකි බව විශ්‍රාම වැටුප් අධ්යක්ෂවරයාගේ අදහසයි.
විශ්‍රාමිකයකුගේ ලිපිගොනුව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට බාර දුන් පසු ඇතැම් ලේඛනවල පවතින අඩුපාඩු එකවර ඉදිරිපත් නොකර වරින් වර එක් එක් අඩුපාඩු පෙන්වා දෙන බව ඇතැම් විශ්‍රාමික රාජ්‍ය සේවකයෝ පවසති. එවැනි ක්‍රියා සිදුවන්නේ නම් එය විශ්‍රාමිකයන් අසීරුතාවට පත් කිරීමකි. මේ හේතුවෙන් තම විශ්‍රාම වැටුප ලබාගැනීමට මාස 8ක් පමණ ගත වූ බව විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය රෝහණ දයාරත්න මහතා සඳහන් කළේය. තමන් දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රෝහල් කිහිපයකම සේවය කළ බවත් ඇතැම් ලේඛනවල අඩුපාඩු එකවර පෙන්වා නොදීම හේතුවෙන් යම් අපහසුතාවක් මතුවූ බවත් ඔහු සඳහන් කළේය.
වර්තමාන විශ්‍රාමිකයන්ට හිමිවන විශ්‍රාම වැටුප පැරණි විශ්‍රාමිකයන්ට නොලැබෙන බවට වන මැසිවිල්ලක්ද අසන්නට ලැබේ. මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යවරයා ලෙස සේවය කළ සමයේ 2017 දක්වා වැටුප් විෂමතා ඉවත් කළ අතර වර්තමානයේ විශ්‍රාම යන රජයේ සේවකයන්ට වඩා 2016ට කලින් විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට හිමිවන්නේ අඩු වැටුපක් යැයි සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයන්ගේ ජාතික සංවිධානයේ හිටපු සභාපති සිරි සිංගප්පුලි මහතා දේශයට ප්‍රකාශ කළේය. &මම පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ හිටපු නිලධාරියෙක්. මම විශ්‍රාම ගියේ 2004 වසරේ. මගේ විශ්‍රාම වැටුප හා වර්තමානයේ විශ්‍රාම යන පරිපාලන නිලධාරියකුගේ වැටුප අතර රුපියල් 35,000ක 40,000ක පමණ වෙනසක් තියෙනවා. මට තවම ලැබෙන්නේ රුපියල් 70,000ක විශ්‍රාම වැටුපක්. දැන් විශ්‍රාම යන පළමු ශ්‍රේණියේ නිලධාරියකුට රුපියල් 12,5.000ක පමණ විශ්‍රාම වැටුපක් හිමිවෙනවා. 2016 දී දඩල්ලගේ මහතා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමයේ චක්‍රලේඛයක් මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කළා. එහි සඳහන් වුණා වසරින් වසර වැටුප වැඩිවෙමින් වසර පහකින් උපරිමවැටුප හිමිවන බවට. 2016 විශ්‍රාම ගිය අයටත් 2020 විශ්‍රාම යන අයට හිමිවන විශ්‍රාම වැටුපම ලබා දෙන බව ඔහු ප්‍රකාශ කළා. එහෙත් එවැන්නක් සිදු වුණේ නැති නිසා පිරිසක් මේ වන විට නඩු මගට පිවිස සිටිනවා. 2016ට පෙර විශ්‍රාම ගිය ලක්ෂයක පමණ පිරිසක් සිටිනවා. ඔවුන්ගේ විශ්‍රාම වැටුප අඩු නිසා ඔවුන්ට විවිධ අර්බුදවලට මුහුණ පෑමට සිදුවෙලා. විශ්‍රාමිකයන් වියපත් පිරිසක්. වැඩි පිරිසක් ඖෂධ භාවිත කරනවා. අද ඖෂධ මිල ඉතා අධිකයි. ජීවන වියදමත් තුන් ගුණයකින් පමණ ඉහළ ගිහින්. පසුගිය සතියේ අපි පාඨලි චම්පික රණවක මහතාගේ මූලිකත්වයෙන් පැවැති ක්‍රම සහ විධි අනුකමිටුවට අපේ ගැටලුව ඉදිරිපත් කළා. ඔවුන් පොරොන්දු වුණා අපේ ගැටලුව මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කරන බවට. 2016 පසු විශ්‍රාම ගිය අයට වෛද්‍ය රක්ෂණයක් හිමි වෙනවා. 2016 පෙර විශ්‍රාම ගිය අයට එවැන්නක් හිමි නැහැ. එවක අපට රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ සඳහා විශ්රාමිකයන්ගෙන් රුපියල් 600 බැගින් කපා ගැනීමට යෝජනා වූ නිසා එයට විශ්‍රාමිකයෝ විරුද්ධ වුණා. ඔවුන් කිව්වේ එතරම් මුදලක් වැටුපෙන් කපා ගැනීම අසාධාරණ බැවින් ඊට වඩා අඩු මුදලක් කපාගෙන වෛද්‍ය රක්ෂණය ලබා දෙන ලෙසයි. ඒක එහෙමම යටපත් වුණා. එමෙන්ම 2006 වන තෙක් රජයේ සේවකයන්ට හිමිවන ජීවන වියදම් දීමනාවට සමාන ජීවන වියදම් දීමනාවක් විශ්රමිකයාටද ලැබුණා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ එය අඩකට අඩු කළා. දැන් අපට ලැබෙන්නේ ජීවන වියදම් දීමනාවෙන් බාගයයි. අපිටත් සම්පූර්ණ ජීවන වියදම් දීමනාව ලබා දෙන ලෙසට ඉල්ලීම් කර තිබෙනවා.* යනුවෙන් සඳහන් කළේය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා