2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

කන්දකාඩුවෙන් පලාගිය රැඳවියෝ

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර හා පුනරුත්ථාපනය කිරීම සඳහා ඇති කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානය ගැන විටින්විට අසන්නට ලැබේ. මේ මධ්‍යස්ථානයේ රඳවා සිටින්නේ අධිකරණ මඟින් පුනරුත්ථාපනයට යොමු කළ මත්කුඩු ලෝලීන්ය. අධිකරණ නියෝග කඩමින් රුඳවියන් පිරිසක් පැනගිය ඉකුත් 11 වැනිදා සිදුවීම ගැන විමර්ශන අරඹා තිබේ.

පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ පුනරුත්ථාපනය වෙමින් සිටි රැඳවියන් ගණන 485කි. විවිධ මානසික මට්ටම්වල පසුවූ ඔවුන්ගෙන් ඇතැමුන්ගේ අදහස වී ඇත්තේ නත්තල් නිවාඩුවට ගෙදර සිටීමය. තව පිරිසකට වුවමනා වී ඇත්තේ අලුත් අවුරුද්දට ගෙදර හිඳීමය. මේ අතර දෙතුන් දෙනකු අතර වූ බහින් බස්වීමක් දුරදිග ගියේය. අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් පිරිසෙන් 12 දෙනකු ප්‍රථමයෙන් පලා ගියේය. ඔවුන් සෝමාවතිය රක්ෂිතයට පැන ගත්තේය. පොලීසිය හා හමුදාව ඔවුන් අත්අඩංගුවට ගන්නා විටත් කඳවුරේ ගැටුම පැවතියේය. තවත් රුඳවියන් 138ක් පලාගොස් තිබුණේ එදින සවස 5ත් 7ත් අතරදීය. අවසානයේ ඉතිරිව ඇත්තේ 347 දෙනකු පමණි.

පලාගිය පිරිසෙන් 129 දෙනකු 12 වැනිදා සවස වනවිට අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ගෙන් 107 දෙනකු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව 22වැනිදා තෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පලාගිය සෙසු රුඳවියන් 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.

අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී පොලීසියට පවසා ඇත්තේ කෑමබීම ප්‍රශ්නයක් හා පහරදීමේ සිදුවීම් කිහිපයක් නිසා පලාගිය බවකි. පොලීසිය මේ ගැන අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ අය බන්ධනාගාර නිලධාරීන් මගින් අධිකරණ වෛද්‍යවරුන් හමුවට ඉදිරිපත් කොට පසුව කරුණු දක්වන ලෙසද නියෝග කොට ඇත. මේ අනුව පොලිසිය වාර්තා කළේ සැකකරුවන් පුනරුත්ථාපනයට යොමුකළ අධිකරණයන් වෙත ඔවුන් ඉදිරියේදී යොමුකරනු ඇති බවය.

මෙම මධ්‍යස්ථානයේ රැඳවියන් අතර කල්ලි කිහිපයක් සිට ඇත. ඔවුන් කොළඹ, ගාල්ල, ගම්පහ, මීගමුව ආදී වශයෙන් කල්ලි ගැසී සිටියදී බහින්බස් වීමක් ඇතිව තිබේ. මෙය අවස්ථාවක් කොටගෙන රැඳවියන් පලා යාමට උත්සාහ ගෙන තිබෙන බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජෙනරාල්වරයා ''සමහර රැඳවියන්ට අදහසක් තිබිලා නත්තල් නිවාඩුවට ගෙදර ඉන්න ඕන කියලා. තව කට්ටියකට හිතලා තියෙනවා අලුත් අවුරුද්දට ගෙදර ඉන්න ඕන කියලා. ඒ අතරෙදි දෙතුන් දෙනෙක් අතර බහින්බස් වීමක් ඇතිවෙලා. ඒ අවස්ථාවේ කණ්ඩායම් වශයෙන් එකතුවෙලා කලබලකාරී තත්ත්වයක් ඇතිකරලා තිබුණා. මේ වෙලාවෙ පිරිසක් එළියට පැනලා තියෙනවා. ඊට අමතරව ඇතුළෙ  රැඳවියන් 347 දෙනකු ඉන්නවා. දැනට මධ්‍යස්ථානයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා'' යැයි පැවසීය.

මෙම මධ්‍යස්ථානයේ වයස අවුරුදු 22ත් 36ත් අතර රැඳවියන් 485 දෙනකු සිටිති. ඔවුන් දැඩි ලෙස මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවෝ වෙති. නමුත්රැඳවූවන්ට ආහාර පාන ගැටලුවක් නොවන බවත් එවැනි කතාවක් ස්වාමින්වහන්සේ නමක විසින් පැවසීම අසත්‍ය හා පදනම් විරහිත බවද පැවසේ. මොවුන්ට සෞඛ්‍ය සායන, සෞන්දර්ය වැඩසටහන්, නායකත්ව පුහුණු හා වෘත්තීය පුහුණුව ලබාදෙමින් නැවත සමාජගත වීමට ඇවැසි උපදෙස් ලබාදීම සිදුකෙරේ. කෙසේ වෙතත් ගිය 2022 වසර මැදදී මේ ආකාරයටම කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ රුඳවියන් පිරිසක් පලායාමේ බරපතළ සිදුවීමක් වාර්තා විය.

මෙවර කන්දකාඩු කඳවුර භූමියේ ගැටුමට යුද හමුදාවේ කිසිදු නිලධාරියෙක් සම්බන්ධ නැති බවත් එය රුඳවියන් පිරිසක් අතර ගැටුමක් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් රවී හේරත් මහතා පැවසීය. කන්දකාඩු කඳවුරේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් විවිධ හිංසනයන්ට හා පීඩාවන්ට ලක්වන බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද එවැනි සිදුවීමක් නොමැති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

පොළොන්නරුව සහ වැලිකන්ද,  පුලස්තිපුර, හිඟුරක්ගොඩ, මීගස්වැව ඇතුළු පොලිස් ස්ථාන කිහිපයක් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අතර කන්දකාඩු කඳවුරේ පාලන අධිකාරිය විසින් වෙනම විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02