2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

යුග තුනක මාධ්‍ය යාත්‍රිකයා සිරි රණසිංහ

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 120

ශ්‍රී ලංකා පත්‍ර කලා ඉතිහාසයේ තිස් තුන් වසරක් අඛණ්ඩව පත්‍ර කර්තෘත්වය හෙබවූ ලංකාදීප  ප්‍රධාන කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිරි රණසිංහ මහතාගේ මාධ්‍ය මෙහෙවර ඇගයීමේ උළෙල 2023 දෙසැම්බර් 20 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වේ. විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම උත්සවය සිරි රණසිංහ මිත්‍ර සංගමය මගින් සංවිධානය කරනු ලබයි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ඔහු මගේ මාධ්‍ය ගුරුවරයාය. ඇතැම් විට අපව අගය කරමින් ඇතැම් විට අපට දොස් කියමින් යා යුතු හරිමග පෙන්වා දුන් එතුමාගේ සදූපදේශයන් නොවන්නට මගේ මාධ්‍ය මෙහෙවර නිමා වී බොහෝ කල්ය. මෙයට දශක තුනකට පමණ පෙර ''ලංකාදීප'' කාර්යාලය පවත්වාගෙන ගිය දැවයෙන් නිර්මිත අමුතු කුටියේ ඉහළ මාලයේ සිට අද පවත්නා විජය මන්දිරය දක්වා විජය පුවත්පත් සමාගම වර්ධනය කරන්නට අප සභාපති රන්ජිත් විජයවර්ධනයන්ට අතහිත දුන් සැබෑ පෙර ගමන්කරුවන් අතර සිරි රණසිංහයන්ට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි.

ඔහු පුවත්පත් කතුවරයකු ලෙස වාර්තා පිට වාර්තා තැබූවෙකි. 1947 ඩී.බී. ධනපාලයන් ජුලියස් ද ලැනරෝල් ප්‍රධාන කර්තෘ පුටුවේ තබාගෙන ඇරඹූ ලංකාදීපයේ වත්මන් කතුවරයා ලෙස අඛණ්ඩව වසර 33ක් පමණ කටයුතු කිරීමම මෙරට මාධ්‍ය ඉතිහාසයේ අසමසම වාර්තාවකි. සිරි රණසිංහ මහතා අද විජය පුවත්පත් සමාගමේ සිංහල ප්‍රකාශනවල කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ මෙන්ම සමාගම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකුද වෙයි.

ලංකාදීප ආරම්භක යුගයේ (ඩී.බී. ධනපාලයන් කතු පදවිය දරන විට) පුවත්පතේ උපරිම අලෙවිය සෑහෙන පමණ තිබුණද සිරි රණසිංහ යුගයේ ඉරිදා ලංකාදීපය පිටපත් 4,50,000ක් (හාරලක්ෂ පනස් දහසක්) දක්වා ඉහළ නැංවීම අප කතුවරයාගේ වාසනා සම්පත්තිය සහිත මාධ්‍ය කෞශල්‍යය මැනවින් විදහා දක්වන සාධකයකි. එසේම එතුමා ලංකාදීපය තුළින් දෙවැනි පරපුරේ කතුවරුන් ගණනාවක්ම නිර්මාණය කළෝය.

ඔවුන් පසුව මෙරට විවිධ පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන් බවටද පත්වූහ. ආරියනන්ද දොඹගහවත්ත, තුෂාර ගුණරත්න සහ මමද එතුමාගේ දෙවැනි පරපුර නියෝජනය කරන බව සඳහන් කරනු වටී. 

මා අත්දැකීමෙන් දන්නා ආකාරයට එතුමාගේ සැලසුම් සහගත බව සහ නිදහස් මතධාරී බව ලංකාදීපයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානම සාධකයකි. පුවතකට හෙඩිමක් (ශීර්ෂ පාඨයක්) දැමූ පසු එය කාටත් වැටහෙනවාදැයි දැනගැනීම පිණිස ඔහු කිහිප දෙනකුගෙන් මත විමසන අවස්ථා අනන්තවත් මා දැක තිබේ. අප කාර්යාලයේ ප්‍රකට කාර්යාල කාර්ය සහායක ධම්මිකගෙන් පවා ලංකාදීපයේ ප්‍රධාන පුවතට දැමූ හෙඩිම තේරෙනවාදැයි අසන්නට පවා එතුමා විවෘතය. නිහතමානීය.

ගතවූ දස වසර පුරාම මා කර්තෘත්වය දරන දේශය පුවත්පතේ මුල් පිටුවේ පුවත් සඳහා ශීර්ෂපාඨ සකස් කරන්නේ එතුමා සමඟ සාකච්ඡා කිරීමෙන් පසුවය. මා මෙම ආයතනයේ කණිෂ්ඨ කර්තෘවරයෙකි. ඔහු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකය. පුවතකට රණසිංහ මහතා යොදන ශීර්ෂ පාඨය ගැන මට ගැටලුවක් ඇතිවී එය පෙන්වා දුන් පසු එතුමා තනතුර අමතක කොට තමන්ගේ මතය වෙනස් කරගත් අවස්ථා අනන්තය.‍

සිරි රණසිංහයන් තමන්ගේ මාධ්‍යවේදීන්ට මඟපෙන්වූයේ ප්‍රායෝගිකවය. තමන් කළ වරද තමන්ටම අවබෝධ කරවන්නට ඔහුට හොඳ හැකියාවක් තිබේ. එක් දිනක් ලංකාදීපයේ දිනපතා පත්තර තබා ඇති පත්තර ලෑල්ල අසලට ගිය රණසිංහ මහතාට ලංකාදීප පුවත්පතේ කිසියම් දෝෂයක් නිසා පළ වූ වැරදි ශීර්ෂපාඨයක් සහිත පුවතක් දක්නට ලැබුණි. එහි සඳහන් වූයේ මෙසේය. මැරකමට ප්‍රසිද්ධ ඇමැතිවරයකුගේ නම උඩින් යොදා තිබුණි. අපි ඔහුට අසවලා යැයි කියමු. 

''මැරයෝ පිරිසක් සමඟ අසවලා අසවල් ආයතනයට කඩා වැදී නිලධාරීන්ට පහර දෙයි. සේවකයෝ ද පෙරළා පහර දෙයි.'' යනුවෙනි. මෙහි වරදක් තිබේද? එය කුමක්ද? කියා ඒ අවට සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් කැඳවූ රණසිංහ මහතා ප්‍රශ්න කළේය. එයට විවිධ මාධ්‍යවේදීන් ලබා දුන් පිළිතුරු මෙසේ විය. 

''මේකෙ න ණ ල ළ වැරදියි සර්.'' 
''හෙඩිම දිග වැඩියි සර්''

''සම්පූර්ණ කතාවම හෙඩිමෙ දාල'' ආදී වශයෙන් මාධ්‍යවේදීන් පිළිතුරු දෙද්දී කතුවරයා ප්‍රශ්න කළේ මේකෙ වෙනත් දෝෂයක් නැද්ද කියාය. අනතුරුව එතැන සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකුට කතා කළ රණසිංහ මහතා ඔහුගෙන් ද මේ ගැන ඇසීය. පුවත දෙස නිරීක්ෂණාත්මකව වඩා ගැඹුරෙන් බැලූ මේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පැවසූයේ

''සර් මෙතැන වැරුද්ද අහවලාගෙනෙ. එයා මොකටද මේ ආයතනයට මැර පිරිසක් එක්ක ගිහින් පහර දුන්නෙ. මට පෙනෙන්නේ ඒකයි වැරුද්ද''

මේ ජ්‍යෙෂ්ඨයාගේ පිළිතුරෙන් පසු හිසේ අත ගසාගත් රණසිංහ මහතා මහා හඬින් සිනා සී ''ඒකත් වැරදි තමයි. නමුත් මේකෙ ඊට වඩා වැරුද්දක් තියෙනවා'' කියා මෙම ශීර්ෂ පාඨයේ තිබූ උක්ත ආඛ්‍යාත වැරදි පෙන්වා දුන්නේය. කතුවරයාගේ විග්‍රහයෙන් පසු මාධ්‍යවේදීන් මුහුණට මුහුණ බලාගත්තා මිස කිසිවක් කීවේ නැත.   

1965 දෙසැම්බරයේ ලේක්හවුසියෙන් ආරම්භ කළ ඔහුගේ මාධ්‍ය මෙහෙවරට 60 වසරක් පිරෙන්නේ තවත් දෙවසරකිනි. දශක හයක් අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරක් පවත්වා ගැනීමත් වාර්තාවකි. ලේක්හවුසියේ සිට 1986 අප්‍රේල් මාසයේ විජය පුවත්පත් සමාගමේ සේවයට පැමිණි රණසිංහ මහතා විජය පුවත්පත් සමාගමේ දුෂ්කර අවධිය තරණය කළේ දැඩි උත්සාහයෙන් කැපවීමෙන් සහ සැහැල්ලුවෙනි. එකළ ඔහු සතියේ දින 7ම කාර්යාලයට පැමිණියේය. ඇතැම් දිනවලදී අපට එක් දිනකදී නිමකර ගැනීමට නොහැකි තරම් වැඩ පැවරීය. සම්මුඛ සාකච්ඡා දෙක තුනක් කිරීමට අණ කළ අවස්ථා තිබිණි. මා විශේෂාංග අංශයේ වැඩ කළ සමයේ මට අමාරුම කාර්යයක් පැවරීය. එකල නීතිපතිවරුන් අගවිනිසුරුවරුන් හා ඉහළ අධිකරණවල විනිසුරුවරුන් මෙන්ම මහ බැංකුවේ අධිපතිවරුන් පෞද්ගලිකව විශේෂයෙන් සිංහල මාධ්‍ය පුවත්පත්වලට සාකච්ඡා ලබාදුන්නේ නැත. එම පිළිවෙත වෙනස් කොට ලංකාදීපයට එම සාකච්ඡා සහ ලිපි කෙසේ හෝ ලබාගත යුතු යැයි රණසිංහ මහතා මට නියම කළේය. ඒ අනුව එතෙක් මාධ්‍යයට කතා නොකළ පාරින්ද රණසිංහ, සරත් එන්. සිල්වා හා අශෝක ද සිල්වා වැනි අගවිනිසුරුවරුන්ද රාජා වනසුන්දර, කේ.එම්.එම්.බී. කුලතුංග, නිහාල් ජයසිංහ ආදී ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සම්මුඛ සාකච්ඡා රාශියක් ලබාගතිමි. ශිබ්ලි අෂීස්, සී.ආර්. ද සිල්වා, පාලිත ප්‍රනාන්දු ආදී නීතිපතිවරුන් ගණනාවක් ලංකාදීපයට කැඳවාගෙන ආවෙමි.

එසේම වැඩිපුර මාධ්‍යයට කතා නොකළ බ්‍රුඩ්මන්ඩ් වීරකෝන්, කේ.එච්.ජේ. විජයදාස, බර්නාඩ් තිලකරත්න, ඩී.බී.අයි.පී.එස්. සිරිවර්ධන, සෑම් විජේසිංහ, එම්.ජේ. පෙරේරා ආදී එකළ මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම පරිපාලකයන් සමඟ සම්මුඛ සාකච්ඡා රාශියක් පැවැත්වූවෙමි. ඒ සියල්ල පසුපස සිට මා ඒ සඳහා තල්ලු කළේ සිරි රණසිංහයන්ය. අන්තිමේදී ඔහුගේ තීන්දුව වූයේ මා විශේෂාංග අංශයෙන් ප්‍රවෘත්ති අංශයට මාරුකර ඉරිදා ලංකාදීපයේ ප්‍රවෘත්ති කර්තෘ ධුරය බාරදීමය. තවත් ලිවිය යුත්තක් ඇත. සිරි රණසිංහ මහතා මාතර දිස්ත්‍රික්කයේ හක්මන මැතිවරණ කොට්ඨාසයේ මාගේ ගම් ප්‍රදේශයේ කෙනෙකි. එතුමා කලකට ඉහත උගත් දෙයියන්දර ජාතික පාසලේ පසු කාලයේ මමද කෙටි කලක් ඉගෙනගෙන ඇත්තෙමි. එහෙත් ඔහු මට මාධ්‍ය මෙහෙවරේදී මග පෙන්වූයේ ගමේ කෙනෙකු වශයෙන් නොව ගුරුවරයකු වශයෙනි. අපි අනන්තවත් ඔහුගෙන් බැණුම් අසා ඇත්තෙමු. එහෙත් ඒ සියල්ල ඔහු ගැන අප තුළ පැවති ගෞරවයට හානි කළේ නැත.

පෙරහැර දකින්නේ  එහි ගමන් කරන්නන් නොව එය නරඹන්නන් බව ප්‍රකට කියමනකි. සිරි රණසිංහයන්ගේ මාධ්‍ය මෙහෙවර ගැන කිවයුත්තේද ඒ ටිකමය. විජය පුවත්පත් සමාගමේ මාධ්‍යවේදීන් මාධ්‍යයෙන් වැඩ පෙන්වන විට රණසිංහ මහතා නිහඬව සතුටු විය. පාඨකයන්ගේ සතුට හා තෘප්තිය ඔහුගේ සතුට ලෙස සැලකීය. ඒත් ඔහු දිවයිනේ වැඩිපුරම අලෙවි වන පුවත්පතේ කතුවරයා ලෙස පෞද්ගලිකව බැබළෙන්නට ගියේ නැත. ඔහුගේ උපහාර උත්සවය නිමිත්තෙන් මා මෙම ලිපිය දේශය පුවත්පතට ලියන බව දැන්වූ විට ඔහු මට කීවේ,

''ඕක ලියන්නම ඕනෑද? අපි ගැන ලියන ඒවයෙන් පත්තරේට වැඩක් තියෙනවාද?'' කියලයි. එහෙත් මා ඒ ගැන පෙරුත්ත කළ විට ''එහෙනම් පොඩියට මොනවා හරි ලියන්න'' යැයි උපදෙසක් දුන්නේය. ඒ රණසිංහ මහතාගේ හැටිය.
සිරි රණසිංහ මහතා මෙරට මාධ්‍ය මෙහෙවරේ යුග තුනක් නියෝජනය කළේය. ලෙටර් ප්‍රෙස් යුගය, ඕෆ්සෙට් යුගය හා වත්මන් ඩිජිටල් යුගය ඒ යුග තුනයි. ඔහු ඒ යුග තුනක අත්දැකීම් සම්භාරය සමඟ සපුරා ඉටුකරන ලද කාර්යභාර ඇත්තෙකි. සතුට ඇත්තේ ගමන කෙළවර නොව යන මග දෙපසෙහි බව අප හමුවේ පසක් කළ අපේ ගුරුදේව සිරි රණසිංහයන් ගැන ලියූ කෙටි සටහන එලෙස නිමා කරන්නට මට අවසර.

I රන්ජිත් ආනන්ද ජයසිංහ