පත්තු වී නිවී ගිය නැවත 2024 ජනවාරියේ පත්තු වීමට නිමිත නව විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳව විමසා බැලීමට අපි සැරසෙමු. මෙම පනත් කෙටුම්පත ඉකුත් දෙසැම්බර් 12 වැනිදා සහ 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාසය පළ කළහ. එහෙත් එවැනක් සිදු නොවුණි.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කළ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම ජනවාරියේ සිදුවනු ඇති බවයි. පනත් කෙටුම්පත කඩිමුඩියේ රැගෙන ඒම නිසා වර්ෂාවසානයේ දී පනත් කෙටුම්පත අධිකරණය හරහා අභියෝගයට ලක් කිරීමට නොහැකි වනු ඇතැයි ඇතැම් පාර්ශ්ව තැතිගෙන සිටි පසුබිමක අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේය.
විදුලිබල පනත දීර්ඝ කාලයක් පැවැත්ම වෙනුවෙන් සකසන ලද්දක් බැවින් එහි අඩුපාඩු ඇත්නම් නිවැරදි කරගැනීමට අවශ්‍ය බව අමාත්‍යවරයා පැවසීය. එබැවින් පනත අභියෝගයට ලක්කිරීමට අදහස් කරන ඕනෑම කෙනකු උසාවි ගොස් එය අභියෝගයට ලක් කරනවා නම් තමා ඒ සම්බන්ධයෙන් සතුටු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෙසේ වෙතත් පනත් කෙටුම්පත ගැසට් කර ඇති බැවින් බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධ විවිධ කණ්ඩායම් මෙම කෙටුම්පත පිළිබඳ සිය අදහස් ඉදිරිපත් කරමින් සිටිති. අපි එම අදහස් එක් තැනක ගොනුකොට ඔබගේ විනිශ්චය සඳහා ඉදිරිපත් කරමු.
පනත හරහා ගැටලු නිර්මාණය වී ඇත්තේ විදුලිබල මණ්ඩල සේවකයන්ට නොව පාරිභෝගිකන්ට බව පැවසුවේ විදුලි පොදු සේවක සංගමයේ සභාපති නීතිඥ මාලක වික්‍රමසිංහයි. ඔහු සඳහන් කරන්නේ තවදුරටත් සංවාද කොට හොඳම විසඳුම තෝරාගත යුතු බවකි.
“මේ පනතෙ ගැටලු නැත්තෙ නැහැ ගැටලු තියෙනවා. විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමත්, කොටස්වලට කැඩීමත් මේක ඇතුළෙ තියෙනවා. පනතේ විදිහට සේවකයෝ සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් පේන්න නැහැ. එහෙම පේන්නෙ නැහැ කියලා කිසි ගැටලුවක් නැති බව අපි කියන්නේ නැහැ.
රටේ ප්‍රධාන ආයතනයක් විදුලිබල මණ්ඩලය. තවදුරටත් පාඩුවට දුවන්න බෑ. එම පාඩුව මහා භාණ්ඩාගාරයෙන් ජනතාව පිට පැටවෙනවා. ඒ නිසා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවශ්‍යතාවක්. නමුත් ගැටලුව තියෙන්නේ අමාත්‍යවරයා සහ අපි අතර සාධනීය සාකච්ඡාවක් සිදුවුණේ නැහැ. අපි සාකච්ඡා ඉල්ලුවා. ඒක ලබා දුන්නෙ නැහැ. අපි යම් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යන්න සූදානම් වෙනකොට තමා පනත ගැසට් කළේ."
විදුලිබල මණ්ඩලය කොටස් කිහිපයකට බෙදා, වෙන් වෙන් ආයතන ලෙස පාලනය කිරීම මෙම පනත ක්‍රියාත්මක වීමත් සමඟ ආරම්භ වනු ඇත. විදුලි පොදු සේවක සංගමය කියා සිටින්නේ තම පාර්ශ්වය සිදු කළ අධ්‍යයන අනුව කෙටුම්පත ව්‍යවස්ථානුකූල නොවන බවට අධිකරණය හමුවේ අභියෝග කිරීම අපහසු බවකි. එහෙත් පනත ව්‍යවස්ථානුකූල වුවද එය රටේ ජනතාව කෙරෙහි යහපත් බව සඳහන් කළ නොහැකි යැයි ඔවුහු කියා සිටිති.
මීළඟට පනත් කෙටුම්පත පිළිබඳ අදහස් විමසා දැනගැනීමට අප සම්බන්ධ කර ගත්තේ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් මහතා ය. සංශෝධන විරහිතව මෙම පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කළ යුතු බවත්, මෙය පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගත්තද ඊට එරෙහිව වෘත්තීය අරගල මෙහෙයවන බවත් ඔහු දැඩිව කියා සිටියි.
ලංකා විදුලිබල මණ්ඩලය විකුණා දැමීමේ කුමන්ත්‍රණවල ආණ්ඩු නිරත වූ බවත් මෙය එහි තවත් අදියරක් බවත් ඔහු කියා සිටියි.
“2022 ඔක්තෝබර් මාසේ 10 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරලා අපේ විරෝධය මත ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ විදුලිබල සංශෝධන පනත තමා ඒ නැවත වෙනස් මුහුණුවරකින් එන්නෙ. අමාත්‍යවරයාම සටහන් කරනවා ඒ පනතට වැඩි යමක් එකතු කරමින් තමා ලංකාවේ කොටස් දොළහකට කඩන්න සූදානම් වෙන්නේ කියලා.
අපි මේ පනතට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ආණ්ඩුව විදුලිබල මණ්ඩලයේ බෙල්ල කපන්න පිහිය තියලා තියෙන්නේ. අනිවාර් යෙන්ම බෙල්ල කපනවා. පාර්ලිමේන්තුවේ බලතල තියෙනවා ඒගොල්ලන්ට. මේ පනත සම්මත කළත් 1996, 2002 වගේම මේ පනත ක්‍රියාත්මක වෙන්න අපි දෙන්නෙ නැහැ. මේ අතර විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් ආණ්ඩුවට කියනවා බෙල්ල කැපුවට කමක් නෑ, කඳ ඉතුරු කරලා දෙන්න පණ ඇතුව කියලා. ඒත් කඳත් පණ නැතුව යනවා. ඉන්දියානු චීන සමාගම්වලට විදුලිබල මණ්ඩලය කොටස් කරලා ලබා දෙන්න ඕනෑ නීතිමය රාමුව තමා මේ පනත හරහා හදන්නේ."
අදානිගේ සමාගම් සහ චීන සමාගම් වෙත ශ්‍රී ලංකාවේ බලශක්ති පද්ධතිය විකුණා දැමීම සඳහා දියත් වන මෙහෙයුමේ අදියරක් ලෙස මෙම නව පනත ලංකා විදුලි සේවක සංගමය අර්ථකථනය කරයි.
මේ අතර විදුලි ඉංජිනේරුවන්ගේ පාර්ශ්වයෙන් ද නව පනත පිළිබඳව අදහස් ඉදිරිපත් වී තිබේ. මෙම නව පනත හරහා විධායක ඇමැතිවරයකු නිර්මාණය වන බව පසුගියදා සඳහන් කර තිබුණේ විදුලිබල මණ්ඩලයේ විදුලි තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි, සංගමයේ සභාපති ඒ.ජී.යූ. නිශාන්ත ය.
‘’මේ විදුලිබල පනත තුළින් විධායක ඇමැතිවරයෙක් නිර්මාණය කරලා තියෙනවා. ඇමැතිවරයා සියලු බලතල අතට අරන් තියෙනවා. මෙය ඉතාමත්ම නරක පූර්වාදර්ශයක්. මේ පනත තුළින් විදුලිබල ක්ෂේත්‍රයේ විදුලි ජනනය පිළිබඳ නව ප්‍රවණතා ඇති කරලා තියෙනවා. එය යම් ධනාත්මක තත්ත්වයක් නමුත් ඒ පිළිබඳ තරගකාරීත්වය නිර්මාණය කිරීමේ ක්‍රමවේදය පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ තව විදියකින් කිව්වොත් මෙය ව්‍යාපාරිකයන් අතට පත්වීමට තියෙන ඉඩකඩ වැඩියි. ඒ නිසා නියාමනය කියන කාරණය මේ පනත තුළින් ගිලිහි තියෙනවා.
පැහැදිලිවම නියාමන ආයතනය විදියට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තමයි තියෙන්නේ. ඒ නියාමන අයතනයේ බලතල අතිවිශාල කොටසක් ඇමැතිවරයා යටතට අරගෙන තියෙනවා. ඒ නිසා ඉදිරියේදී විදුලිබල ක්ෂේත්‍රය නියාමනය කරන්නේ කවුද කියන ප්‍රශ්නය තියෙනවා. ස්වාධීන නියාමන ආයතනයක්, එහෙම නැතිනම් මහජන උපයෝගිතා කොමිෂන් සභාව මීටත් වඩා පුළුල් විදියට බලතල සහිතව තමයි පිහිටුවිය යුත්තේ. නමුත් අවාසනාවකට එවැනි තත්ත්වයක් ඇතිවෙලා නෑ’’
මීට සමගාමීව විදුලිය පාවිච්චි කරන්නන්ගේ පාර්ශ්වයෙන් ද මෙම පනත පිළිබඳ විවේචන එල්ල වේ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසා සිටියේ මෙම පනත පාරිභෝගික අයිතීන් සුරක්ෂිත කර නොමැති බවයි.
“මේ පනතේ අපිට තැන්පතු පොලිය පිළිබඳ කිසිම සඳහනක් නැහැ. එතැන තියෙනවා රුපියල් කෝටි විසි දහසක් විතර. විදුලිබල පනතේ 28/3 වගන්තිය යටතේ තියෙන මෙම මුදල නව පනත හරහා සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. මේ පනතත් සමඟ ලෙකෝ එකේ තියෙන මුදල් ඒ ආයතනයට යනවා, කොටසක් අදානිට දුන්නොත් ඒ කොටස ඒ ආයතනයට යනවා. පාරිභෝගිකයන්ගේ තැන්පතු පොලිය ඒ සමාගම්වලට වත්කමක් වෙනවා.
ඊළඟට පාරිභෝගික පැමිණිලි සහ ආරවුල් විසඳීම දැනට කොමිසම විසින් සිදු කරනවා. මේ පනත සම්මත වුණාට පස්සේ සිද්ධවෙන දේ ගැන පැහැදිලි කිරීමක් නෑ. මීට පස්සේ අපේ ගැටලු විසඳගන්න මේ ආයතන පස්සේ දුවන්න පාරිභෝගිකයන්ට සිද්ධ වෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ කොටස් විකුණා දැමීම හරහා රටේ බලශක්ති ස්වාධිපත්‍යය නැති වෙනවා. මේ ආයතන පාලනය කරන අය කියන විදියට අපේ රටේ පාලකයන්ට වැඩ කරන්න සිද්ධ වේවි."
මෙම සියලු පාර්ශ්ව පනත පිළිබඳව දක්වන්නේ සාධනීය ප්‍රතිචාරයක් නොවන බව පෙනී යයි. කෙසේ වෙතත් තවත් සති කිහිපයක් ඉතිරිව ඇති බැවින් මෙම පනත් කෙටුම්පත පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කිරීමේ අවකාශය ඔබ අප සතුව ඇත. බලශක්තිය අර්බුදය නිමා විය යුතු බව සැබෑය. දිගින් දිගටම මෙම පාඩුව ජනතාවගේ කර මතින් තැබීම ද සාධාරණ නැත. අවසාන විසඳුමක් තිබිය යුතුමය. එහෙත් එම විසඳුමත් හානිකර නොවිය යුතුය.
I චමිඳු නිසල් ද සිල්වා