2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා

බත්තලංගුණ්ඩුව රත්‍රං ජාවාරම

 2023 දෙසැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 80

මුහුදු මාර්ග ඔස්සේ සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම හා වෙනත් නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම්වලට නාවික හමුදාව පෙරමුණේ සිටී. ශ්‍රී ලංකාව වටා වෙරළ තීරය මෙන්ම ගැඹු හා ජාත්‍යන්තර මුහුදු සීමාව ආශ්‍රිතවද නාවික හමුදාව  සිදුකරන මෙහෙයුම් සඳහා විවිධ බුද්ධි සේවාවන්වල සහාය ලබා ගනිති. ඒ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය, විශේෂ කාර්ය බලකාය, සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය, රාජ්‍ය බුද්ධි සේවය, සුරාබදු දෙපාර්තමේන්තුව වෙතින් මෙන්ම සිවිල් සමාජය මගින්ද මනා සහයක් ලබාදෙයි. මුහුදු මාර්ග ඔස්සේ කෙ‍රෙන විවිධ ජාවාරම් සහ නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා වෙරළ හා මුහුදු තීරය ආවරණය වන පරිදි නිරන්තර මුර සංචාර හා සෝදිසි මෙහෙයුම් සිදුකරනු ලබයි.

මෙකී පසුබිමේ වයඹ නාවික විධානයට අයත් කල්පිටිය පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විජය කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකි.

''මේ දවස්වල රත්‍රං මිල වැඩියි. ලෝකයේ රත්‍රං මිල කොහොම අඩු වැඩි වුණත් හැමදාම ලංකාවට වඩා ඉන්දියාවේ මිල අඩුයි. ඒ නිසා ඉන්දියාවෙන් හොරෙන් රත්‍රං ගෙනත් මෙහේ වැඩි ගණනට විකුණනවා. ඒ විදියට ඉන්දියාවෙන් පන්නපු රත්‍රං තොගයක් බත්තලංගුණ්ඩුව දූපතේ හංගලා තියෙනවා.'' මේ හෝඬුවාව කල්පිටිය නාවික කඳවුරට ලැබී තිබුණේ පසුගිය 4 වැනිදා සවස් යාමයේය.

වහා ක්‍රියාත්මක වූ විජය නාවික කඳවුරේ නිලධාරීහු ක්ෂණික මෙහෙයුමක් ආරම්භ කළේය. ඒ අනුව විශේෂ නාවික යාත්‍රාවක් දියත් වූයේ බත්තලංගුණ්ඩුව දූපත හා අවට ආවේක්ෂණය කිරීමේ අදහසිනි. ඒ පසුගිය 5 වැනිදා අළුයමය. සැකකටයුතු යාත්‍රා හා පුද්ගලයින් සොයා මෙහෙයුමට ගිය යාත්‍රාව අව් වැසි සුළං නොතකා දින තුනක් පුරා මුහුදේ රැඳී සිටියේය. එහිදී සැකසහිත ඩිංගි බෝට්ටුවක් සහ පුද්ගලයින් දෙදෙනකු නිරීක්ෂණය කරන්නට සමත්ව තිබිණ. සූක්ෂමව ආවේක්ෂණයේ නිරත නිලධාරීන්ට සැකකවන් බත්තලංගුණ්ඩුව දූපත කෙළවරක වැල්ලේ සඟවා තිබූ යමක් සොයන බව දකින්නට ලැබී ඇත. සැණෙකින් ඔවුන් වටකර අත්අඩංගුවට ගත් නාවික සෙබළු වැල්ලේ සඟවා තිබූ සැකකටයුතු පාර්සලයක් සොයා ගත්හ. එය පරීක්ෂාවට ලක්කිරීමේදී  සූක්‍ෂම ලෙස අසුරා තිබූ රත්‍රං කිලෝ 4 කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන ඒවා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් සැකකවන් දෙන්නා අවුදු 27 සහ 35 වයසේ පසුවන කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකවන් බවට හඳුනාගෙන ඇත. සංවිධානාත්මක ජාවාරම් ජාලයකට සම්බන්ධ මොවුන් වෙනත් කණ්ඩායමක් විසින් රැගෙනවිත් සඟවා තැබූ රත්‍රං තොගය රට තුළට රැගෙන යාම සඳහා පැමිණ තිබූ බවට හෙළිකර ඇත. සඟවන ලද පාර්සලය GPS තාක්ෂණය භාවිතයෙන් සලකුණු කොටගෙන ඒ ආධාරයෙන්ම ගොඩගැනීම සැකකවන්ගේ උපායකි. මේ අනුව ජාවාරම සඳහා සංවිධානාත්මක පිරිසක් සම්බන්ධ බවට විශ්වාස කෙරේ. ඔවුන් ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ජාවාරම සිදුකරන බැවින්  ජාවාරමේ සෙසු සගයින් හා මහ මොළකවන් සොයා විමර්ශන සිදු කෙරේ.

ඉන්දියාවේ රත්‍රං මිල අඩුවන විට ඉන්දියාවේ රත්‍රං මෙරටටත් ලංකාවේ රත්‍රං මිල අඩුවන විට මෙරට රත්‍රං ඉන්දියාවටත් හොර රහසේ විකිණීම මේ ජාවාරමුන් විසින් සිදුකරන බව අනාවරණය වී තිබේ. ඒ අනුව රේගුව හරහා මෙරටට අයවිය යුතු විශාල බදු මුදලක් නොගෙවා ජාවාරම සිදුකර ඇත. මේ අයුරින් මීට ඉහතදී මන්නාරම ප්‍රදේශයේදීද රත්‍රං තොගයක් අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා විය. මේ ආකාරයට දිවයින වටා මුහුදු කලාපයේ හා ජාත්‍යන්තර මුහුද ආශ්‍රිතව නාවික හමුදාව සිදුකළ වැටලීම්වලදී අති විශාල මත්කුඩු තොග හෙරොයින්, කේරල ගංජා, බීඩිකොළ, වියලි කහ ඇතුළු ද්‍රව්‍ය රැසක් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

මෙකී රත්‍රං ජාවාරම සම්බන්ධව ඉදිරි නීතිමය කටයුතු සිදුකිරීම සඳහා සැකකවන් දෙදෙනා රත්‍රං කිලෝ හතරකට අධික ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව සමඟ කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත බාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබුණි.

I සමන්ත ප්‍රදීප් විල්තෙර
සේයාරූ: ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ඒකකය

 2024 නොවැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:05