2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

අපෙන් සමුගත් ගජමෑන්ගේ තාත්තා

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 159

සමාජයේ විවිධ ක්‍රියාකාරකම් දෙස උපහාසයෙන් බලන්නට විකට කාටුනය (caricature) අවියක් කර ගනිමින් අඩසියවසකට වැඩි කාලයක් පුරා අප හිනැස්සූ කැමිලස් පෙරේරා  මහතාගේ තෙලිතුඩ පසුගිය සතියේ සදහටම නිහඬ විය. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියයන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය. මියගියේ එක් පුද්ගලයකු වුවද  ඔහුගේ වියෝවත් සමඟ තවත් චරිත රැසක් මෙරට පාඨකයන්ට අහිමි වී යනු ඇත. තෙපානිස්, ගජමෑන්, සිරිබිරිස්, දොන් සේතං, සිමෝනා, ගොඩ්ඩිං අයියා, මෙරායා, ලපයා, මිස්ට ලව්රිස්, ස්විටි, සෙල්ලං සේන, දැක්කොත් පත්මාවතී, ඩොල්පිනා, සොපියා, බුරියා,  ගජමන් පොඩ්ඩා, චූටි, ටික්කා, පැටෝ හා මගෝඩිස්තුමාද අතීත මතක රැසක් ඉතිරිකරමින් ඔහුගේ අභාවයත් සමඟ සමුගන්නවා ඇත.

කැමිලස්ගේ කාටුන් අප රස වින්දේ ළමා වියේ සිටය. එකල සිළුමිණ පුවත්පත අතට ගන්නා අප මුලින් බැලුවේ එහි පළවූ ඔහුගේ සිරිබිරිස් කාටූනයයි. ඔහු සිළුමිණ පුවත්පතට සිරිබිරිස් මුලින්ම හඳුන්වා දුන්නේ 1967දීය. එතැන් සිට මේ දක්වා  සිළුමිණ පත‍්‍රයෙන්. උපන් සිරිබිරිස්ද, 1972 සතුට චිත්‍රකතා පත්‍රයට නිර්මාණය කළ ගජමෑන්ද ජනතාව අතර නොමැකෙන මතකයකි. ජනතාව ඔහු හැඳින්වීමට හුරුව සිටියේ කැමිලස් පෙරේරා යන නමින් නොව ගජමෑන් ලෙසිනි.

1939 දෙසැම්බර් 01 වැනිදා මීගමුවේදී උපත ලද කුරුකුලසූරිය එලිජියස් කැමිලස් පෙරේරා මීගමුවේ වැල්ලවීදියේ ශාන්ත සෙබස්තියන් රෝමානු කතෝලික මිශ්‍ර පාසලෙන්, මාරිස්ටෙලා විද්‍යාලයෙන් හා ශාන්ත මරියා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. චිත්‍ර ශිල්පයට ප්‍රියකළ ඔහු එයට හපන්කම් පෑවේ ළමා වියේ සිටය. ඒ සඳහා ඔහුට ගුරුවරයකු නොසිටි අතර එය ප්‍රගුණ කළේ සහජයෙන් ලද හැකියාවෙනි. එවක ඉංග්‍රීසි පුවත්පත් කාටුන් ශිල්පියකු වූ ඕබ්‍රි කොලට්ගේ නිර්මාණවලට රුචිකත්වයක් දැක්වූ ඔහු ඒ ඇසුරින් තමන්ගේම ශෛලියක් ගොඩනඟා ගන්නට සමත් විය. කොළඹ ආනන්ද විද්‍යාලය මගින් සංවිධානය කළ දීපව්‍යාප්ත චිත්‍ර තරගයකින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සමත් වූ කැමිලස් පෙරේරාට පාසල් අධ්‍යාපනය අවසන් කළ විගස හේවුඩ් කලායතනයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාවක් හිමිවුවද එය මගහැරිණි. පසුව ඔහුට පුත්තලම කච්චේරියේ රුකියාවක් ලැබිණි. ඒ සැලසුම් ශිල්පියකු ලෙසිනි. සම්මුඛ පරීක්ෂණයට 2000කට ආසන්න පිරිසක් පැමිණ සිටියද එම තනතුර සඳහා තෝරාගත්තේ ඔහුය. පුත්තලමේ කෙටි කලක් සේවය කළ කැමිලස් පෙරේරා කොළඹ කච්චේරියට මාරුවක් ගත්තේය. ඒ පුවත්පතකට කාටූන් නිර්මාණය කිරීමේ ආසාවද සිතෙහි රඳවමිනි.  කච්චේරියේ සේවය කරන අතරතුර 1964 වසරේ සරසවිය පුවත්පතට කාටුනයක් නිර්මාණය කිරීමට අවස්ථාව හිමිවුවද එය නොකඩවා කරගෙන යාමට නොහැකි විය.   පසුව ඔහුට දවස  පුවත්පතට  කාටුනයක් නිර්මාණය කිරීමට අවස්ථාව හිමි විය. ඒ  එවක දවස කතුවරයාව සිටි ඩේවිඩ් කරුණාරත්න මහතාගේ උපකාරයෙනි. සිරිබිරිස්ලාට, ගජමෑන්ලාට පෙර ඔහු වෙතින් මුලින්ම උපත ලැබුවේ තෙපානිස්ය. ඒ 1965 වසරේදීය.  ඒ සඳහා ඔහුට දවස ආයතනයෙන් කිසිදු ගෙවීමක් නොලැබිණි.

ජනතා නමින් ලේක්හවුස් ආයතනය සවස පුවත්පතක් එළිදක්වන්නට 1966 වැනි කාලයේ සූදානමක් තිබිණි. කැමිලස්ට එම පුවත්පතට කාටුනයක් නිර්මාණය කරන්නට අවස්ථාව හිමිවූයේ එවක සිළුමිණ කතුවරයාව සිටි පියසේන නිශ්ශංක මහතාගේ ආරාධනයෙනි. ඔහු ජනතා පුවත්පතට දොං සේතං නිර්මාණය කළේය. එම චරිතවලට තවත් චරිත කිහිපයක්ම එකතු විය. ඒ සිමෝනා, මෙරායා, ගොඩ්ඩිං අයියා සහ ලපයාය. දිනපතාම ජනතා පුවත්පතින් එම චරිත ජනතාවගේ මුවට සිනහවක් එක්කළ අතර කැමිලස්ගේ නමද පාඨකයන්ගේ මතක තුළ ඉතිරි විය. පසුව සරසවිය පුවත්පතට දැක්කොත් පත්මාවතීද, ඔබ්සවර් පුවත්පතට මිස්ට ලව්රිස්ද, ජනතා පත්‍රයට සෙල්ලං සේනද ඇන්දේය. ඔහු දිගටම පුවත්පත් සඳහා කාටූන් නිර්මාණය කළද ඔහුගේ රැකියාව කොළඹ කච්චේරියේ සැලසුම් ශිල්පි තනතුර විය. ඔහු තම රුකියාවද කාටුන් ඇඳීමද සමබරව පවත්වාගෙන ගියේය.

1972 වසරේ ලේක්හවුස් ආයතනය සතුට නමින් චිත්‍රකතා පත්‍රයක් ආරම්භ කළේය. කැමිලස්ගේ ගජමෑන් උපන්නේ සතුට පත්‍රයත් සමඟය. ගජමෑන්, සිරිබිරිස් මෙන්ම ශ්‍රී ලංකාවේ පීඩිත ජනතාව නිරෑපණය කළේය. එදිනෙදා සමාජ ප්‍රශ්න උපහාසාත්මකව ගජමෑන් තුළින් ජනතාව අතරට ගියේය. කැමිලස් දේශපාලකයන් දැඩිව උපහාසයට ලක්කළේය. මුලින් ඔහු ඇන්දේ මන්ත්‍රිතුමාවය. පසුව මන්ත්‍රීතුමා මගෝඩිස්තුමා විය. දේශපාලකයන් හැමවිටම කරන්නේ මගෝඩි වැඩ බැවින් තමන් මන්ත්‍රිතුමා මගෝඩිස්තුමා ලෙස නාමකරණය කළ බව වරක් කැමිලස් පෙරේරා නාලක ගුණවර්ධන සමඟ කරන ලද මාධ්‍ය ආවර්ජනා වැඩසටහනේදී සඳහන් කළේය. මගෝඩිස් වැඩ කළත් කිසියම් ගෞරවයක් ඇතිවන ලෙස තුමා යනුවෙන්ද යෙදූ බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව තුළ දේශපාලනයේ යෙදී සිටින ඇතැම් පුද්ගලයන්ට පහර වදින සේ තමා නිර්මාණය කළ නමුදු එම දේශපාලනඥයන්ට පවා සිනහ උපදවන අයුරින් ඒවා නිර්මාණය කිරීම හේතුවෙන් මේ දක්වා කිසිවෙකු තමා සමග උරණ වී නැතැයි කැමිලස් පෙරේරා බීබීසිය සමග කළ සාකච්ඡාවකදී පවසා තිබිණි. සිනහසෙන්නට කැමති සියලු දෙනා තමා නිර්මාණය කළ කාටූන් චරිත ඉතා කැමැත්තෙන් වැළඳගත් නිසා ඉතා සාර්ථක ගමනක් පැමිණීමට හැකිවූ අතර ජනතාවට ලබාදීමට අවශ්‍යවූ පණිවුඩය හැමවිටම ''සිනහවත්'' සමග ලබාදීමට හැකිවීම තමා නිර්මාණය කළ චරිතවල විශේෂත්වය බව ඔහු සඳහන් කර තිබිණි.

කිසියම් සිදුවීමක් මත ඔහුට ලේක්හවුසියේ කාටුන් ඇඳීමට තිත තියන්නට සිදුවිය. දවස පුවත්පතට සීල් තැබුණේද ඒ කාලයේය. පසුව ඔහු චින්තන ජයසේනගේ අද පුවත්පතට කාටූන් නිර්මාණය කළේය. සිත්තර නමින් මල්ටිපැක්ස් ආයතනය චිත්‍රකතා පත්‍රයක් ආරම්භ කළ අතර ඔහු එම පුවත්පතට ගජමෑන් ගෙන ආවේය. 1986දී තමන්ගේම චිත්‍රකතා පුවත්පතක් %සත්සිරි^ නමින් ආරම්භ කළ අතර එය පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය.

අඩසියවසකට අධික කාලයක් පුරා මෙරට පාඨකයන්ගේ මුවඟට සිනහවක් එක්කළ කැමිලස් පෙරේරා මහතාට සුබ ගමන්.

(මෙම ලිපිය සැකසීමේදී ඇතැම් කරුණු නාලක ගුණවර්ධන මහතා කැමිලස් පෙරේරා මහතා සමඟ කරන ලද මාධ්‍ය ආවර්ජනා සාකච්ඡාවෙන් උපුටාගන්නා ලදි)

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02