මෙම කතාව වාර්තා කළ පසු, රාඝවන් අයියර් කනගාටුදායක ලෙස අප අතරින් සමුගෙන ගියේය. මෙය ඔහු විසින් අවසානයට සිදුකළ සම්මුඛ සාකච්ඡාවලින් එකක් වන අතර, අප මේ කතාව සහ ඔහුගේ ශ්‍රී ලාංකීය ඉස්සන් වෑංජනයේ වට්ටෝරුව පළකරන්නේ ලෝකය පුරා ඉන්දියානු ආහාර සහ වෑංජන පිසීමට අපට ඉගැන්වූ සුවිශේෂී ඉන්දියානු සම්භවයක් සහිත ඇමෙරිකානු සූපවේදියකු සහ කතුවරයකුගේ ජීවිතය සහ උරුමය පිළිබඳ ස්මරණය කිරීමටය.
සූපවේදියකු, සූපශාස්ත්‍ර ග්‍රන්ථ රචකයකු, සූපශාස්ත්‍ර ගුරුවරයකු සහ වෑංජන පිළිබඳ විශේෂඥයකු වන රාඝවන් අයියර් පිළිකාව සමඟ සිදුකළ දීර්ඝ සටනකින් පසු මාර්තු 31 වැනිදා මියගියේය. මෑතක පළවූ නිව්යෝර්ක් ටයිම්ස් ලිපියකට අනුව, ඔහු ඇමෙරිකානුවන්ට ඉන්දියානු ආහාර පිසීමට ඉගැන්වීය. ඔහු වර්තමානයේදී සුප්‍රකට ''660 Curries'' ඇතුළු සූපවේදී ග්‍රන්ථ හතක කතුවරයෙකි.
අයියර් ඔහුගේ කෘතිය හැඳින්වූයේ ''වෑංජන ලෝකයට ආදර හසුනක්'' ලෙසය. එය ''සරලව කරියක් ලෙස හඳුන්වන ආහාරයේ පොහොසත් බව සහ පුළුල් බව වෙත ඔහුගේ නිත්‍ය ලෙගසිය බවට පත්වනු ඇතැ''යි ඔහු තුළ වූ අපේක්ෂාව පළකළේය. එමෙන්ම, නැගෙනහිර සහ බටහිර විවිධ සංස්කෘති වලින් වෑංජන අනුවර්තනය කරගෙන ඇති ආකාරය පිළිබඳ සවිස්තරාත්මක කතාව සමඟ ඉතිහාසය, ජනශ්‍රුති සහ කුටුම්භ සබඳතා පිළිබඳ තොරතුරු මෙම පොත පුරා විසිරී තිබේ.
ඔහුගේ බැදගත් කුරුඳු සමග ඉස්සන් වෑංජනයේ වට්ටෝරුව, රස සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීම සඳහා කුළුබඩු කළු වනතෙක් බැදගෙන පිසින, එරටටම ආවේණික සූපශාස්ත්‍ර සම්ප්‍රදායන් ඇති ශ්‍රී ලංකාවෙන් පැමිණි එකකි. පොල් කිරෙන් පිසූ ප්‍රණීත හොදි සහ කුරුඳු වැනි සුවඳවත් කුළුබඩු යහමින් යොදා පිසින ශ්‍රී ලාංකික ආහාර අයියර්ගේ ප්‍රියතම ආහාර අතරට වැටෙයි.
අයියර්ගේ වට්ටෝරු, නවකයින්ගේ සිට ප්‍රවීණයින් දක්වා ඕනෑම අයෙකුට පිසිය හැකිය. ''මම මුළු වට්ටෝරුව පුරාවටම පාඨකයාට එකින් එක කියලා දෙනවා. ඉතින් ඔබට මේ පොත අරගෙන කියවන්න පුළුවන් නම්, ඔබට මේ කරීස් උයන්නත් පුළුවන්'' ඔහු පැවසීය.
රාඝවන් අයියර්ගේ, බැදගත් කුරුඳු සමග පිසින ඉස්සන් වෑංජනයේ වට්ටෝරුව
(හතර දෙනෙකුට ප්‍රමාණවත්ය)
අවශ්‍ය ද්‍රව්‍ය:
• කුරුඳු කැබලි තුනක්
• මදුරාසි තුනපහ මේස හැඳි 2ක්
• සිහින්ව කපාගත් මධ්‍යම ප්‍රමාණයේ සුදුලූනු බික් 6ක්
• හොඳින් තලාගත් නැවුම් ඉඟුරු පෙති 3ක් (කාලක කැබලි/ සෙ.මී.2.4)
• පොතු හා නාරටිය ඉවත් කර වලිග ඉතිරිකළ ලොකු ඉස්සන් ග්‍රෑම් 450ක්
• පොල්තෙල් හෝ එළවළුතෙල් මේස හැඳි 2ක්
• අබ ඇට මේස හැඳි 1ක්
• සීනි එක් නොකළ පොල්කිරි ටින් 1ක් (මි.ලී. 400)
• ලොකුවට කපාගත් නැවුම් කරපිංචා කෝප්ප කාලක්
• කැබලි වනතෙක් තලාගත් ගම්මිරිස් ඇට මේස හැඳි 2ක්
• ලුණු කැට මේස හැඳි 1ක්
ක්‍රමය:
පළමු පියවර
කුඩා තාච්චියක් මධ්‍යම-ඉහළ උණුසුමකට රත්කර ගන්න. තාච්චිය රත්වූ විට (අඩියට ආසන්නයෙන් අත්ල ඇල්ලූ විට තත්පර පහක් තුළ තාච්චියේ උණුසුම දැනිය යුතුයි). කුරුඳු කැබලි කුඩා කැබලිවලට කඩා තාච්චියට දමා බැදගන්න. නොනවත්වා කලවම් කරමින්, තාච්චිය සොලවමින්, ඒවා තවත් අඳුරුවන තෙක් සහ සුවඳවත් වනතෙක් විනාඩි 1සිට 2ක් දක්වා බැදගන්න. ඒවා ග්‍රයින්ඩරයට දමා විනාඩි 5ක් පමණ සිසිල් වෙන්නට තබන්න. සිහින්ව කුඩුකරගත් ගම්මිරිස්වල ස්වභාවයට සමානව කුරුඳු කුඩු කරගන්න.
දෙවැනි පියවර
ලොකු භාජනයකට කුරුඳු, තුනපහ, සුදුලූනු සහ ඉඟුරු එක්කර, එයට ඉස්සන් දමා දවටාගන්න. බඳුන ආවරණය කර විනාඩි 30ක් හෝ රුයක් පුරා ශීතකරණයේ තබන්න.
තෙවැනි පියවර
මධ්‍යම-ඉහළ ප්‍රමාණයේ උණුසුමකින් ලොකු තෙල් තාච්චියක තෙල් රත්කරගන්න. තෙල් හොඳින් රත් වී ඇති බව පෙනෙන විට අබ ඇට එක්කර, පිපිරීම නවතින තෙක් තත්පර 30ක් පමණ වසා පිසගන්න. ඉක්මනින්ම ඉස්සන් තනි තට්ටුවක් ලෙස තාච්චියේ අතුරා, පැත්ත හරවමින් හොඳින් බැදගන්න.
සිව්වැනි පියවර
හොඳින් මිශ්‍රකර ගත් පොල්කිරි එයට වත්කරන්න. කරපිංචා, ගම්මිරිස් කැබලි සහ ලුණු එකතුකරන්න. වෑංජනය තැම්බෙන්න තබා ඉස්සන් වකුටු වී තැඹිලි පාටට එනතුරු නොනවත්වා මිනිත්තු 3 සිට 5 ක් දක්වා පිසගන්න. තෙල් හැන්දක් පාවිච්චි කර ඉස්සන් පමණක් වෙනත් භාජනයකට දමා උණුසුම්ව තබාගන්න.
පස්වැනි පියවර
හොද්ද වරින්වර කලවම් කරමින්, උකු වනතුරු මිනිත්තු 2 සිට 4 දක්වා පිසීම දිගටම සිදුකරන්න. ඉස්සන් මතට හොදි දමා පිළිගන්වන්න.
ටිප්ස්:
කුරුඳු කුඩු භාවිතා නොකරන්න. ඒවායේ රසය සහ සුවඳ අඩුය. භාවිතයට පෙර සම්පූර්ණ කුරුඳු කැබලි කුඩු කරගැනීම වඩා උචිතය.
(උපුටා ගැනීම රාඝවන් අයියර්ගේ On the Curry Trail: Chasing the Flavor That Seduced the World වෙතිනි. ප්‍රකාශනය - Workman Publishing © 2023.)
බී.බී.සී. සිංහල වෙබ් අඩවිය ඇසුරිනි
I දිශානි කරුණාරත්න