යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මෙරට විභාග පද්ධතියේ පුළුල් වෙනසක් ඉදිරියේදී සිදුකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කරන බව පසුගියදා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. විභාගවලට මුහුණ දෙන සිසුන්ට ඇති පීඩනය අවම කිරීම සඳහාත්, එහි ගුණාත්මක බව වැඩිකිරීම සඳහාත් 2025 වසර වනවිට 5 වසර ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයන්හි පුළුල් වෙනසක් සිදු කිරීමට නියමිතය.
සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් සංඛ්‍යාව 9 සිට 7 දක්වා අඩු කිරීමටත් 9 හා 10 ශ්‍රේණිවලදී අතිරේක විෂයන් අනිවාර්ය කිරීමටත් නව ප්‍රතිසංස්කරණ යටතේ යෝජනා වී තිබේ. සාමාන්‍ය පෙළින් කිසිදු දරුවකු අසමත් නොකර උසස්පෙළ හැදෑරීමටත්, විෂයධාරා අනුව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හෝ වෘත්තීය අධ්‍යාපනය හෝ තෝරා ගැනීමටත් එමගින් අවකාශය සැලසෙනු ඇත.
මීට අමතරව දැනට විෂයන් 5ක් වූ උසස් පෙළ විෂය ධාරාව විෂයන් 8-9ක් දක්වා වැඩිකර සිසුන්ට කැමැති විෂය තෝරාගැනීමේ ඉඩ ප්‍රස්ථා වැඩි කිරීමටද යෝජිතය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ දැනට 1-13 දක්වා ක්‍රියාත්මක වන ශ්‍රේණි 1-12 දක්වා අඩුකර 12 වැනි ශ්‍රේණියෙන් අවසන් කිරීමටද අපේක්ෂා කෙරේ. සාමාන්‍ය පෙළ 10 වසරේදීද, උසස් පෙළ 12 වසරේදීද පැවැත්වීමට යෝජිත වන අතර අවුරුදු 17 වනවිට පාසල් අධ්‍යාපනය අවසන් කිරීමට සෑම දරුවකුටම අවස්ථාව ලබාදීමටද යෝජනා කර තිබේ. පෙරපාසැල් අධ්‍යපනය වයස අවුරුදු 4 දීත්, ප්‍රථමික අංශය 1-5 දක්වාත්, කනිෂ්ඨ අංශය 6-8 ලෙසත්, ජ්‍යෙෂ්ඨ අංශය 9 වසරේ සිට 12 වසර දක්වාත් වර්ගීකරණය කර ඇත.
වසරකදී සාමාන්‍ය පෙළ විභාගයෙන් අසූ දහසකට (80,000) අධික සිසුන් සංඛ්‍යාවක් අසමත් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් කිසිදු දරුවකු අසමත් නොවන අතර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදුන් සියලු දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසාදීම ද නව ප්‍රතිසංස්කරණ යටතේ සිදුකිරීමට නියමිතය. උසස් පෙළ විෂයන් ශාස්ත්‍රීය අධ්‍යනය හා වෘත්තීය අධ්‍යනය ලෙස කාණ්ඩ දෙකකට වර්ගීකරණය කොට සෑම දරුකුටම උපාධියක් ලබාගැනීම දක්වා මාර්ගයක් සකස්කර ඇත. ශාස්ත්‍රීය අධ්‍යනය යටතේ දැනට පවතින විෂය අංශයන් 6 සිට 8 දක්වා වැඩිකරමින් නව විෂය අංශ දෙකක් එක්කොට ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි. එමෙන්ම ප්‍රායෝගික අධ්‍යනය යටතේ විෂය අංශයන් 10ක් ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය ලැබීම අවස්ථාව ලැබෙන බවත් ඒ ඔස්සේ උපාධි නොවන ක්‍ෂේත්‍ර ඔස්සේ යමින් උපාධි ලබාගැනීමේ අවස්ථාව දරුවන්ට ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යංශයේ අදහස වී තිබේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයද වෙනසකට භාජනය කිරීමට නියමිතය. පහ ශිෂ්‍යත්ව විභාග සඳහා පාසල් පාදක ඇගයීම්වලින් යම් ප්‍රතිශතයක්ද, විභාග මගින් යම් ප්‍රතිශතයක්ද ලෙස ලකුණු ලබාදීමට යෝජනා කර ඇති අතර, පහ ශිෂ්‍යත්ව විභාගය සරල කර තරඟකාරීත්වය නැති කිරීමටද යෝජනා කර තිබේ.
එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ අංකන හැකියාව මැන බැලීමට ප්‍රමුඛතාව දීමට නියමිතය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ, ඉදිරියේදී විභාගවලින් ලකුණු සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදු නොකරන බවයි. සිසුන් පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබාගන්නා ලකුණු මෙන්ම 4,5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේදී සිදුකරන ඇගයීම්වලින් 30෴ක් ලකුණු ලබාගත යුතු බවත්, මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු බවද සඳහන්ය.
පාසල් තුළ පන්ති කාමරවල සිසුන් ඇගයීමට ලක්කරන ආකාරය පාසල් මණ්ඩල මගින් අධීක්ෂණයට ලක්කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා, හොඳම අධ්‍යාපනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන ෆින්ලන්තයේ පවා 9 වැනි ශ්‍රේණිය තෙක් පාසල්වල යොදාගනු ලබන්නේ පන්ති කාමර මට්ටමින් කෙරෙන ඇගයීම් පමණක් බවද එරට පාසල් සිසුන් විභාග මගින් ඇගයීමට ලක්කරනු ලබන්නේ 9 ශ්‍රේණියේ සිට බවද සඳහන් කළේය.
වර්තමානයේ දරුවන්ගේ නොව මව්පියන්ගේ විභාගය ලෙස හැඳින්වෙන පහ වසර ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරන විභාගයක් ලෙස ප්‍රචලිත වී තිබේ. ලංකාවේ පාසැල්වල අධ්‍යාපන පහසුකම් අතින්ද, සමාජ පිළිගැනීම අතින්ද විෂමතාවයක් පවතී. බොහෝ දෙමව්පියෝ ඉහළ සමාජ පිළිගැනීමක් ඇති, අධ්‍යාපන පහසුකම් වැඩි පාසලකට තම දරුවන් ඇතුළත් කිරීමට කැමතිය. වර්තමානයේ දරුවකු පළමු වසර පාසලකට ඇතුළත් කර ගැනීම පවා යුද්ධයකි.
ආසන්න වශයෙන් ලක්‍ෂ 3ත් 4ත් අතර සිසු සිසුවියන් පිරිසක් 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා වාර්ෂිකව මුහුණ දේ. 2023 ඔක්තෝබරයේ පැවැති විභාගය සඳහා දරුවන් තුන්ලක්ෂ තිස් අටදහස් තිස් හත්දෙනෙක් මුහුණ දුන්හ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ හිතකර හා අහිතකර වශයෙන් දෙපැත්තක් තිබේ. බොහෝ දෙමව්පියන් තම දරුවන් 5 වසර ශිෂ්‍යත්ව විභාගයට යොමු කිරීමට උත්සාහ කිරීම සාධක කිහිපයක් මත සිදුවන්නකි. ඉන් පළමුවැන්න දරුවන්ට හොඳ පාසලක් ලබා ගැනීමේ අවශ්‍යතාවයයි. විශේෂයෙන් අගනුවරින් බැහැර ගම්බද හා දුෂ්කර පළාත්වල දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට පහසුකම් හෝ ගුරුවරුන් නොමැත. ශිෂ්‍යත්වය සමත්වීම තුළින් ඔවුන්ට නගරයේ වැඩි පහසුකම් සහිත පාසලකට ඇතුළත් වීමට අවකාශ සැලසේ. ශිෂ්‍යත්ව විභාගය සමත් වී ජනප්‍රිය පාසලකට පැමිණෙන දරුවකුට දක්ෂ සිසුන් සමග අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ලැබෙන අවස්ථාව මත සිය හැකියාවන් ඔප් නංවා ගැනීම සඳහාද මග සැලසේ. විවිධ බාහිර ක්‍රියාකාරකම් සඳහා සහභාගි වීමටද අවස්ථාව සැලසෙන හෙයින් ඔවුන්ගේ කුසලතා වර්ධනය කර ගැනීමටද එය පිටිවහලක් වේ.
ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු ප්‍රමාණය ඉක්මවා යන අඩු ආදායම්ලාභී දරුවන්ට ශිෂ්‍යාධාරයක්ද හිමිවේ. එමඟින් දිළිඳු දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කරගෙන යාමට අවස්ථාව සැලසේ.
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ අහිතකර පැත්ත වන්නේ ඇතැම් දෙමාපියන් දරුවාට පමණට වඩා වැඩි පීඩනයක් ඇති කිරීමය. තරඟය උණුසුම් බැවින් ශිෂ්‍යත්ව විභාගයට දරුවන් සූදානම් කිරීම පටන් ගන්නේ තුන්වැනි පන්තියේ පමණ සිටය. අවුරුදු 07ක 08ක දරුවෙකුට දැරිය නොහැකි වැඩ ප්‍රමාණයක් බාල වියේදීම ඔවුන් මත පැටවේ. දැන් ඒ සඳහා උපකාරක පංතිද ඇත. දරුවන් උපකාරක පන්තිවලට යවමින් ඔවුන්ගේ නිදහස සීමාකරන අතර එම වයසේ දරුවන්ට අවශ්‍ය ක්‍රීඩා කිරීමේ නිදහසද අහිමිකරනු ලබයි. එවිට දරුවාගේ සුන්දර ළමා කාලය අහිමි කෙරෙන අතර ඇතැම් දරුවන් කලහකාරීව හැසිරෙන අයුරුද දැකිය හැකිය. පාසල් අධ්‍යාපනය තුළදී එක් විෂයයක උපරිම කාල සීමාව විනාඩි 40කි. පාසල් යන වයසේ පසුවන දරුවකුට ඊට වැඩි කාලයක් අවධානය යොමු කිරීමට අසමත් යැයි අධ්‍යාපනඥයන් හා මනෝ විද්‍යාඥයන්ගේ මතයයි. බොහෝ විට පහවසර ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වන බොහෝ දරුවන්ට වැඩි වේලාවක් අධ්‍යාපනය ලැබීමට සිදුවේ. එය ඔවුන්ගේ අනාගතය කෙරෙහිද බලපෑමක් එල්ල කරනු ඇත.
හොඳ පාසලකට ඇතුළත් වීම සඳහා විවිධ පාසල් සඳහා වන කඩඉම් ලකුණු සංඛ්‍යාවද විවිධය. 2023 වසරේ 6 වැනි ශ්‍රේණියට කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත්වීම සඳහා නියමිත කඩඉම් ලකුණු ප්‍රමාණය 182කි. මහනුවර ධර්මරාජ විද්‍යාලයට 180කි. කුරුණෑගල මලියදේව විද්‍යාලයට ලකුණු 178කි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ලකුණු 177කි. මාතර රාහුල විද්‍යාලයට 174කි. ගම්පහ බණ්ඩාරනායක මහා විද්‍යාලයට ලකුණු 168කි. මේ අනුව දිවයිනේ විවිධ ප්‍රදේශවල පාසල් සඳහා විවිධ කඩඉම් ලකුණු පවතී.
හිටපු විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතාද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ 5 ශිෂ්‍යත්ව විභාගය එම වයසේ දරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරන බවටය.
''කුඩා දරුවන්ට මේ පීඩනය ඇත්තටම වැඩියි. ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුයි. සෙල්ලම් කරන්න ඕන වයසේ ඉන්න දරුවන් පාඩම් කරවල කරවල විභාගයට ඉදිරිපත් කරනවා. එතනදී දරුවන්ගේ මානසික වර්ධනයේ ගැටලුවක් ඇති වෙනවා. ශිෂ්‍යත්ව විභාගය 5 වසරෙ නෙමෙයි 7 හෝ 8 වැනි වසරේ පැවැත්වෙනවා නම් හොඳයි කියලයි මට සිතෙන්නේ'' යනුවෙනි.
පසුගිය සමයේ එම විභාගය අවලංගු කළ යුතු බවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද සඳහන් කර තිබිනි. එහෙත් කළ යුත්තේ අවලංගු කිරීම නොව දරුවන්ට මානසික පීඩනයකින් තොරව විභාගයට මුහුණ දියහැකි වාතාවරණයක් නිර්මාණය කිරීමය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් එය ඉටුකිරීමට හැකිවනු ඇතැයි සියල්ලන්ගේ අපේක්ෂාවය.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා