2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

’’සුදු මැස්සා’’ වනසන නව නිපැයුමෙන් කප් ගැසූ කුරුණෑගල සිසුවිය

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 117

කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන තුෂාරා සෙව්වන්දි බස්නායක සිසුවිය මේ ''නව නිපැයුම'' නිර්මාණය කර ඇත. එය කුරුණෑගල ඇතුළු බොහෝ ප්‍රදේශවල වගාවලට හානි සිදුකරන සුදු මැස්සා විනාශ කරලීමේ ක්‍රියාවලියකි. විශේෂයෙන් වැඩි වශයෙන් පොල් වගාවට හානි කරන මෙම සුදුමැස්සා කළුතර, ගම්පහ, කුරුණෑගල, මහනුවර, ගාල්ල, පුත්තලම වැනි දිස්ත්‍රික්කවල පැතිරී සිටී. ඊට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවලද වරින්වර ව්‍යාප්ත වෙයි.

''සුදු මැස්සා''ගේ මෙම හානිය දුටු තුෂාරා සෙව්වන්දිට මෙම වගා හානියට පිළියමක් සෙවීමට අදහසක් පහළ විය. එයට ප්‍රධාන හේතුව වූයේ තුෂාරාගේ නිවෙසේ තිබූ තැඹිලි ගසකටද සුදුමැස්සන්ගෙන් දැඩි ලෙස හානි සිදුවී තිබීමය.

''අපේ ගෙදර තැඹිලි ගහෙත් සුදු මැස්සාගේ හානිය සිදුවෙලා තිබුණා. දවසක් මම කුරුණෑගල උස ගලකට නැග්ගට පස්සේ ඒ අවට බොහෝ පොල් හා තැඹිලි ගස්වලට මේ පලිබෝධකයාගෙන් විශාල හානියක් සිදුවෙලා තිබෙන බව දැක්කා. කුරුණෑගල පොල්වලට ඉතා ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක්. බොහෝ අයගේ ජීවිකාව වූයේ පොල් වගාවයි. මේ විදිහට මේ වගාවට හානි සිදුවීමෙන් එය ආර්ථිකයට විශාල හානියක් බව මම තේරුම් ගත්තා. කුරුණෑගල අවට බොහෝ පොල්ගස් කහ පැහැවෙලා තිබුණා. ඒ නිසාම විශාල ප්‍රදේශයකට ව්‍යාප්තව තිබෙන මෙම වගා ගැටලුවකට පිළියමක් සොයාගන්න මට ඕන වුණා.'' යැයි තුෂාරා සෙව්වන්දි බස්නායක සිසුවිය මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ඒ අනුව පළමුවෙන් තුෂාරා සෙව්වන්දි කළේ සුදු මැස්සා පිළිබඳව තොරතුරු සොයා බැලීමය. සුදුමැස්සා වැඩි වශයෙන් ව්‍යාප්තව ඇත්තේ පොල් වගාව ආශ්‍රිතවය. විශේෂයෙන් පොල්කොළ ආශ්‍රිතවය. පොල් කොළ ආශ්‍රිත ප්‍රදේශවල දැඩි ලෙස රුඳී සිටින සුදුමැස්සා ඉතා වේගයෙන් වගාවට හානි පමුණුවයි. සුදු මැස්සා පොල්වලට පමණක් නොව කෙසෙල්, අඹ ඇතුළු පළතුරු සහ එළවළු වලට හානි කරයි. මේ හේතුවෙන් පළදාව ඉතා සීඝ්‍රයෙන් අඩුවේ. සුදු මැස්සා ඕනෑම ශාකයක යුෂ උරා බොන කෘමියෙකි. ඒ යුෂ උරා බීමත් සමඟ ශාකයට හානි සිදුවේ. සුදුමැස්සාගේ විශේෂිත වූ වර්ග හතරක් සිටින අතර එයින් විශේෂිත වූ වර්ග දෙකක් පොල් වගාවට පමණක් හානිකරයි. ඉතුරු විශේෂිතයන් අනෙකුත් වගාවන් ආශ්‍රිතව දක්නට හැකිය. ඒ අනුව සුදු මැස්සා ඕනෑම වගාවට හානිකළ හැකි කෘමියෙකි.

තුෂාරා සෙව්වන්දි ඉගෙනුම ලබන කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාල නව නිපැයුම් සමාජය මඟින් වයඹ පළාතේ රොබෝ තාක්ෂණ හා නව නිපැයුම් තරගාවලිය සඳහා නව නිපැයුම් තෝරා ගැනීමේ තරගයක් පැවැත්වීය. ඒ අනුව තුෂාරා සෙව්වන්දිටද මෙම තරගාවලියට යම් නව නිපැයුමක් ඉදිරිපත් කිරීමට විශාල උවමනාවක් හා කැමැත්තක් ඇතිවිය. ඇය බොහෝ කල්පනා කළාය. ඒ අතරතුරේදී තම ප්‍රදේශයට සුදු මැස්සන්ගෙන් සිදුවන හානිය සම්බන්ධයෙන්ද විශාල හිත් රිදීමක් හා ඒ වෙනුවෙන් යමක් කිරීමේ උවමනාවක් තුෂාරාගේ හිතට ඇතිවී තිබුණි. ඇය ''සුදු මැස්සා'' පිළිබඳව සොයාබැලීය. ඇය සුදු මැස්සන් සම්බන්ධයෙන් ලෝකය පුරා කර ඇති සමීක්ෂණ වාර්තා, හානිය හා සියලුම දත්තයන් අන්තර්ජාලය ඔස්සේ සොයාබැලීය. ඇය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ''සුදු මැස්සා'' සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ දත්තද සොයාබැලීය.

ඇය ''සුදු මැස්සා'' විනාශ කරලීමේ නව නිපැයුමක් නිර්මාණය කරලීමට පෙළඹුණේ ඒ අනුවය.

සාමාන්‍යයෙන් සුදු මැස්සා කහ පැහැයට ආකර්ෂණය වේ. ඒ වගේම තුෂාරා පවසන පරිදි සුදු මැස්සා වැඩි වශයෙන් පොල් ගසට ආකර්ෂණය වීමට හේතුව වන්නේ පොල් ගසෙන් හමනු ලබන සුවඳ නිසා බව සොයාගැනීමට සමත් වී තිබේ.

''සුදු මැස්සා පොල් ගසට ආකර්ෂණය වීමට හේතුව වන්නේ ඒ ගසෙන් හමනා සුවඳ නිසයි. සුදුමැස්සා තමන්ගේ ආහාර ගසේ ඇති බව සොයාගනු ලබන්නේ ඒ විශේෂිත සුවඳටයි. මම ඒවා නිස්සාරණය කරගෙන තවත් අමුද්‍රව්‍ය ඒකට එකතු කරගෙන පොල් ගසෙන් හමනා සුවඳට සමාන ද්‍රාවණයක් හදාගත්තා. එම ද්‍රාවණයෙන් සුදුමැස්සාව ආකර්ෂණය කරගන්නට හැකියාව ලැබුණා.'' යැයි තුෂාරා සෙව්වන්දි කියයි.

සුදු මැස්සා වැඩි වශයෙන් සක්‍රීයතාවයක් දක්වනු ලබන්නේ පාන්දර තුනත් හතරත් අතර කාලයේදීය. මේ කාලය තුළදී සුදුමැස්සාට ආකර්ෂණය කරගැනීම සඳහා තුෂාරා සෙව්වන්දි යොදාගනු ලබන්නේ කහ පැහැති කුඩයකි. ඒ කුඩය ඇතුළත සෝලා විදුලි බල්බ දෙකක් ස්වයංක්‍රීය ලෙසින් දැල්වීම සඳහා සවිකර ඇත. ඒ අනුව ඇය විසින් සාදාගත් ද්‍රාවණය ආලේප කළ කහ පැහැති කුඩය ඇතුළතට පැමිණෙන සුදු මැස්සා එහි ඇතුළත ඇති කොටසේ ඇලී විනාශ වී යයි.

ඇය මෙම නව නිපැයුම වයඹ පළාත් නව නිපැයුම් තරගාවලියට ඉදිරිපත් කළාය. එයින් ඇයගේ නව නිපැයුම පළමු ස්ථානය හිමිකර ගත්තේය. ඒ රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තාක්ෂණ අංශයෙනි. පසුව ඇයගේ මෙම නව නිපැයුම සමස්ත ලංකා තරගාවලියටද ඉදිරිපත් කළාය. එයින්ද කර්මාන්ත අංශයේන් ඇයගේ නව නිපැයුමට ප්‍රථම ස්ථානය හිමිවී ඇත. මෙම තරගාවලියට වයඹ පළාතෙන් ඉදිරිපත් වූ එකම පාසල් සිසුවියද වන්නේ ඇයයි.

ඇය පාසලේ දක්ෂ සිසුවියකි. කුඩා කළ සිටම විවිධ නිර්මාණ අත්හදා බලන්නට ඇළුම් කළාය. මේ නව නිපැයුමට ඇයගේ අප්පච්චිගෙන් සහ පවුලේ අයගෙන්ද විශාල සහයෝගයක් හා ආශීර්වාදයක් ඇයට ලැබුණි. ඒ වගේම ඇය පවසන්නේ පාසලේ විදුහල්පතිතුමන්, පාසලේ විද්‍යා අංශයේ ගුරුවරුන්, පන්ති බාර ගුරුතුමන් ඇතුළු පාසලේ සියලුම ගුරු මණ්ඩලයෙන්ද විශාල සහයෝගයක් සහ ආශීර්වාදයක් මෙම තරගයට ඉදිරිපත් වීමට තමන්ට ලැබුණු බවය.

බොහෝ විට ''සුදු මැස්සා''ගෙන් වගාවන් බේරා ගැනීම සඳහා ගොවීන් කරනු ලබන්නේ කහ පැහැති ඉටි කවරයක ග්‍රීස් වැනි ‍ද්‍රව්‍යයක් ආලේප කොට ''සුදු මැස්සා'' එයට ආකර්ෂණය කරවීමය. නමුත් තුෂාරා සෙව්වන්දි පවසනු ලබන්නේ එයට වඩා මෙය ඉතා සාර්ථක ක්‍රමවේදයක් බවය. කුඩා කල සිටම නව නිපැයුම් කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන තුෂාරු ඉදිරියේදීත් නව නිපැයුම් සිදුකරලීමට බලාපොරොත්තුවෙන් සිටියි.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02