2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

බාල බෙහෙත් මගඩිය! සෞඛ්‍ය ලේකම් ඇතුළේ! ඊළඟට...

 2023 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00 138

ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඳුරුතම යුගය පසුගිය සමය බව අමුතුවෙන් කිවයුතු නැත. තැන තැන බෙහෙත් විසවී රෝගීන් මිය යාමත්, ඊට අනුපාතව සිදුවූ බාල ඖෂධ ගෙන්වීමත් එකී අඳුරු යුගය ජනප්‍රිය සිදුවීම් විය. විවිධ පාර්ශ්වවලින් චෝදනා එල්ලකරන විට නිලධාරීනුත්, පාලකයනුත් එකී වගකීමෙන් ලිස්සා ගියේ මිනිස්සු මැරෙන එක සාමාන්‍ය දෙයක් ලෙසටය. එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කීවේ සෑම රෝහලක් ඉදිරියේම මල්ශාලාවක් ඇත්තේ එලෙස මැරෙන නිසා බවයි. ඉතාම නින්දිත අප්‍රසන්න ප්‍රකාශයක් එලෙස සිදුකර තිබියදීත් කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමේ සිටියේය. එපමණක් නොව එතරම් අප්‍රසන්න ප්‍රකාශයක් කර තිබියදීත් කෙහෙළිය වෙනුවෙන් ආණ්ඩුව පෙරට විත් ඔහුට එරෙහි විශ්වාසභංගය පරාජය කළේය. එහෙත් එන්න එන්නම සෞඛ්‍ය අසාධ්‍ය වෙමින් ගිය නිසා කෙහෙළිය තනතුරෙන් ඉවත් කරනු ලැබීය.

තනතුරෙන් ඉවත් කළත් කෙහෙළියට සිදුවූ දෙයක් නැත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන කිහිපයක් රහස් පොලීසියට පැමිණිලි කළේය. එසේ පැමිණිලි කිරීමත් සමඟ මොකක් හෝ පිනකට එම පරීක්ෂණ නිවැරදි ලෙස ක්‍රියාත්මක විය. මේ නිසා ආරම්භයේම මෙම ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහක ඖෂධය බෙදාහැරීම සම්බන්ධයෙන් එම ඖෂධය ගෙන්වූ බව කියන අයුසුලේඩ්ට් බයෝටෙක් ෆර්මා ආයතනයේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, එහි සහකාර අධ්‍යක්ෂක ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය සහ තොග පාලක සුජිත් කුමාර යන අයත් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ මෙම ඖෂධය බෙදාහැරීමේ චෝදනාව යටතේය.

කෙසේ වෙතත් මේ ඖෂධය ගෙන්වීම සඳහා අවසර දුන්නේ කවුද යන්න ප්‍රධාන ප්‍රශ්නය විය. නියත වශයෙන්ම ඒ සඳහා අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත් වගකිව යුතුය. එසේ නම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්න ජනතාවට ප්‍රශ්නයක් විය. කෙසේ වෙතත් කාලය ක්‍රමයෙන් ඇදී යනවිට පසුගියදා හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත අඩංගුවට ගනු ලැබීය. ඒ පැය පහක ප්‍රශ්න කිරීමකින් පසුවය. ඉන් අනතුරුව අමාත්‍යංශ ලේකම්වරයා බන්ධනාගාර ගත කරනු ලැබීය.

දැන් හොඳම කතාව පටන් ගන්නේ ඉන්පසුවය. එනම් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රකාශයේ සඳහන් වී ඇතැයි පැවසෙන්නේ තමන් සියල්ල සිදුකළේ අමාත්‍යවරයාගේ නියෝගය පරිදි බවයි. සැබවින්ම ලේකම්වරයා එවැනි ප්‍රකාශයක් සිදුකළා නම් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාටද එම නීතිය ක්‍රියාත්මක විය යුතුය. කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් මේ වනවිට රහස් පොලීසිය ප්‍රශ්න කරන්නට සූදානම් වන බව දැනගන්නට ඇත. සාමාන්‍ය ජනතාව සඳහා නීතිය තිතට ක්‍රියාත්මක වුණත් මෙවැනි බලය ඇත්තන් ඉදිරියේ නීතිය වංගු ගැසෙන බව අප ඉතිහාසයේ උගත් පාඩම්ය. ඒ නිසා කෙහෙළියටත් එවැනි වංගුවක් ගැසේදැයි අප දන්නේ නැත. කෙසේ වෙතත් අඩුම තරමින් මෙසේ හෝ නීතිය ක්‍රියාත්මක වීම පුදුමය ගෙන දෙන්නකි. විශ්මයකි.

ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහක ඖෂධය මෙරට රෝහල් සඳහා අවශ්‍ය වී ඇත්තේ 7500ක් පමණි. එහෙත් හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ 22000 අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. තැනක් නැති කොළයට පමණක් සීමාවූ මෙරට සමාගමකින් ඖෂධ ලබාගෙන ඇත්තේ කෙසේද යන්න ගැටලුවකි. ඖෂධ මිලදී ගැනීම් සම්බන්ධයෙන් නිතර ගනුදෙනු කරන නිලධාරීන් මෙවැනි සමාගමක් සඳහා අවසර දුන්නේ ඔවුන් බත් වෙනුවට තණකොළ කනවාද යන්න ප්‍රශ්නයක් මතුකරමිනි. කෙසේ වෙතත් අවසානයේ කිසිදු ප්‍රමිතියක් නැති බාල ඖෂධ දැන දැනම මෙම සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාවට ලබා දී ඇත්තේ මහා වංචාවක් සිදුකරමිනි. දැනට බන්ධනාගාරයේ කූරු ගණින සෞඛ්‍ය ලේකම්වරයා ලිපි යවමින් අදාළ ඖෂධය ගෙන්වා ගැනීම ඉක්මන් කර ඇත්තේ ඇති පදමින් සල්ලි රහ බලන්නටදැයි අප දන්නේ නැත. එහෙත් මේ තරම් ඉක්මනින් බාල ඖෂධ තොගයක් ප්‍රමාණයට වඩා වැඩියෙන් ගෙන්වීම සැබවින්ම පුදුමයෙනුත් පුදුමයකි.

කෙසේ වෙතත් මේ සිදුවීමට අසුවූ සහ සම්බන්ධ සෞඛ්‍ය ලොක්කන්ගෙනුත්, දේශපාලන මැදිහත්වීමකුත් සිදුවී ඇත්නම් ඔවුන්ගෙනුත් මට අසන්නට ඇත්තේ එක දෙයකි. දුප්පත් ජනතාවට විස බෙහෙත් ලබාදී නුඹලා ගෙදර දරුවන් සමඟ සිනාසී බත් ගිල්ලේ කුමන හිතකින්ද කියාය. දුප්පත් රෝගියා මැරෙන විට රෝහල් ඉදිරියේ මල්ශාලා ඇත්තේ ඒ මැරෙන නිසා බව කීවේ නුඹලාගේ කටින්ද යන්න ඇසීමට ඇත. අවසාන වශයෙන් අප බලා සිටින්නේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට නීතිය ක්‍රියාත්මක කරන ආකාරය බලාගැනීමටය. අතිරේක ලේකම් සමන් රත්නායකට නීතිය ක්‍රියාත්මක කරන හැටි දැකගන්නටය. එසේ නිසි ලෙස නීතිය ක්‍රියාත්මක නොවන්නේ නම් ජනතාව ස්වභාව ධර්මයෙන් හෝ දෙවියන්ගෙන් යුක්තිය යදිනු ඇත. එහෙත් ඒ සියල්ලට වඩා අහිංසක මිනිස්සු මරණය කරා රුගෙන ගිය මෙම වංචාවට සම්බන්ධ අයට ඔවුන්ගෙන් හෘද සාක්ෂියෙන් දඬුවම් දෙනු ඇත.

I ගයාන් ගාල්ලගේ