කණට ඇසෙන්නේ තැනින් තැනින් මතුවන සිහින් දිය දහරා රූස්ස වනයේ තෙත් බිම සිප සනසා කඳුපාමුල වෙත ගලා බසිනා හඬය. කළු, කැලණි, වලවේ නදී ඇරඹුම එලෙස හඬ ගැන්වී ඇති බව හිතට දැනෙන්නේ රටේ භූගෝලීය පිහිටීම පිළිබඳ දැක අසා ඇති තතු විත්තිවලට අනුරූපවමය. රෑ මැදියමේ කට්ට කළුවරේ සිදුවන මේ ගමනට සෘජු උපකාරයක් නොවෙතත්, ඈත අහසේ සිට රූස්ස ගස් අතු අතරින් දිස්වන තරු පොකුරු මුකුළුව දෙනෙතට සපයන උත්තේජනය, දහිරිය සුළුකොට තැකිය නොහැක්කේමය.
වනය සිසාරා පැතිර ඇති ගණඳුර යම් පමණකින් ඈත් මෑත් කරන විදුලි පන්දම් එළිය බාධාවක් දැයි විටෙක හිතෙන්නේ, ගෝනුන් ඒ දැක සැඟවෙනු නෙත ගැටීමත් සමඟය. ගෝනුන් හැරෙන්නට මේ පරිසරයේ බඩගා ඇදෙන සිවුපාදයෙන් ඇවිදින තවත් උරුමක්කාරයන් රුසක්ම පිළිබඳව සැකයක් බියක් හිතට නොනැඟෙන්නට හේතු හොයන්නට හිත වෙහෙසෙන්නේද නැත. ඒ මේ මැදියම් රුයේ වන මැද හිත කැමැති හුදකලාවේ මිහිරියාවට හිත වසඟවීම නිසා වන්නට ඇත.
උඳුවප් මහේ නවවැනිදා මැදියම් රුයේ මේ අප යෙදී ඇත්තේ අවාරයේ සිදුකරනු ලබන සිරිපා කඳු තරණයකය. දවස පුරා වැටුණු මහ වැසි හෝරා කිහිපයකට තුරල් වී ඇතත් වැහිබර පසුබිම මුළුමනින්ම වෙනස්වද නැත. දස දෙනෙකුගෙන් සමන්විත අපේ කණ්ඩායමේ බහුතරය එකිනෙකා මුලින්ම දැනහඳුනාගෙන ඇත්තේ හතළිස් පස්වසරකට පෙර කොළඹ වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් හැටියට 1978දීය. කණ්ඩායමේ දෙතුන් දෙනකු පමණක් ඔවුන්ගේ ජීවන සහකරුවන් සහකාරියන්ය.
කොළඹ වෛද්‍ය පීඨ 1978 කණ්ඩායමේ සුහද හමුවක් කොළඹදී පැවැත්වෙන්නේ දෙසැම්බර් අටවැනිදා රාත‍්‍රියේය. කළින් සැලසුම් කළ තෙදින සංචාරයකට පසුදා සහභාගි වූයේ මේ පිරිසෙන් විසිතුන් දෙනෙකි. පළමුදින ගමනාත්තය වූයේ මස්කෙළියයි. ''පෙකෝ ලොජ්” නවාතැනේ ලැගුම් ගත් මේ කණ්ඩායමේ දසදෙනෙකු මැදියම් රුයට පෙර හෝරාවේ නල්ලතන්නියට සේන්දු වූයේ අවාරයේ සිදුවන සිරිපා කඳු තරණය පිණිසය. පසුදා උදෑසන ආහාරය පිණිස ගත යුතු දේද, වතුර බෝතලයද, වැහි කබායද පිටේ එල්ලාගත් ගමන් මල්ලේය. විදුලි පන්දම් දෙකක උපකාරය ලැබෙන්නේ ගණඳුර මැද සිදුවන ගමනේ විය හැකි අනතුරු අවම කොට ගනු පිණිසය.
ගමන අරඹා මඳ දුරක් ගෙවා යන අතරතුරදී මඟ කෙළවරක ඇති විශාල ඝන්ඨාරය එක් වරක් නාදකොට හඟවන ලද්දේ අවාරයේ වුවද ජීවිතයේ පළමුවරට සිදුවන සිරිපා ගිරි තරණය මෙය වන බවය. වාරයේදී බැතිමතුන්ගෙන් පිරී ඉතිරී යන පියගැටපෙළින් සුසැදුණු සිරිපා කඳු මග රජ කරන පාළුව පවා හිතට වදින්නේ අමුතුම ආරක සොඳුරු හැඟීමක් සහිතවය.
සිරිපා කරුණාවේදී පිළිපැදිය යුතු වන බවට සඳහන් වත් පිළිවෙත් සටහන්ව ඇත්තේ සීත ගඟුල පසුවන මොහොතේ දර්ශනය වන පුවරුවකය. සටහන මෙලෙසය.
''කහ, දෙහි ගා සීත ගඟුලෙන් නා පිරිසිදු වන බාල මහලු සියලු බැතිමතුන් (කෝඩුකාරයින් විශේෂයි) පවිත‍්‍ර (සුදු) වස්ත‍්‍රයෙන් සැරසෙති. ඉදිරියෙහි ඇති මන්දිරයේදී පන්සිල් සමාදන් වීමෙන් තිසරණ සරණ යන අතර නඩයේ ආරක්ෂාව පතා සුමන සමන් දේවරූපය ඉදිරියේදී පඬුරු බැඳීම හෝ කෝඩුකාරයින්ගේ පඬුරු අළුත් කිරීම සිදුකරනු ලැබේ. ආපසු කරුණා කරන විට එම පඬුරු මෙම ස්ථානයට ඔප්පු කරති.''
''සීත ගඟුලේ නවතින්නේ
වෙහෙස ටිකක් ඇරලන්නේ
ගත පිරිසිදු කරගන්නේ
පන්සිල් ගෙන නික්මෙන්නේ''

වාරයේ කෙරෙන පිළිවෙත් අවාරයේ මේ රැයේ නොකෙරුණත් හිත ඇත්තේ පැහැදිලි අරමුණකය. ඒ අරුණු උදාවට පෙර සිරිපා කඳු මුදුනට ළඟාවීමේ අදිටන ඇතුවය. කෙසේ හෝ අරුණු උදාවත් සමඟ ඒ අදිටන ඉටුවන මොහොතේදී හිතට දැණුනේ අපට පහළින් පොකුරු ගැසුණු වළාරොදකට උරුම ආකාරයේ සැහැල්ලුවමය.
සියල්ල අවසානයේ සිදුවන ආපසු ගමනේ කඳු බැසීමේදී නෙතට හසුවන්නේ රුයේ ගණඳුර අතර පැහැදිලිව හසු නොවුණු සොබා සුන්දරත්වයක අපූරුවය. උදා හිරු කිරණ හා මුසුවී රූස්ස වනයේ තැන තැන මැවෙන පැහැබර සිතුවමට තැනෙකදී එක්වන දියඇලිද හවුල්කරුවන් වන්නේ මනස්කාන්ත සැරසිල්ලකටය. රුයේ ඉහළට පියනඟන විට අඳුරු ඡායාවක්ව දුටු සිරිපා කඳු මුදුන හිරුත් අහසත් සමඟ එක්ව මවන්නේ නෙත හිත සනහන දසුනක්මය.
අවාරයේ සිරිපා කඳු තරණය නිමවා නල්ලතන්නිය දක්වා පල්ලම් බැසීමෙන් අනතුරුව අපගේ එදින ගමනාන්තය වූයේ ඇල්ලය. ඒ වනවිට නිදි නැති හෝරා හතළිහකට ආසන්න කාලයක් ගෙවී ඇතත් නිදිමතක් දැනුණේ නැත. එයද ජිවිතයට ලද අමුතුම ආකාරයේ අලුත් අත්දැකීමකි. හිතේ පැලපදියම්වූ අරමුණත් නෙතේ තැවරුම් ලෙස රුඳෙන්නට ඉඩ හළ සොබා දම් අසිරියත් නෙතටද හිතටද නොදැනෙන්නට ඒ නිදි වැරීම සඟවා තබාගන්නට ඇත. අවාරයේ සිරිපා කඳු තරණයේ මේ අපූරු අත්දැකීම අප අප ගැනම සිදුවන ස්වයං සෞඛ්‍ය පරීක්ෂාවකට අවකාශය සැලසූ බවද පැහැදිලිය.
I වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි