මැතිවරණ වසරේ මැතිඇමැති පක්ෂ මාරු පිළිබඳ ග්‍රහයන් උච්ච වන බව දන්නේ ජෝතිෂ්‍යඥයන් පමණක් නොවේ. සවිඥානික පුරවැසියා ද එම යථාර්ථය හොඳින් හඳුනයි. ගෙවී යමින් ඇත්තේ තීරණාත්මක සති කිහිපයකි. මේ මොහොත වන විට දේශපාලන පක්ෂ, කඳවුරු සහ පුද්ගලයන් එළඹෙන මැතිවරණයේදී තමන් ස්ථානගත විය යුතු තැන් පිළිබඳ විමසන්නට පටන්ගෙන තිබේ. රට වටා බොහෝ තැන්වල රහසේ හමුවී සිදු කරනු ලබන සාමූහික සහ පෞද්ගලික දේශපාලන සාකච්ඡා රැසකි.
ශ්‍රී ලංකාවේ මේ මොහොතේ දේශපාලන සිතියම සලකා බලමින් ශ්‍රී ලංකික දේශපාලනඥයන්ගේ අනාගත ස්ථානගතවීම් පිළිබඳ පුරෝකථනයකට අප සූදානම් වන්නේ මෙවන් පසුබිමකය. ඊට පූර්වයේ වර්තමාන දේශපාලනයේ ඇති බෙදීම් සහ ඉරි තැලීම් පිළිබඳ අප දළ අවබෝධයක් ලබාගත යුතුමය. මෙම සංවාදය ආණ්ඩුව පාර්ශ්වයේ දෙසින්ම ඇරඹීම වඩාත් ප්‍රායෝගිකය.
මේ වන විට ආණ්ඩු අභ්‍යන්තරයේ ප්‍රමුඛ කඳවුරු දෙකක් දැකගත හැකිය. ඔවුන් ජනපතිවාදීන් සහ පොහොට්ටුවාදීන් ලෙස සැලකීම අසාධාරණ නොවේ. කෙසේ වෙතත් තවදුරටත් මෙම දෙපිරිසම ආණ්ඩුව තුළ එක්ව කටයුතු කරති. එසේ එක්ව කටයුතු කිරීමේ අරමුණ හැකිතාක් කාලයක් ආණ්ඩු කිරීමේ බලාපොරොත්තුව බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එහෙත් එළඹෙන කවර හෝ මැතිවරණයක් අද්දර ආණ්ඩුවේ පැහැදිලි බෙදීම නිරෑපණය විය හැකිය.
මෙම බෙදීම කවර ආකාරයෙන් සිදුවේද යන්න අවබෝධ කර ගැනීමට නම් පොහොට්ටුවාදීන් සහ ජනපතිවාදීන් අභ්‍යන්තරයේ ඇති දේශපාලන කඳවුරු පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුය. ජනාධිපතිවරයාට හිතෛෂී පාර්ශ්වය බැලූ බැල්මටම කණ්ඩායම් කිහිපයක් නිරෑපණය කරයි.
තර්කයකින් තොරවම එම පාර්ශ්වයේ පළමුවැන්නා එක්සත් ජාතික පක්ෂයයි. එජාපයේ වජිර අබේවර්ධන සහ සජබයෙන් ඉවත්වුණු හරීන් සහ මනුෂ සක්‍රීය දේශපාලනය තුළ මෙම කඳවුර නියෝජනය කරති. කෙසේ වෙතත් හරීන් හා මනූෂ පවතින නීතිය භාවිත කරමින් යම් පීඩනයකට යටත් කරන්නට සමගි ජන බලවේගය සමත්ව සිටියි.
එජාපය ප්‍රමුඛ ජනපති හිතෛෂී කඳවුරේ සාගල රත්නායක තීරණාත්මක භූමිකාවට පණ පොවන බව පැහැදිලිය. ඔහු ජනපති කඳවුර ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණය හසුරවන්නා වී සිටියි. රුවන් විජයවර්ධන, අකිල විරාජ කාරියවසම්, රවී කරුණානායක එජාප අභ්‍යන්තර දේශපාලනයේ ප්‍රමුඛ භූමිකා නිරෑපණය කරමින් සිටිති.
ජනපති හිතෛෂී අනෙක් පාර්ශ්වය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර පාර්ශ්වයයි. අමරවීර, දුමින්ද, සියඹලාපිටිය ප්‍රධාන ශ්‍රීලනිප කණ්ඩායම මෙහි ප්‍රධානය. හිටපු ජනපති මෛත්‍රීපාල, දයාසිරි ජයසේකර නෙරපීමත් සමඟ මෙම කඳවුරේ ග්‍රහණයට නතුව සිටින බව පෙනී යයි. මෛත්‍රීපාල සිරිසේන මතවාදීව වික්‍රමසිංහ පාලනය සමඟ එකඟතාවයක් නොදක්වන නමුත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලන මතය වික්‍රමසිංහ හිතවාදී වීම හේතුවෙන් ඔහු දේශපාලන ක්‍රීඩාවේ නිරත වෙන්නේ පසු පාදයේය.
මීළඟට ජනපති හිතෛෂීන් අතරින් කැපීපෙනෙන පාර්ශ්වය වී සිටින්නේ පොහොට්ටුවෙන් බෙදී ගිය නිමල් ලංසා ප්‍රමුඛ කණ්ඩායමයි. කලින් කල පොහොට්ටුවෙන් ස්වාධීන වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙම කණ්ඩායම සමඟ කටයුතු කරමින් සිටිති. ඒ අතරින් ප්‍රමුඛ පෙළේ නායකයා අනුර ප්‍රියදර්ශන යාපාය. නලින් ප්‍රනාන්දු ආදී අමාත්‍යවරුන් කිහිප දෙනකු ද මෙම කඳවුර සමග වැඩ කරමින් සිටින බව කියැවේ. මෙම පාර්ශ්වය තමන් හඳුන්වා ගන්නා අවස්ථාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩු හිතවාදීන් ද තම කණ්ඩායමේ අය බව කියා සිටිති.
මෙම කණ්ඩායමට අයත් විය යුතු කාංචන, දිලුම්, සේමසිංහ ආදී චරිත කිහිපයක් ද සිටිති. ඔවුන් ජනපති හිතවාදීන් බව පැහැදිලි නමුත් මෙම කණ්ඩායමේ රසායනය තුළ මෙම චරිතවල ස්ථානගත වීම අපැහැදිලිය. එම පිරිස අතරින් කිහිප දෙනකු කුමක් හෝ පැහැදිලිවම එළඹෙන අවස්ථාවක එක්සත් ජාතික පක්ෂයේ ඍජු හවුල්කාරයන් විය හැකි බව සඳහන් කළ හැකිය. තවත් පිරිසක් වෙනම දේශපාලන කඳවුරක් නිර්මාණය කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ජනපති කඳවුර සමඟ සන්ධාන ගතවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
මීට අමතරව තවදුරටත් සමගි ජන බලවේගය තුළ රුඳෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ දේශපාලන අභිප්‍රායන් සම්බන්ධව අකැමැත්තෙන් පසුවන පිරිසක් සිටිති. "සජබ පිරිසක් අපිත් එක්ක එනවා" යනුවෙන් නිරන්තරයෙන් එක්සත් ජාතික පක්ෂයේ පිරිස් සඳහන් කරන්නේ මෙම කණ්ඩායම පිළිබඳවයි. රාජිත සේනාරත්න මෙම කණ්ඩායමේ කැපීපෙනෙන චරිතයක් බව අවස්ථා කිහිපයකදීම පැහැදිලි විය. කෙසේ වෙතත් මැතිවරණ උණුසුම එළඹෙන තුරුම මෙම කණ්ඩායමේ දේශපාලන ස්ථානගත වීම නිරවුල් නොවනු ඇත.
පොහොට්ටු හිතවාදීන්ගේ අභ්‍යන්තර දේශපාලන තත්ත්වය පිළිබඳව ද විමසා බැලිය යුතුමය. නාමල් ඇතුළු කිහිප දෙනකු වික්‍රමසිංහ මතවාදය දැඩිව ප්‍රතික්ෂේප කරන බව පෙනී යයි. මහින්ද රාජපක්ෂගේ නායකත්වයද ඊට සමපාත අදහස් දක්වමින් සිටින බව පසුගිය සතියේ මාධ්‍ය නිවේදනය හරහා පෙනී ගියේය. ඉදිරි මැතිවරණයකදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය ලෙස ස්ථානගත වීම ප්‍රමාණවත් යැයි නාමල්ගේ කඳවුර සිතන බවට ද අදහස් පළවෙමින් තිබේ.
කෙසේ වෙතත් බැසිල් සාධකයේ දේශපාලන තෝරාගැනීම පොහොට්ටු හිතවාදීන්ගේ අවසන් තීන්දුව වනු ඇත. ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ සමඟ සන්ධානයකට එළැඹීමේ අපේක්ෂාව මුළුමනින් ඔවුන් අතහැර නොමැති බව පැහැදිලිය. එවන් සන්ධානගත වීමකදී අවශ්‍ය කේවල් කිරීමේ සාධක තමන් සතු කර ගැනීම බැසිල්ගේ අරමුණ විය හැකිය. කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා ධම්මික පෙරේරා විකල්පය ද පොහොට්ටුව අභ්‍යන්තරයේ තීරණාත්මක සංවාදයක් නිර්මාණය කර තිබේ.
මේ අනුව විපක්ෂයේ දේශපාලන කඳවුරු බෙදීම පිළිබඳව යම් අදහසක් ඇතිව අනාගත පක්ෂ මාරුවීම් පිළිබඳව අදහසක් ලබාගැනීමට හැකියාවක් අප සතුය. විපක්ෂයේ කැපීපෙනෙන දේශපාලන කඳවුරක් ලෙස ඩලස් ප්‍රමුඛ කණ්ඩායම නම් කළ හැකිය. ඔවුහු නිල වශයෙන්ම මේ වන විට සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වීම සඳහා සාකච්ඡා වෙත අවතීර්ණ වී සිටිති. එහෙත් මෙහි අභ්‍යන්තරයේ ද අවුල් සහගත තත්ත්වයන් දැකගත හැකිය.
ජී.එල්. පීරිස් ඇතුළු කිහිප දෙනකු ඍජුවම සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබාගනිමින් ඉදිරි මැතිවරණ දේශපාලනයට එළැඹෙනු ඇති බවට මත පළ වී තිබේ. එහෙත් ඩලස් ප්‍රමුඛ කිහිප දෙනකුගේ උත්සාහය වී ඇත්තේ ගිවිසුම්ගත සන්ධානයක් බිහි කර ගැනීමය. කෙසේ වෙතත් කණ්ඩායමක් බෙදා කොටසක් තමන් සතු කර ගැනීමට සජබ උත්සාහ දැරුවහොත් තත්ත්වය සංකීර්ණ විය හැකිය. හිටපු ඇමැති රොෂාන් සහ දයාසිරි ජයසේකර ද මෙම කඳවුරු දිවිත්වය තුළ දෝලනය වන බව කියැවේ. සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයකු පැවසූ පරිදි රොෂාන් සාකච්ඡා පවත්වමින් සිටින නමුත් ඔහුගේ එක්වීම කවරාකාරයකින් සිදුවේද යන්න පැහැදිලි නැත. දැන් රොෂාන් පක්ෂේ මිලටගත් බවද කියැවේ.
සමගි ජන බලවේගයට අභ්‍යන්තර දේශපාලන සෞඛ්‍ය පිළිබඳව ද සහතික දීම අපහසුය. සජිත් ප්‍රේමදාසගේ නායකත්වය පිළිබඳ කලකිරීම ඇතැම් ජ්‍යෙෂ්ඨයන් තුළින් පළවෙමින් තිබේ. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් නැවත රනිල් වික්‍රමසිංහ වෙත යාම පිළිබඳ එතරම් මනාපයක් නොදක්වති. තවදුරටත් සමගි ජන බලවේගයේ දේශපාලනය විධිමත් සහ වඩාත් වෘත්තීයමය ස්වරෑපයකට පෙරළීමේ සටනකට ඔවුහු අවතීර්ණ වී සිටිති. කෙසේ වෙතත් පිරිසේ දේශපාලන ස්ථානගත වීම සජිත් ප්‍රේමදාස සාධකයේ හැසිරීම මත තීරණය වනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
සමගි ජන බලවේගයේ සරත් ෆොන්සේකා සාධකයේ හැසිරීමද තීරණාත්මක වනු ඇත. අයවැය ඡන්ද විමසීමට සමගාමීව සරත් ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ජනපති සමඟ සාකච්ඡා කළ බවට පසුගිය සමයේ වාර්තා පළව තිබුණි. කෙසේ වෙතත් සරත් ෆොන්සේකා පෙරටුගාමීන් ප්‍රමුඛ විකල්ප දේශපාලන පක්ෂ සහ කඳවුරු සමඟ එක්ව වැඩ කරමින් සිටින බවට ද දේශපාලන කරළියේ අදහසක් වේ. ෆොන්සේකා ජාතික ජන බලවේගයට යම් පමණක කොළ එළියක් දල්වමින් සිටින බව ද කියවේ.
මුස්ලිම් දේශපාලන පක්ෂ සමස්තයක් ලෙස සමගි ජන බලවේගය සමඟ කඳවුරු බැඳීමේ සම්භාවිතාව ඉහළය. එහෙත් වික්‍රමසිංහ පාර්ශ්වය ශක්තිමත් වුවහොත් යම් වෙනසක් සිදුවිය හැකිය. සුමන්තිරන් ප්‍රමුඛ උතුරේ දේශපාලන කඳවුරු ද ක්‍රමයෙන් සමගි ජන බලවේගය වෙත ආකර්ෂණය වී ඇති නමුත්, උතුරේ ඇතැම් තැනක වන වික්‍රමසිංහ ළැදියාව අමතක කර දැමිය නොහැකිය. පසුගියදා ජනපතිද උතුරේ දේශපාලකයන් කැඳවා තිබුණි. වතුකරයේ දේශපාලනය ද කොටස් දෙකකට බෙදී යනු ඇත. කෙසේ වෙතත් දමිළ මුස්ලිම් දේශපාලනයේ ස්ථානගතවීම මැතිවරණය සමීප වන තුරුම පැහැදිලි කර ගැනීම අපහසුය.
උදය, විමල් ඇතුළු පිරිසේ දේශපාලන ස්ථානගත වීම පිළිබඳ තවදුරටත් පැහැදිලි ඉඟි පළ නොවේ. පොහොට්ටුවෙන් ධම්මික හෝ ඔවුනට සමපාත විකල්පයක් ඉදිරිපත් වුවහොත් නැවත ඔවුන් මෙම කඳවුර සමඟ සන්ධානගත වීමට ඇති අවස්ථාව ඉහළය. මේ ආදී විපක්ෂ කණ්ඩායම් වෙත එළඹෙමින් ධම්මික පෙරේරා සාකච්ඡා පවත්වන බවට ද පසුගිය සතියේ වාර්තා පළ වී තිබුණි.
පාඨලී චම්පික රණවක ජනාධිපතිවරණ ඉලක්කගත දේශපාලනයකට අවතීර්ණ වී සිටින බව මේ වන විට පැහැදිලිය. ජාතික ජන බලවේගයේ අභියෝගයට මුහුණ දිය හැකි නායකයා තමන් බව ඔහු තුළ විශ්වාසයක් ඇති බව කියැවේ. ඒ අනුව ඔහු විවිධ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වා ඇත. ඇතැම් තැනක සඳහන් වූයේ විපක්ෂය සමඟ පමණක් නොව ආණ්ඩුවේ ජනපතිවාදීන් සමඟ පවා ඔහු සාකච්ඡා කළ බවකි. ජනපතිවරණ අපේක්ෂකත්වය ලැබුවද නොලැබුවද පාඨලී ද ජනපතිවරණ වේදිකාවේ තීරණාත්මක චරිතයක් වන බව ඒ අනුව පැහැදිලිය.
මේ අතර ජාතික ජන බලවේගයේ දේශපාලනය පිළිබඳව ද යම් සඳහනක් එක් කළ යුතුය. සිය දේශපාලන ජයග්‍රහණය පිළිබඳ ඔවුන් ඉහළ තක්සේරුවකින් සිටින බව පෙනී යයි. කෙසේ වෙතත් වෙනත් දේශපාලන පක්ෂයක් සමඟ සන්ධානගත වීම තම අභිප්‍රායන් සාක්ෂාත් කර ගැනීමට බාධාවක් ලෙස ජාතික ජන බලවේගය සලකයි. මේ අතර හරිනි සහ අනුර අතර දේශපාලන බෙදීමක් නිරෑපණය කිරීමට යම් යම් පාර්ශ්ව උත්සාහ කරමින් සිටින බව සඳහන් කළ යුතුය.
ජනතා විමුක්ති පෙරමුණට පිටතින් සම්බන්ධ වූ ජාතික ජන බලවේග පාර්ශ්වකරුවන් හරිනි පිළිබඳ ඉහළ තක්සේරුවකින් සිටින බව ඒ අනුව කියැවේ. කිසිවිටකත් අභ්‍යන්තරික ගැටුමක් නිරෑපණය නොවන්නට මෙම කඳවුර දැනට ප්‍රවේශම් වී සිටියි. ඔවුනට භූමියේ යම් දේශපාලන වාසියක් පෙනීම ඊට හේතුවයි. ඒත් ඔවුන්ට අලුතින් සිය දේශපාලන ජයග්‍රහණයක් වෙනුවෙන් ලබාගත යුතු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ පනහකටත් අධික බව සඳහන් කළ යුතුය.
සමස්තයක් ලෙස ඉදිරි වසරේ දේශපාලන ස්ථානගත වීම පිළිබඳ මේ මොහොතේ දේශපාලන සිතියම ඇසුරෙන් ඉදිරිපත් කළ හැක්කේ මෙවන් අදහසකි. මෙම තත්ත්වයන් පවා පළමුව එළැඹෙන්නේ කුමන මැතිවරණයක්ද යන්න මත වෙනස් විය හැකිය. ග්‍රහයන් ගැන බලා ජෝතිෂඥයන්ට අනාවැකි කීමට හැකිමුත්, මොහොතින් මොහොත වෙනස් වෙන දේශපාලන භූමිය පිළිබඳ පැහැදිලි අනාවැකි සවිඥානික පුරවැසියන්ට පළකිරීම පහසුය. එහෙත් පවතින තත්ත්වය පිළිබඳ උපේක්ෂා සහගත මධ්‍යස්ථ නිරීක්ෂණයක් හරහා, බැලූ බැල්මට නොපෙනෙන බොහෝ දෑ අවබෝධ කර ගැනීමට සවිඥානික පුරවැසියකුට හැකිය.
I චමිඳු නිසල් ද සිල්වා