පසුගිය කාලයේ අපරාධකරුවෝ ලංකාව තුළ බල්ටි ගැසූහ. කුඩු, අයිස්, කංසා තොග ගණනින් බෙදූහ. එළිපිට වෙඩි තැබූහ. එළිපිට නීතිය රකින්නට හදන පොලිස් නිලධාරීන්ට තර්ජනය කළහ. එහෙත් පොලිසිය කරබාගෙන සිටියේය. විවිධ කතා කීවද දවසින් දවස සමාජය පිරිහී ගියේය. රටට සිදුවූ විපත දෙස බලන විට එක අතකින් මෙය පුදුම විය යුතු නැත. ඒ නිසා දවසින් දවස ජනතාව බියෙන් ජීවත් වූවා මිස සාමයෙන් නිදහසෙන් ජීවත් වෙන්න පරිසරයක් ගොඩනැගුණේ නැත.
කෙසේ වෙතත් වර්තමාන වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සිය තනතුරේ වැඩ බාරගැනීමෙන් පසුව මුල්ම රාජකාරිය ලෙස සිදුකළේ සමාජ ශෝධනයක් සිදු කිරීමය. ඒ අනුව ඔහු ද නීතිය සාමය බාර ඇමැති ටිරාන් අලස් ද එක්ව පොලිසිය, විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදාව එක්ව දීපව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කළහ. එය නමින් ‘යුක්තිය’ නම් විය. යුක්තිය දුලභ රටක එලෙස ඇසීම ද සතුටකි.
පසුගිය 17 වැනිදා සිට ආරම්භ කළ මෙම මෙහෙයුම බොහෝ අපරාධකරුවන්ට හොඳ මොහොතක් නොවීය. සන්නද්ධ ආරක්ෂක අංශ පිරිස් එම අපරාධකරුවන් පසුපස හඹා යාමත් සමඟ බොහෝ දෙනා පලා යන්නට වූයේ ඉඩකඩම්, යාන වාහන අතහැර දමමිනි. කෙසේ වෙතත් පොලිසිය සූක්ෂම ලෙස එම මෙහෙයුම් සිදුකරන විට එසේ පැන යන්නට උත්සාහ කළ බොහෝ දෙනා කොටු වූහ. ඒ ඔවුන් විසින් ජාවාරම් කළ මත්ද්‍රව්‍යය ද සමඟිනි. විශේෂයෙන් මෙම මෙහෙයුම සඳහා විශාල සහායක් ලබා දී තිබුණේ පොලිස් සුනඛ අංශය බව පැවසේ. පුහුණුව ලත් සුනඛයන් සඟවන ලද මත්ද්‍රව්‍ය ආයුධ, පුපුරණ ද්‍රව්‍ය ක්ෂණයකින් සොයා දීමට කටයුතු කිරීම නිසා එම වැටලීම්වලින් ජාවාරම්කරුවන්ට ගැලවීමට හැකි නොවීය. ඇතැම් නීති විරෝධී ද්‍රව්‍ය වහළයේ සිවිලිම් තුළ ද, ස්විච තුළ මෙන්ම පොළව යට ද සඟවා තිබුණු අතර නිල සුනඛයෝ එම ස්ථාන ක්ෂණයකින් සොයා දුන්හ. මේ නිසා වැටලීම් කණ්ඩායම්වලට අපරාධකරුවන් වෙත කොකා පෙන්වීමට හැකිවූයේ නැත.
විශේෂත්වය නම් මේ සෑම වැටලීමකටම පොලිස්පතිවරයා තමන්ට හැකි අයුරින් සම්බන්ධ වෙමින් අරක්ෂක අංශයට පූර්ණ සහාය ලබා දීමට කටයුතු කිරීමය. මේ අතර නීතිය හා සාමය බාර අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පතිවරයා විසින් පොලිසියට උපදෙස් ලබා දී තිබුණේ යම්කිසි සිදුවීමකදී එම නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා උපරිම බලය යොදවන ලෙසය. එය නිලධාරීන්ට විශාල ශක්තියක් විය. අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීම පමණක් නොව, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය සඳහා යෙදවීමට ද පොලිසිය කටයුතූ කළේය. මේ හේතුවෙන් පොලිසිය වෙත තොරතුරු ගලා එන්නට විය. දිනකට ඇමතුම් දහස් ගණනින් ගලාගෙන ආවේය. මේ සෑම ඇමතුමකටම සාධාරණය ඉටුකිරීමට පොලිසිය කටයුතු කළේ ඉහළින් පැමිණි නියෝග අනුවය. එනම් කිසිදු පැමිණිල්ලක් මග නොහරින ලෙසට වැඩ බලන පොලිස්පතිවරයා විසින් නියෝග කර තිබුණි.
විශේෂයෙන්ම විෂය බාර ඇමැතිවරයා දන්වා සිටියේ කිසිම ආකාරයකින් තමන්ට දේශපාලන බලපෑමක් පැමිණියහොත් ඒ බලපෑම් කරන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසය. ඇතැම් ස්ථානවල දේශපාලන කතා කීවත් අවසානයේ ඔවුන්ට ද කූඩුවේ ලගින්නට සිදුවිය.
ඒ අනුව පසුගිය 17 වැනිදා සිට 22 වැනිදා දක්වා කාලය තුළ “යුක්ති'' මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී පහත සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවිය.
එනම් හෙරොයින් 07kg 783g, අයිස් 03kg 906g, ගංජා 227kg 195g, ගංජා පැළ 546,040, මාවා 105kg 71g, ඈෂ් 35kg 215g, හෂීෂ් 551g, තූල් 03kg 89g, කුෂ් 520g, මත් පෙති 44,267 බැගිනි.
මෙම මෙහෙයුමේදී සැකකරුවන් 10,456 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 517 දෙනකු සම්බන්ධව රුඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකිරීම ආරම්භ කර තිබේ.
එසේම, සැකකරුවන් 106 දෙනකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් 886 දෙනෙක් පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලැබූහ.
මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනකු අතුරින් මේ වන විට සැකකරුවන් 885 දෙනකු අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. මෙම මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිත කර මෙම වාහන සහ දේපළ මිලදී ගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපළ රුසක් තහනමට ලක්විය.
ඒ අනුව අඩි 45 ක බහුදින යාත්‍රා 01 ක්, KDH වෑන් රථ 01 ක්, TOYOTA CHR වර්ගයේ ජීප් රථ 01 ක්, WAGON R වර්ගයේ කාර් රථ 01 ක්, හික්කඩු වේ තට්ටු 03 කින් සමන්විත ගොඩනැගිල්ල, හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 04 කින් යුත් Villa 01 ක්, හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 03 කින් යුත් Villa 01 ක්, රත්රන් පවුම් 30 ක්ද වේ. එම වාහන සහ දේපළවල මුළු වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ 1340 කට ආසන්න බවට අනාවරණය වී ඇත.
මේ ආකාරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක වන විට පොලිස් නිලධාරීන්ට මරණ තර්ජන පවා පැමිණීමට පටන්ගෙන ඇත. කෙසේ වෙතත් ඇතැම් පාතලයන් ඩුබායි සිට හඬමින් තම දේපළ නොගන්නා ලෙස ඉල්ලා ඇතැයිද කියති. එහෙත් ඒ කිසිදු ඉල්ලීමකට තර්ජනයකට පොලිසිය යටත් නොවනු ඇත. එය සැමදාම එලෙසම පවතිනු ඇතැයි සිතමු.
I ගයාන් ගාල්ලගේ