වසරක් නිමාවේ තවත් වසරක් උදා වේ. ආර්ථික, සමාජීය, දේශපාලනික දුෂ්කරතා රැසකට මුහුණ දුන් වසරක් ලෙස 2023 වසර හැඳින්වීම වැරදි නැත. මෙලෙස පෙළගස්වනුයේ ගෙවුණු 2023 වසරේ මතකාවර්ජනයයි.
පාප්තුමාගේ අභාවය
හා හා පුරා කියා නව වසරට පා තැබූ හැටියේම අසන්නට ලැබුණේ හද සසල කරවනම පුවත් ගණනාවකි. ඉන් මුල් තැන හිමිවූ පුවත වූයේ දහසය වැනි බෙනඩික්ට් පාප්තුමන් වතිකානයේ සිය නිවෙසේදී ස්වර්ගස්ථ වීමය. එය මෙරට පමණක් නොව සුවහසක් ලෝකවාසීන්ගේම හද සසල කරවූ කරුණක් විය. මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන මොහොමඩ් නජීබ් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් සිට ඇප ලැබීමෙන් පසු මෙරට ආරක්ෂක ඇස් වසා ඉන්දියාවට පලා ගොස් ඇති බවට වාර්තා විය. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් 2589 ක් කෑම අහේනියක සිටින බවටද අනාවරණය විය. ඒ වගේම මෙරට ආර්ථික අර්බුදය දරාගත නොහැකිව විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යන්නට පටන් ගත්තේද වසර ආරම්භයේදීමය. මෙරට දරුවන් 40000 ක් මන්දපෝෂණයට ලක්වී සිටින බව එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේත් උසස් පෙළ විභාගයට පෙනී සිටි ලක්ෂ තුන හමාරක සිසුන්ගේ හීනවල ලයිට් නිවමින් උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදුව සිදුවීමත් ජනවාරි මාසයේ මතක අතර ඉතිරිය.
බෙහෙත් හිඟ වෙයි
පෙබරවාරි මාසය ආරම්භ වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 150 ක් රඳවාගෙන සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වූ වසන්ත මුදලිගේ එක් නඩුවකින් නිදහස් කරමිනි. එසේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසූයේ පාස්කු දා ප්‍රහාරයට තමන් සමාව අයැදින බවත් ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවත්ය. රජයේ රෝහල්වල ඖෂධ හිඟය මතුවූයේද පෙබරවාරි මාසයේදීය. එය මුල්වරට අනාවරණය වූයේ රත්නපුර රෝහලේ අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 161 ක් නොමැති බවට රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීමෙනි. කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ පිහිටි මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකගේ නිල කාර්යාලයට සීල් තැබීම සිදුවිය. කොළඹ හිටපු අගරදගුරු ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් හිමි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වර්ගස්ථ වීමද පෙබරවාරි මතක අතර සටහන් වෙයි.
කලාකරුවෝ ඇගයෙති
මාර්තු මාසයේ කලා ලොවේ මතක අතර කලා ලෝකයේ දස්කම් දැක්වූ සිරිල් වික්‍රමගේ, ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, නෙතලි නානායක්කාර, වීණා ජයකොඩි, සමන් අතාවුදහෙට්ටි යන කලාකරුවන් ඇගයීම සිදුවිය. එසේම ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ නිපුණයකු වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපති සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා දිවි සැරිය නිම කළේය. කොළඹ සහ කැලණිය සරසවි අවට පැවති සිසු උද්ඝෝෂණවලට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳ කරුණු දැක්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මානව හිමිකම් කොමිසමට යන්නට සිදුවිය. විස්තීර්ණ ණය පහසුකම යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ණය ලබා දීම අනුමත වූයේද මාර්තුවේය. ඡන්ද රුලියක කළ ප්‍රකාශයකට වැරුදිකරු කරමින් ඉන්දීය හිටපු විපක්ෂ නායක රාහුල් ගාන්ධි වසර 2 ක සිර දඬුවමකට ලක්විය. මොළය මියයාම හේතුවෙන් මියගිය කුරුණෑගල මලියදේව බාලිකාවේ විහඟනා ආරියසිංහගේ අවයවවලින් නිර්වින්දන වෛද්‍යවරියක ඇතුළු තවත් රෝගීන් 4 දෙනකුට ජීවිතය රුකගැනීමට හැකිවිය. බක්මාසය ඇරඹෙනුයේ රටම සලිත කළ අනතුරකිනි. ඒ බදුල්ලේ පාසල් දෙකක් අතර පැවති බදුල්ල මහා සංග්‍රාමය නම් වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අතරතුරදී සිසුන් පිරිසක් ගමන්ගත් කැබ් රථයක් පෙරුළී සිසුන් දෙදෙනකු මියගොස් තවත් සිසුන් 11 ක් තුවාල ලැබීමය.
සනත් නිශාන්තලාට නඩු
සම්මානනීය රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා ජීවන රඟ මඬලින් බැස ගියේ අප්‍රේල් මාසය ආරම්භයේදීමය. හිටපු ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ ආර්යාව වන හේමා ප්‍රේමදාස සිය නිල නිවෙස රජයට බාර දුන්නාය. සනත් නන්දසිරි මහතාගේ වියෝවින් පුරප්පාඩු වූ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කුලපති ධූරයට මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පත් කරනු ලැබීය. බදුවලට විරෝධය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිතුරු පත්‍ර බැලීම වර්ජනය කිරීම නිසා උසස් පෙළ සිසුහු නැවතත් අසීරුවට පත්වූහ. ඒ අතර ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය දක්වමින් උතුරේ හර්තාල් පැවැත්විණ. ගාලුමුවදොර අරගලකරුවන්ට පහරදීමේ චෝදනාවට හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 4 දෙනකුට නඩු පවරමින් තවත් 29 කට චෝදනා පත්‍ර ගොනු කිරීමට නීතිපති පොලිස්පතිට ලිඛිතව දැනුම් දුන්නේ අප්‍රේල් මාසයේදීය. වසර 14 කට පසුව මෙරටින් මැලේරියා රෝගී මරණයක් වාර්තා විය. මෙරට රිළවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුව රිළවුන් ලක්ෂයක් යැවීමට කටයුතු සකස් කිරීම ඇරඹුණේ අප්‍රේල් මාසයේදීය. පැවති යුද්ධය හේතුවෙන් වසර 33 වසා දමා තිබූ මඩකලපුවේ සිංහල මහා විද්‍යාලය නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය අතින් විවෘත විය.
ජාතික උරුමයක් වූ ගීතය
මැයි මාසය යනු පෙරුළි රුසක් වූ මාසයකි. ඝණ්ඨා නාදය පැතිරෙන වෙසක් මාසය හෙවත් මැයි මාසය ඇරඹුණේ බ්‍රිතාන්‍ය තෙවැනි චාල්ස් රජුට රාජාභිෂේක මංගල සීනු හැඬවෙමිනි. කලා ලොවේ මතක අතර ජෝන් ද සිල්වා සූරීන් විසින් 1903 වසරේ ‘සිරිසඟබෝ’ නාට්‍යයට රචනා කරනු ලැබූ විශ්වනාත් ලව්ජි මහතා තනු නිර්මාණය කළ දන්නෝ බුදුන්ගේ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිවිය. මෙරට සිටි ජ්‍යෙෂ්ඨ කලාකරුවන් දෙපළක් වූ ජී.ආර් පෙරේරා සහ ක්‍රිස්ටෝපර් පෝල් දිවි ගමනින් නික්ම ගියහ. ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිෂ්පාදිකාවක වන කෝටිපති ව්‍යාපාරික කාන්තාවකගේ නිවෙසේ මෙහෙකාරියගේ මරණය හේතුවෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිව්දෙනකුගේ වැඩ තහනම් වී පොලිස් ස්ථානාධිපතිවරයාට ස්ථාන මාරුවක් ලැබිණි. ආගමික සංහිඳියාවට හානිවන අයුරින් බුදු දහම සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ බව කියන දේවගැති ජෙරම් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝගයක් නිකුත් කළේය. එසේම කෝටි 8 කට ආසන්න රත්රන් නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන ආ බවට චෝදනා ලැබූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් අත්අඩංගුවට පත්වීම, මහජන උපයෝගීතා සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම, කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් නැවත කුරුණෑගල රෝහලේ සේවයට පත් කිරීම, බුද්ධාගමට අපහාස කළැයි ජයනි නතාෂා එදිරිසූරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීම ආදිය මැයි මාසයේ සිදු වූ විශේෂ සිදුවීම්ය.
අස්වැසුම පෝලිම්
ජූනි මාසය ඇරඹුණේ ඖෂධවේදීන්ගේ වර්ජනයකිනි. මේ හේතුවෙන් රෝහල්වල බාහිර සත්කාර සේවා අකර්මණ්‍ය වී රෝගීහු දැඩි අපහසුතාවට පත්වූහ. ශ්‍රී ලංකා මහ බැංකුවේ විනිමය නීති කැඩූ පිරමීඩ සමාගම් 8 ක් තහනම් විය. විදේශ ගතවීමට ගිය අජාන් බ්‍රහ්මවංශෝ හිමියන්ට පසුගිය දිනෙක කටුනායක ගුවන්තොටුපොළේදී විඳීමට සිදු වූ අපහසුතාව පිළිබඳ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා උන්වහන්සේගෙන් සමාව අයැදීය. එමෙන්ම තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් චන්දිමා මනම්පේරි මහත්මියට ස්ථාන මාරු හිමිවීම, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පමුණුවිල නිවෙසට ප්‍රහාරයක් එල්ලවීම, උසාවියට අපහාස කළැයි ඩයනා ගමගේට නඩු පැවරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විදෙස් ගමන් තහනම් වීම, රට පුරා අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පෝලිම් ඇතිවීම, රුපියල් 35 ට සතොසෙන් බිත්තර ලබාදීම ඇරඹීමද සිදුවිය. ටයිටැනික් නෞකාව ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රුගත් ටයිටන් සබ්මැරීනය පුපුරා එහි ගමන් කරමින් සිටි පස්දෙනෙක් මියගියහ. හදිසි අනතුරකට ලක් වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය පී.එම්.බී. සිරිල් කලුරිය කළේද ජූනි මාසයේය.
ඉම්රාන් ඛාන් හිරේ
ජූලි මාසය ඇරඹුණේ පිරමීඩ ජාවාරමට ගුරුවරයකු බිලිවීමෙනි. ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය පැවැත්වෙන කාලසීමාවේදී ලබාදෙන විදුලිය වෙනුවෙන් ඇස්තමේන්තු කළ රුපියල් කෝටියකට වැඩි මුදල පෙරහරට පෙර ඉල්ලා විදුලිබල මණ්ඩලයෙන් දළදා මාලිගයට ලිපියක් එවීම මෙම මාසයේදී දැඩි කතාබහට ලක් වූ සිද්ධියක් විය. වරාය නගර වෙරළ තීරය විවෘත වීම, ඉතිහාසයේ මුල්වරට ප්‍රංශ ජනපති ලංකාවට පැමිණීම මෙන්ම රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්වූයේද මෙම මාසයේය. අගෝස්තු මාසය ඇරඹුණේ ලක්ෂ 41 ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් ඓතිහාසික මිහින්තලේ රජමහා විහාරයේ විදුලිය ලංකා විදුලිබල මණ්ඩලය මගින් විසන්ධි කරනු ලැබීමෙනි. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවම් නියම වීම හේතුවෙන් වසර 5 ක් දේශපාලනය තහනම් විය. පියා මරු අතරට යද්දී ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායමේ නායිකා 23 හැවිරිදි ඔල්ගා කාර්මෝනා දියණිය පාපන්දු ලෝක කිරුළ පැළැන්දාය. පාස්කු දා ප්‍රහාරයේ රාජසන්තක කළ කඩු 1000 ක් මුහුදේ ගිල්වීම, ජල විදුලිය ඇණ හිටිමින් සමනල වැව සිඳිණි. ඉන්දියාවෙන් යැවූ චන්ද්‍රයාන් සඳට ගොඩබැසීමත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරයි. හිටපු ජනාධිපති ලේකම්වරයකු මෙන්ම සිවිල් සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ කේ.ඒච්.ජේ. විජයදාස මහතා කලුරිය කළේද අගෝස්තු මාසයේ 17 වැනිදාය. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය උග්‍ර වී පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මහලේකම් ධූරයට සමු දෙන්නට සිදුවිය. තරග පාවාදීමේ චෝදනාවකට ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක රිමාන්ඩ් භාරයට පත් වූයේද මෙම මාසයේය. දුම්රිය වර්ජනය අතරතුර මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක වහළයේ ගිය සිසුවකු ඇද වැටී මිය ගියේය. ව්‍යාජ ලෙස එක්ලස් කරන වාහනයක් ළඟ තබාගැනීමේ චෝදනාවකට හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම රිමාන්ඩ් වූයේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව
නාරාහේන්පිට නිවෙසකට බලෙන් ඇතුළු වූ චෝදනාවකට කරුණු දැක්වීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් විනිසුරුවකු වූ කුමාර් ධර්මසේන මහතා අධිකරණයට කැඳවූයේ ඔක්තෝබර් මාසය ආරම්භයේදීය. දිවයින පුවත්පතේ ආරම්භක කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන්ඩ් රණසිංහ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උපහාර ලැබීය. කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ සිදුවූ රිය අනතුරකින් රථවාහන රාජකාරියේ නිරත වී සිටි පොලිස් කොස්තාපල්වරයකු දිවියෙන් සමුගත්තේ නොවැම්බර් මාසයේය. ආර්ථිකය කඩා වැටීමේ චෝදනාව සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වැරුදිකරුවන් බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළේය. ජනාධිපති සම්මාන උළෙලේදී ආචාර්ය නන්දා මාලිනී ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවාය.
ක්‍රිකට් ගැටුම
ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගැටුම උග්‍ර වූයේද නොවැම්බර් මාසයේය. ප්‍රමිතියෙන් තොර එන්නත් බෙදාහැරීමේ චෝදනාවට වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂ ඇතුළු 4 ක් රිමාන්ඩ් කරනු ලැබූහ. එසේම දෙසැම්බර් මාසයේදී බාල බෙහෙත් චෝදනාවේ විමර්ශනවලට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා රිමාන්ඩ් කරනු ලැබීය. වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරෙන් රුඳවියෝ 50 කට අධික පිරිසක් ආරක්ෂක වළලු බිඳහෙළමින් පැන ගියහ. කහවත්ත තිදරු මව ඝාතනය සම්බන්ධයෙන් ඇයගේ දියණිය අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු ලැබුවාය. මෙරට ඉතිහාසයේ වසර 33 ක් පත්‍ර කර්තෘත්වයත්, වසර 58 ක් පුවත්පත් කලාවට කළ සේවයත් අගැයීමට ලක් කරමින් ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා අගැයීමට ලක් විය. එකී මෙකී නොකී සිදුවීම් සියල්ල මතකයේ රඳවමින් 2024 වසරට ආවඩා කියමින් 2023 වසරට සමුදෙමු.
I සසංක චලන ගිම්හාන