ඉහළ යන භාණ්ඩ හා සේවා මිල පිළිබඳ යළි යළිත් ලියන්නට සිදුව ඇත්තේ මෙම මිල ඉහළ නැගීම කවදා නවතීවිදැයි කිව නොහැකි නිසාය. අද පවතින මිල හෙට වෙනවිට ඉහළ නැග ඇති අතර මෙලෙස මිල වැඩිවන්නේද විශාල පරාසයකින් වීම කැපී පෙනේ. එම ඉහළ නැගීම් සාධාරණීකරණය කිරීමට හේතු නිෂ්පාදකයන් හෝ වෙළෙඳුන් ඉදිරිපත් කරන්නේ නැත. පාරිභෝගිකයාට සිදුව ඇත්තේ වෙළෙඳපොළට ගොස් වෙළෙඳුන් අලෙවි කරන මිලට තම අවශ්‍යතා ලබා ගැනීමටය. එසේ නොකරන්නේ නම් ජනතාවට සිදුවන්නේ කුසගින්නේ සිටීමටය. ඒ නිසා කෙසේ හෝ මුදල් සොයාගෙන ආහාර පාන ලබාගෙන නිරාහාරව සිටීමෙන් වැළකී සිටිනු විනා ජනතාවට වෙන විකල්පයක් නැත. එහෙත් ඔවුන්ට තව කොපමණ කලක් මෙම හිරිහැරය විඳ දරා ගන්නට හැකිවේදැයි කිව නොහැක.
කොටින්ම කියතොත් අද වෙළෙඳපොළේ මිල තීරණය කරන්නේ නිෂ්පාදකයන් සහ වෙළෙඳුන් අතලොස්සක් විසිනි. ඔවුන් ප්‍රකාශයට පත්කරන මිලට කෙසේ හෝ භාණ්ඩ ලබා ගැනීමට අසරණ පාරිභෝගිකයාට සිදුව තිබේ. ජනතාව අසන්නේ වෙළෙඳුන් කියන මිලට භාණ්ඩ මිලට ගැනීමට සිදුවෙනවා නම් ආණ්ඩුවක් කුමකටද යනුවෙනි. ආණ්ඩුවේ මැතිඇමැතිවරුන් හා නිලධාරීන් සිටිනුයේ ජනතාවට අවශ්‍ය ආහාර පාන ටික හෝ ලබා දෙන්නටය. ඔවුන්ගේ වගකීම වන්නේ රටේ ජනතාව කුසගින්නේ නොතබා ජනතාවට අඩු වශයෙන් අත්‍යවශ්‍ය ආහාර ටික හෝ ලබා දීමටය. මැතිවරණවලදී දේශපාලනඥයන් පොරොන්දු වන්නේ තමන් බලයට පත්වූ පසු ජනතාව සුඛිත මුදිත කරන බවටය. එම සුඛිත මුදිතකම කෙසේ වුවත් අත්‍යවශ්‍ය ආහාර ටික හෝ සැපයිය නොහැකි නම් ආණ්ඩුවක් හෝ පත්කර ගන්නේ කුමකටදැයි ගැටලුවක් මතුවේ.
රටේ භාණ්ඩ හිඟයක් ඇතිවූ විට හෝ මිල අසීමාන්තික ලෙස ඉහළ ගිය විට වගකිවයුත්තන් එකවරම උත්සාහ කරනුයේ පිටරටින් ගෙනත් දීමටය. එහෙත් එයද හරිහැටි කළමනාකරණය කරගත නොහැකි අතර බඩු රටට එනවිට අවශ්‍ය කාලය ඉකුත්ව ගොස්ය. මෙම තත්ත්වයට හොඳම උදාහරණය වන්නේ මේ වනවිට බිත්තර ආනයනයේදී ලැබී ඇති ප්‍රතිඵලයයි. බිත්තර ආනයනය කළද ඒවා පාරිභෝජනයට අනුමත කිරීම ප්‍රමාද වීමේ හේතුවෙන් උද්ගතව ඇති අවුල සමනයකට පත්වන විට නත්තල් සමයද ඉකුත්වනු ඇත. රටේ නිෂ්පාදන සහ ආනයනය කරන ආහාර ද්‍රව්‍ය රටපුරා බෙදාහැරීමට සහ මිල නියම කිරීමට රජය මැදිහත් විය යුතුය. රජය නිෂ්ක්‍රීයව සිටිමින් භාණ්ඩ බෙදාහැරීම සහ මිල නියම කිරීමට පෞද්ගලික අංශයට බාරදීමෙන් නිර්මාණය වන්නේ මුදලාලිලාගේ රාජ්‍යයකි. සියල්ලේ සර්ව බලධාරීන් වන්නේ ඔවුන්මය.
අද රටේ ඇති භාණ්ඩ හිඟයට සහ ඉහළ මිලට හේතුවන්නේ රජයේ ඇති අකාර්යක්ෂමතාවයි. බලධරයන් සිදුවන සියල්ල දෙස බලා සිටිනවා විනා කළමනාකරණය කිරීමට මැදිහත් නොවන බව පෙනී යයි. මෙම තත්ත්වය විධිමත් කරන්නේ නම් නිෂ්පාදනය වැඩි නොකළද මේ තරමට මිල ඉහළ යාම වළක්වා ගැනීමට අපහසු නොවේ. ප්‍රමිතිය සහ මිල නියාමනය කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය, කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව හා පාරිභෝගිලක කටයුතු අධිකාරිය වැනි විවිධ ආයතන තිබුණද ඒවායින් නිසි කාර්යභාරයක් ඉටුවේද යන්න සැකසහිතය. රජය ඒ පිළිබඳ අධීක්ෂණයක නිතර වන බවක්ද නොපෙනේ. මැති ඇමැතිවරු හා නිලධාරීන් ස්වකීය වගකීම පැහැර හැර තිබීම ජාතික අපරාධයකි.
උත්සව සමය ආරම්භ වන විට රටේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාම සෑම වසරකම සිදුවන දෙයකි. උත්සව සමය අවසන් වීමත් සමඟ මිල මට්ටම යථාවත් වෙයි. එහෙත් මෙවර සිදුව ඇති මිල ඉහළ යාම සහ භාණ්ඩ හිඟය වෙනදාට වඩා සුවිශේෂීය. වැට් බද්ද ඉහළ නගින්නේ සහ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වන්නේ 2024 වසරේ ජනවාරි 01දා සිටය. එහෙත් භාණ්ඩ මිල ඉහළ යාම දෙසැම්බර් මස මුල සිටම ආරම්භ විය. මෙයට හේතු හිතා ගැනීමටවත් නොහැකිය. ඉදිරියට එන වැට් බද්දක් වෙනුවෙන් දැනට ඇති තොගවල මිල ඉහළ නංවන්නේ ඇයිද යන්න ගැටලුවකි. මේ වනවිට මස්, මාළු, එළවළු, බිත්තර, කරවල, කුළු බඩු ආදියේ මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. නත්තලට පෙර මේවායේ මිල අඩුකරන බවට කිසිදු හෝඩුවාවක් නැත. වෙළෙඳුන්ට ජනතාව සූරා ගැනීමට ඉඩදී පසුව මිල නියාමනය කරන්නේ නම් එයින් සිදුවන යහපතක් නොපෙනේ. කෙසේ වුවද අද වෙළෙඳ පොළේ මිල නියාමනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව සනාථ වී හමාරය. බොහෝ අය කියන්නේ අද තරම් වේගයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ ගිය කාලයක් ඉතිහාසයේ නොමැති බවය. වර්ගවාදී යුද්ධය පැවති සමයේ මෙන්ම කොවිඩ් වංසගතය සමයේදී රටේ නිෂ්පාදනය අඩු වුවද, ප්‍රවාහනයට බාධක ඇතිවුවද මේ තරම් මිල මට්ටම ඉහළ ගියේ නැත. ඒ කාලයේ අද තරම් උද්ධමනය පහළ ගොස් නොතිබුණද ජනතාවට අද මිලට බඩුගන්නට සිදුවූයේ නැත.
අද උද්ධමනය අඩු බවට වගකිවයුත්තන් පම්පෝරි ගැසූවද භාණ්ඩ මිල අහස උසට නැගීමෙන් පාරිභෝගිකයා හිරිහැරයට පාත්‍ර වී ඇත. 2023 මැද භාගයේදී සියයට 70 ඉක්මවා ඉහළ ගිය උද්ධමනය 2023 අවසාන කාර්තුවේදී ඍණ අගයක් දක්වා පහළ වැටුණි. මේ වනවිට ටිකින් ටික ඉහළ ගොස් සියයට 2 මට්ටමේ පවතී. මෙම තත්ත්වය ලබන වසරේ මුල සිට තවත් ඉහළ යන බව පවසන්නට සිදුව ඇත්තේ වැට් බද්ද ක්‍රියාත්මක වන නිසාය. එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ එය සියයට 5 මට්ටමේ තබා ගන්නට හැකිවනු ඇති බවය. එසේ අඩු උද්ධමනයක් පවත්වා ගත්තද මිල මට්ටම අසීමාන්තික ලෙස ඉහළ නගින්නේ නම් ජනතාවට සිදුවන යහපතක් නැත. ඒ නිසා උද්ධමනය අඩුකර ගන්නා ගමන්ම මිල ඉහළ යාම පාලනය කිරීමට කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ලබන වසරේ ඉහළ යන මිල මට්ටම පහළ බැස්සවීමට වගකිවයුත්තන් සැලසුමක් ක්‍රියාත්මක කරන බවත් තවම නම් දක්නට නැත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ වර්තමානයේදී භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමේ වේගයට අනුව ලබන වසර වනවිට උද්ධමනය තවදුරටත් ඉහළ යාමට ඉඩ තිබෙන බවය. වර්තමානයේ භාණ්ඩ හා සේවා මිල ඉහළ නැගීම සලකා බැලූවිට සුළු වශයෙන් උද්ධමනය ඉහළ ගියද ජනතාවට එය දරාගන්නට නුපුළුවන් වනු ඇතැයි හෙතෙම පවසයි.
''උද්ධමනය දැනට පහළ අගයක පැවැතීමට හේතුව ගිය වසරේ උද්ධමනය වැඩිවීමට සාපේක්ෂව ගණනය කළ විට තවදුරටත් ඉහළ යාමේ වේගය අඩුවෙලා තියෙනවා. කෙසේ වුවත් 2024 වසර වනවිට වක්‍ර බදු විශාල ලෙස වැඩිවීමක් සිදුවෙනවා. විශාල ප්‍රමාණයකට බලපාන විදුලිය, ගෑස්, ප්‍රවාහනය ආදිය ඉහළ යාමට සාපේක්ෂව සියලුම ද්‍රව්‍යවල සහ සේවාවල මිල ගණන් ඉහළ යනවා. මේවා ඉහළ ගිය විට රජය කරන්නේ මිල පහළ දැමීමට යළිත් පාරිභෝගික භාණ්ඩ ආනයනය කිරීමයි. මෙයින් ඉතා විශාල ලෙස අහිතකර ප්‍රතිඵල ඇතිවෙනවා. බාල භාණ්ඩ පැමිණීම වගේම දේශීය නිෂ්පාදන විනාශයට පත්වෙනවා. මෙයින් ලැබෙන අයහපත් ප්‍රතිඵල දීර්ඝ කාලයකට බලපානවා.
අලුතින් පනවන බදු නිසා උද්ධමනය සියයට 5 දක්වා ඉහළ යනු ඇති බව මහ බැංකුව පවසනවා. දැන් පවතින සියයට 1.6 උද්ධමනය සියයට 5 ට ඉහළ යාම ජනතාවට දරාගන්න බැහැ. ඔවුන් දැනටමත් මිල වැඩිවීමෙන් හිරිහැරයට පත්වෙලයි ඉන්නේ. ලබන වසරේ සිට සියයට 18 දක්වා වැට් බදු ඉහළ ගිය විට සිදුවන ප්‍රතිඵලය අති භයානකයි. ජනතාවට නොමැරී ජීවත්වන්නට බැරි තත්ත්වයකට පත්වෙනවා. කෙසේ වුණත් වැට් බදු ඉහළ දැමීමෙන් රජය බලාපොරොත්තු වන ආදායම ලබා ගැනීමට හැකිවේ යැයි සිතන්නට බැහැ. එයට හේතුව ජනතාව පාරිභෝජනය පහළ දැමීමයි. 2023 වසර සඳහා රජය බලාපොරොත්තු වූ වක්‍ර බදු ආදායම රුපියල් බිලියන 1733ක්. 2024 දී වැට් බදු ඉහළ දැමීම නිසා අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 2740ක්. වැඩිවීම බිලියන 1007ක්. රටේ සිටින පවුල් ඒකක සංඛ්‍යාව මිලියන 5.7ක්. ආදායම පවුල් සංඛ්‍යාවෙන් බෙදූවිට එක පවුලකට ගෙවන්න සිද්ධ වෙන බද්ද ලැබෙනවා. හතර දෙනෙකුගෙන් යුතු පවුලක් 2023 වසරේදී රුපියල් තුන් ලක්ෂ තුන් දහස් අටසිය හැටක (30,3860) බද්දක් ගෙවනවා. 2024දී බදු වැඩි කිරීමෙන් පසු ගෙවන්න සිදුවන බද්ද හාර ලක්ෂ අසූ දහස් හත්සිය එකක් (480,701) වෙනවා. වැඩිවීම රුපියල් එක් ලක්ෂ හැත්තෑදහස් අටසිය හතළිස් එකක්. පවුල් සංඛ්‍යාව අනුව අපේ රටේ එක පවුලක් 2023දී මාසයකට ගෙවූ බද්ද රුපියල් 25,321 වුවත් 2024දී එය රුපියල් 40058 දක්වා ඉහළ යයි. වැඩිවීම රුපියල් 14,737යි. හතර දෙනෙකුගෙන් යුත් පවුලක් 2023දී මාසිකව ගෙවිය යුතු වැට් බද්ද රුපියල් නව දහස් නවසිය හතළිස් එකක් (9941) වන අතර එය 2024දී රුපියල් විසි දහස් හාරසිය හැටහතක් (20,467) දක්වා වැඩිවෙයි. වැඩිවෙන වැට් අනුපාතය සියයට 105 තරම් ඉහළ අගයක් ගන්නවා.
ජනතාවට මෙවැනි තත්ත්වයකට මුහුණදීමට ආදායමක් තිබේද යන්න විශේෂයෙන් සලකා බැලිය යුතුයි. ගෙවන්න බැරිවුණාම මොකද වෙන්නේ? රජය රුපියල් 10,000 මාසික වැටුප් ගන්නා අයට වැඩිකළත් රුපියල් ලක්ෂයක තරමක මාසික වැටුපක් ලබන සේවකයන්ට බදු ඉවත් කළ විට ඉන් ලැබෙන්නේ රුපියල් 6400 පමණයි. 2024දී එවැනි පවුලකට මාසිකව ගෙවන්නට සිදුවන වක්‍ර බද්ද රුපියල්, 14,737ක් වෙනවා. එයින් 6400 අඩුකළ විට තවත් රුපියල් 8337ක් ගෙවන්න වෙනවා. එය ගෙවන්නේ කෙසේද යන්න විශාල ගැටලුවක්. එය අත්‍යවශ්‍ය ආහාර පානාදී වියදම්වලින් ගෙවිය හැකිද? එසේ ගෙවතොත් ජනතාවට මොකක්ද වෙන්නේ. බදු පැනවූ අයට එය නොතේරීම අභාග්‍යයක්.
මේ ගණනය කළේ අද පවතින මිල අනුවයි. එහෙත් අනාගතයේදී භාණ්ඩ හා සේවා මිල නවතින්නේ කොතැනද? වැට් බද්දට අමතරව තවත් බදු වදිනවා. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද එකක්. 2023දී පළතුරු ආදී ආනයනය කරන දේවල්වලින් බිලියන 50 ලබාගත්තද 2024දී බිලියන 95 අපේක්ෂා කරනවා. මේ තත්ත්වය කොතනින් නවතීදැයි කියන්න බැහැ.
එක්තරා කණ්ඩායමකට පමණක් දීමනා වැඩි කිරීමෙන් මෙම ප්‍රශ්නය විසඳන්න බැහැ. ආණ්ඩුව කරන්නේ එක අතකින් දීලා අනිත් අතින් ගැනීමක්. ස්වයං රැකියාලාභීන්, එකිනෙදා කුලී කර ජීවත්වන ශ්‍රමිකයන්, පෞද්ගලික අංශයේ සේවකයන් ආදීන්ගේ ආදායම වැඩිවන්නේ නැහැ. අද පවතින මිල මට්ටමට ඔවුන් මුහුණ දෙන්නේ කෙසේද යන්න අභියෝගයක්. රටේ නිෂ්පාදනය වැඩිකර සැපයුම ඉහළ නැංවීමෙන් මිල පහළ යාමට ඉඩදීම හැර මෙම ගැටලුවට වෙනත් විසඳුමක් නැති බව කිවයුතුයි. ආණ්ඩුව දමන පැලැස්තරවලින් වැඩක් සිද්ධවන්නේ නැති බව පිළිගත යුතු වෙනවා.
I යසවර්ධන රුද්රිගු