2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

සිරිපා වන්දනාවට ගැසූ අලුත් ගැසට්ටුව

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 173

ලෝකයේ දීර්ඝතම කාල පරාසයක පවතින වන්දනා වාරයක් සේ සැලකෙන්නේ ශ්‍රීපාද වන්දනා සමයයි. උඳුවප් පොහොයෙන් ආරම්භ වන සිරිපා වන්දනා සමය අවසන් වන්නේ වෙසක් පොහොයෙනි. ඒ නිසා මැයි සිට දෙසැම්බර් දක්වා කාලය ‘අවාරය’ ලෙස හැඳින්වේ. 2023-2024 ශ්‍රීපාද වන්දනා සමය පසුගිය දෙසැම්බර් 26දාට යෙදුණු  උඳුවප් පුර පොහොය දිනෙන් ආරම්භ කෙරුණි. වන්දනා සමය ආරම්භ වූ පළමු දිනයේම ලක්ෂ දෙකකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාද වන්දනාවට පැමිණ ඇති බව වාර්තා වී තිබේ.

පසුගිය කාලයේ බලපැවැත්වූ කොවිඩ් වසංගත කාලයේ ද සිරිපා වන්දනාව සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදන රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් නිකුත් කෙරිණි. මෙවර සිරිපා වන්දනා සමය තුළ සිදුකළ යුතු සහ නොකළ යුතු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ද රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ප්‍රධාන කරුණු 10කින් එය සමන්විතය. වන්දනාකරුවන්ට පැමිණිය හැකි මාර්ග රාශියක් පැවතුණ ද ගැසට් නිවේදනයට අනුව මේ සඳහා වෙන්කර තිබෙන ප්‍රධාන මාවත් වන්නේ රජමාවත හෙවත් රත්නපුර (පලාබද්දල මාර්ගය) පාර, හැටන් නල්ලතන්නි මාර්ගය හා කුරුවිට එරත්න මාර්ගය යි. අනෙක් මාර්ගවල බැතිමතුන් සඳහා පහසුකම් සැපයීමට රජයේ මැදිහත්වීමක් සිදු නොවේ.

බැතිමතුන්ගේ මෙන්ම සිරිපා වන්දනාව සිදුවන සුවිශේෂී පරිසර පද්ධතියේ ආරක්ෂාවත් සලකා ඇති බව ගැසට්ටුවේ සඳහන් කරුණුවලින් අපට පැහැදිලි වේ. සමනළ අඩවිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන අභය භූමියකි. එය සහ දුම්බර වනපෙත සහිත මධ්‍ය කඳුකරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ද නම්කර තිබේ. 

මෑතක සිට තරුණ පිරිස් නවාතැන් අටවා වනාන්තරවල නවාතැන් ගැනීමට උනන්දුවක් දක්වන අතර සිරිපා අඩවියේ තාවකාලික නවාතැන් සකස් කිරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුතු බව ගැසට් නිවේදනයේ අවධාරණය කර තිබේ. නවාතැන් ගැනීමට භාවිත කළ හැක්කේ පුරාණයේ පටන් පැවත එන ලිහිණිහෙළ, පලාබද්දල රජමහා විහාරය, හැරමිටිපාන, ආඬියාමලතැන්න, වර්ණගල, සීතගඟුල, මැදහින්න, ඉඳිකටුපාන යන විශ්‍රාමශාලා සහ අම්බලම් බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

පසුගිය කාලයේ බොහෝ පිරිස් වන්දනා සමයට අනවසරයෙන් කඩ ඉදිකර වෙළෙඳාම් කිරීම සිදුවූ අතර මෙවර රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියකුගේ අවසරයකින් තොරව වන්දනා සමය තුළ දී එම භුමි ප්‍රදේශයේ ස්ථිර, තාවකාලික ගොඩනැගිල්ලක් හෝ නවාතැන්පොළවල් ඉදිකිරිම තහනම් කර තිබේ.

එමෙන්ම සිරිපා මළුව අවට හෝ අම්බලම් ආශ්‍රිතව යාචකයන් සේ සිඟමන් ඉල්ලීම හෝ සිඟමන් ලබාදීම හෝ බෙදාදීම් ද තහනම් ය.

සමනළ අඩවියේ බොහෝ තැන්වල දොළ පහරවල් මෙන්ම දියඇලි ද දැකගත හැකිය. නමුත් වන්දනාකරුවන්ට සෑම තැනකින්ම දිය නෑම හෝ රෙදි සේදීම කළ නොහැකි බව ගැසට්ටුවේ දැක්වේ. එයට භාවිත කළ හැක්කේ දැනටමත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතන විසින් නම්කර ඇති ආරක්‍ෂිත ස්ථානවල පමණකි. පෞද්ගලික සමාගම් විසින් ප්‍රචාරණ ප්‍රවර්ධන උපක්‍රම ලෙස දිය නෑමට හෝ රෙදි සේදීම සඳහා පහසුකම් සැපයීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ පළාත් පාලන ආයතනවලින් ලිඛිත අවසරයන් ලබාගත යුතු වේ.

වන්දනාකරුවන් පැමිණෙන වාහන නැවැත්වීම කළ හැක්කේ ද ප්‍රාදේශීය සභාව හෝ අදාළ පළාත් පාලන ආයතන විසින් වෙන්කර ඇති ස්ථානවල පමණි.

පරිසරයේ ආරක්ෂාව ගැන ද ගැසට්ටුවේ විශේෂ අවධානයක් යොමුකර තිබේ. පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රී පාදස්ථානයේ උඩ මළුව, වන්දනා මාර්ගය හෝ විශ්‍රාම ශාලා හා ඒ අවට පරිසරයට පොලිතීන්, ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර නොකිරීමට වගබලා ගන්නා ලෙස ඉල්ලා තිබේ. එමෙන්ම වනාන්තරය තුළ ගින්නක් ඇතිවන ආකාරයේ ගිනි මැල හෝ ගිනි දැල්වීම ද සිදු නොකළ යුතුය. වන්දනා කාලය තුළ දී අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වන්දනා මාර්ගයේ අත්වැට විෂබීජහරණයට ලක්‌ කිරීමේ වගකීම පළාත් පාලන ආයතනවලට පවරා තිබේ. වෛද්‍ය කඳවුරු, සෞඛ්‍යදාන සේවා ආදිය සෑම වසරකම මෙහි පැවැත්වෙන අතර එම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකගේ සහ පළාත් පාලන ආයතනවල නිසි අනුමැතියකින් තොරව එවැනි සෞඛ්‍ය සේවා සැපයීම තහනම්ය. 

සිරිපා මළුව, විශ්‍රාම ශාලා පිහිටි ප්‍රදේශ මෙන්ම වන්දනා මාර්ගයේ ජංගම ලෙස වෙළෙඳාම් කිරීම ද තහනම්ය. පූජා භාණ්ඩ, පූජා වට්ටි, ආහාර ද්‍රව්‍ය විකිණීම ආදී වෙළෙඳාම් කිරීමට හැකිවන්නේ දිස්ත්‍රික් ලේකම්වරයා හෝ වෙනත් බලයලත් නිලධාරියකු විසින් ලබා දී ඇති අවසරය සහිත ස්ථානවල පමණි.

එමෙන්ම මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය විකිණීම, වෙළෙඳසල්වල තබාගැනීම හෝ වන්දනා මාර්ගයේ රුගෙන යාම ද තහනම්ය. වෙළෙඳසල්වල හෝ තාවකාලික ගොඩනැගිලිවල කසළ බඳුනක් තැබීම ද අනිවාර්ය වේ.

දන්සල් ලබාදෙන්නේ නම් පවතින සෞඛ්‍ය නීතිවලට අනුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ හෝ බලයලත් නිලධාරියකුගේ පූර්ව අවසරයක් ලබාගැනීම අවශ්‍ය වේ. 

එමෙන්ම සිරිපා වන්දනාවේ දී විවිධ අවස්ථාවල රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය  සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිරිපා වන්දනා කටයුතුවල නියැලීම සිදුකළ යුතු බව ද පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන නික්ම යා යුතු බවට අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් ය. 

I කුසුම්සිරි විජයවර්ධන