ලෝක වාර්තාවක් තැබීම බොහෝ දෙනාට හීනයකි. ඒ සඳහා මුළු ජීවිත කාලයේ අවසාන තත්ත්පරය දක්වා උත්සාහ කරන අය ද නැතුවාම නොවේ. එහෙත් යමකුට තම කුඩා කාලයේදීම ඒ වාසනාව උරුම වන්නේ නම් එය මහත් භාග්‍යයක් ලෙස සැලකිය යුතුමය.
නව වසරක දොරකඩ උණුසුමේම ලෝක වාර්තා පොතට යන්නට සබරගමුව පළාතේ බලංගොඩ දෙමළ විද්‍යාලයේ ඉගෙනුම ලබන පාක්‍යරාසා මුරලිදරන් සිසුවා සමත් වූයේය. ඒ ලොව ඉහළම මතක ධාරිතාවක් සහිත සිසුවාට හිමි ලෝක වාර්තාවය. මුරලිදරන් 9 හැවිරිදි කුඩා දරුවෙකි. මුරලිදරන් සිසුවා පවසනුයේ තම ගුරුවරයාගේ මගපෙන්වීම මත මෙම ලෝක වාර්තාව පිහිටුවීමට තමන්ට හැකි වූ බවයි. ලොව සියලුම රටවල අගනුවර, මුදල් ඒකකය, ධජය, දේශපාලන නායකයන්, ආවේණික ක්‍රීඩා ආදී සාමාන්‍ය දැනුම ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් පාක්‍යරාසා මුරලිදරන් සිසුවා මෙම ලෝක වාර්තාව පිහිටවීය. මුරලිදරන් සිසුවාගේ මව්පියන් කම්කරුවන් වන අතර ඔවුහු කුලී නිවාසයක දිවිගෙවමින් සිය දරුවාගේ අනාගතය ගොඩනගන්නට දිවා රූ වෙහෙසෙමින් දරදිය අදිති.
1877 දී කතෝලික සභාව විසින් ආරම්භ කරන ලද බලංගොඩ දෙමළ මහා විද්‍යාලය මේ වන විට බලංගොඩ ප්‍රමුඛතම ද්‍රවිඩ පාසලකි. සිසුන් 10 දෙනකුගෙන් සහ ගුරුවරයකුගෙන් ඇරඹි පාසල මේ වන විට අධ්‍යයන කාර්ය මණ්ඩලය 64 දක්වා ඉහළ ගොස් තිබේ. 2015 වසරේ විශේෂ අධ්‍යාපන ඒකකයක් ඇරුඹීමද පාසලේ කැපීපෙනෙන සංවර්ධනයකි. බලංගොඩ දෙමළ මහා විද්‍යාලයේ විශේෂ අධ්‍යාපන ඒකකයේ අධ්‍යාපනය ලැබූ මුරලිදරන් සිසුවා එම පාසලේම 4 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබීමට යොමුවීමෙන් ඔහුගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් විවර විය. දරුවා හඳුනාගෙන දරුවා නව මගකට යොමු කළේ මුරලිදරන්ගේ පරිසර ගුරුතුමියයි. පරිසරය ගුරුතුමියගේ මැදිහත්වීමෙන් මුරලිදරන් සිසුවාගේ අධ්‍යාපනයේ සැබෑ සංවර්ධනයක් සිදුවී තිබේ. ඒ සැබෑ ගුරුවරියකගේ හැකියාව විදහා පාමිනි.
තම පාසලේ සිසුවකු ලෝක වාර්තාවක් තැබීම තම පාසලට මෙන්ම රටටත් ඉමහත් ගෞරවයක් බව බලංගොඩ මහා විද්‍යාලයේ විදුහල්පති පී. තම්බිරාජා මහතා පැවසුවේ ඉමහත් සතුටිනි.
“අපේ පාසල බලංගොඩ අධ්‍යාපන කලාපයේ තිබෙන 1 ශ්‍රේණියේ සිට 13 දක්වා පන්ති තිබෙන සිසුන් 1376 ක් සිටින පාසලක්. මුරලිදරන් සිසුවා අපේ පාසලේ අධ්‍යාපනය ලබන දක්ෂ සිසුවෙක්. පාසලේ බොහෝ සිසුන් ඉගෙන ගන්නේ අනේකවිධ අමාරුකම් මැද්දේ. එහෙම පාසලට පැමිණෙන සියලු දරුවන්ගේ අනාගතය ලස්සන කරන්න පාසලේ සියලුම ගුරුභවතුන් ගොඩක් උනන්දුවෙන් තමා වැඩ කරන්නේ.” යැයි විදුහල්පති තම්බිරාජා මහතා පැවසුවේය.
මුරලිදරන් සිසුවා සේම බගවන්තලාව හෝලි රොසරි දමිළ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සංකර්දාස් කණිෂ්කා සිසුවිය ද චෝලන් ලෝක වාර්තා පොතට එක්වන්නට මෑත කාලයේදී සමත් වූවාය. ඒ මිනිත්තු 04 ක කාලයක් ඇතුළත මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව 432 ක් මතක තබා ගනිමින්, නම් කරමින් ලොව ඉහළම මතක ශක්තියක් ඇති දැරිය බවට ලෝක වාර්තාව තබමිනි. බගවන්තලාව ආරියපුර ගම්මානයේ පදිංචි සංකර්දාස් කණිෂ්කා දැරිය පාසලේ දෙවැනි වසරේ අධ්‍යාපනය ලබන්නීය.
එසේම ලෝකයේ රටවල් 195 ක් සහ එම රටවල අගනුවර සිතියමක ලකුණු කර නුවරඑළියේ 5 හැවිරිදි කලාකේෂන් හර්ෂිත් නමැති පෙර පාසල් සිසුවා චෝලන් ලෝක වාර්තාව තැබුවේද පසුගිය මැයි මාසයේය.
නියෝජිතයන් දහස ඉක්මවමින් ලෝක වාර්තා දස දහස ඉක්මවා ඇති වෝලන් ආයතනය ලොව පුරා රටවල් 26 ක ක්‍රියාත්මක ආයතනයකි. ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුගතව මෙම ආයතනය ඉදිවූයේ මෙයට වසර දෙකකට ඉහතදීය. ඒ 2019 දීය. ඉන්දියාවේ චෝලන් ආයතනය මගින් සුවිශේෂී දක්ෂතා සහිත පුද්ගලයන්ගේ සහ දරුවන්ගේ මානව සහ ස්වභාවික ලෝක වාර්තා ලේඛනගත කරයි.
මෙරට චෝලන් ලෝක වාර්තා තැබූවන් පිළිබඳ විමසීමේදී දරුවන්ගේ කුසලතා අගය කරමින් චෝලන් ආයතනය මෙම ලෝක වාර්තා ප්‍රදානය කර තිබෙනු දැකිය හැකිය. එසේම චෝලන් ලෝක වාර්තා තැබූවන් වැඩි පිරිසක් කඳුකරය ආශ්‍රිත පදිංචි වතු ප්‍රදේශවල පවුල්වල දරුවන් මෙම ලෝක වාර්තාව සඳහා ඉල්ලුම් කිරීම සහ චෝලන් ලෝක වාර්තා තැබීම කැපීපෙනෙයි. එහිදී මෙම චෝලන් ලෝක වාර්තාවට වෙනත් ප්‍රදේශවල දරුවන් යොමු නොවන්නේ මන්දැයි ප්‍රශ්නයක් ඉතිරි කරයි. එය අනෙක් ප්‍රදේශවල මව්පියන්ගේ උනන්දුව මඳකම ද එසේත් නැතිනම් අවස්ථාවක් නොමැතිවීමද එසේත් නැතිනම් වෙනත් විශේෂ හේතුවක්ද යන්න පිළිබඳ වෙනම විමර්ශනයක් කළ හැකිය.
මෙහිදී පැවසිය යුතුම සුවිශේෂී කාරණාවකි. එනම් මුරලිදරන් සිසුවා සාමාන්‍ය සිසුන්ගෙන් වෙනස් වන්නේ ඔහු ඔටිසම් රෝගී තත්ත්වයෙන් පෙළෙන දිරිය දරුවකු නිසාවෙනි. ඔටිසම් රෝගී තත්ත්වය යනු දරුවන්ගේ සමාජීය හැසිරීම සහ හැකියාව සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් බව වෛද්‍ය මතයයි. ලෝකයේම නමක් තැබූ ඇල්බට් අයින්ස්ටයින්, චාල්ස් ඩාවින්, බිල්ගේට්ස් ආදීහුද කුඩා කාලයේදී ඔටිසම් රෝගී තත්ත්වයට මුහුණ දුන්නෝ වූහ. මුරලිදරන් සිසුවා ලොවට හඬගා කියන්නේද ජයග්‍රහණයේ මාවත සොයා යන්නාට කවරාකාර බාධා වුවද අදාළ නොවන බවයි.
I සසංක චලන ගිම්හාන