ශ්‍රී ලාංකීය දේශපාලනයේ උඩියටිකුරු කරන දේශපාලන පෙරළි රැසක් ලබන වසරේ සිදුවීමට නියමිතව තිබේ. එය මෙතෙක් ලාංකීය ඉතිහාසයේ දරුණුතම දේශපාලන පෙරළියක් වනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කරති. ඡන්ද වසරක් ලෙස හඳුන්වන 2024 තුළදී මෙරට බලවත් පුද්ගලයාත් බලවත් ආණ්ඩුවත් කුමක්ද යන්න ජනතාවට තෝරාගැනීමේ තීරණාත්මක මොහොත එළඹෙනු ඇත. දේශපාලන කෙරුවාවෙන් හෙම්බත් වූ ජනතාවගේ පුපුරා යාමකින් අනතුරුව පවත්වනු ලබන මැතිවරණයක් නිසා එළඹෙන ඡන්දයේ ප්‍රතිඵල ජනතාවගේ බුද්ධිමත් ප්‍රකාශනයක් වේද? එහෙම නැතිනම් ජනතාවගේ ආවේගත්මක ප්‍රකාශනයක් වේද? එහෙමත් නැතිනම් මේ දෙකේ එකතුවක් වේද? යන්න පාලකයන් පවා බලාසිටින මොහොතකි. කෙසේ වෙතත් ජනතාව ඡන්දයකට උද් යෝගිමත්ද? උදාසීනද? අප තවම දන්නේ නැත. ඒ නිසා මෙය ඉතාම තීරණාත්මක ඡන්දයක් වනු ඇත.
දැනටමත් කුමන ඡන්දයක් ප්‍රථමයෙන් පවත්වන්නේද? යන්න තීරණය නැති මොහොතක ජනාධිපති අපේක්ෂයන් රොත්තක් කරළියට පැමිණ සිටිති. ඉන් ප්‍රධාන වශයෙන් රනිල් වික්‍රමසිංහ වර්තමාන ජනාධිපතිවරයාත්, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාත්, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාත් ඉදිරිපත්වන බව දැනටම ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත්කර ඇත. වර්තමාන ජනාධිපතිවරයා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වන බව දැනුම් දුන්නත් තවම ඔහුට අත්‍යවශ්‍යම සහායක් වන පොහොට්ටුවේ සහාය ඔහුට ලබාදෙන බව දන්වා නැත. ඒ වෙනුවට පොහොට්ටුවේ ප්‍රතිචාරය වී ඇත්තේ ඔවුන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව කියාය. තම පක්ෂයට අපේක්ෂකයන් හතර දෙනකු සිටින බව පොහොට්ටුවේ මහ ලේකම් සාගර කාරියවසම් පැවසුවත් පොහොට්ටුවේ නිල නොලත් අපේක්ෂකයා වී ඇත්තේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාය. ඔහු දැනටමත් තම ජනාධිපති ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ. අපට දැනගන්නට ඇති පරිදි ඔහුගේ ඡන්ද ප්‍රචාරණ වැඩසටහන රුපියල් බිලියනයක වැඩක් වනු ඇත.
මේ අතර තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් ඡන්ද සටනට ඇතුළුවීම සඳහා දැනටමත් තම ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත. ඒ දිලිත් ජයවීරය. ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සඳහා විශාල කැපවීමක් කළ අයෙකි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කඩාවැටීම හමුවේ එය රාජපක්ෂ පවුලේ වැඩක් බව කීවේ ඔහුය. එනිසා දිලිත් ජයවීර මහතාට ඇති තැන කොතැනද යන්න අප දන්නේ නැත. මීට අමතරව පසුගිය කාලය පුරාම ක්‍රීඩාව බේරාගැනීම සඳහා තනි සටනක් කළ රොෂාන් රණසිංහ මහතාද ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර ඇත. ඔහුගේ කැමැත්ත හදිසියේ පැමිණි එකක් නොවුණත් ඔහුගේ මේ තීරණය නුදුරේදීම කරළියට එනු ඇත.
කෙසේ වෙතත් මෙම නායකයන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් ලොකුම අවදානමක් ඇත්තේ වර්තමාන ජනධිපතිවරයාටය. එනම් ඔහුට පොහොට්ටුවේ සහාය නොලැබුණොතින් තරගයක් දීමට ලෙහෙසි පහසු වන්නේ නැත. පොහොට්ටුවේ නායකයන්හට ලබාදුන් ඇතැම් පොරොන්දු නිසි ලෙස ඉටු නොකළ නිසා ඇතැම් පොහොට්ටු නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිටින්නේ ගැටලුවකිනි. එපමණක් නොව ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිහ මහතා සමීපයේ සිට පොහොට්ටුවේ අනෙකුත් මන්ත්‍රීවරුන්ට අභියෝග කිරීමත් මේ බෙදීමට තවත් එක් හේතුවක් වී ඇත. ඒ නිසා වර්තමාන ජනාධිපතිවරයාට පොහොට්ටුවේ සහාය ලැබීම ඇත්තේ ඉතාම අසීරු තැනකය.
එහෙත් පොහොට්ටුව කෙතරම් තම අපේක්ෂකයකු ඉදිරිපත් කරන්න උත්සහ කළත් එයද ලෙහෙසි පහසු නැත. එනම් දැනටමත් පොහොට්ටුවේ ඇතැම් පිරිස් කණ්ඩායම් වශයෙන් වෙන් වී ඇති නිසාය. පොහොට්ටුවේ ආධාර පක්ෂ දැන් ඉන්නේ වෙනමය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පොහොට්ටුවට ආපු ජ්‍යෙෂ්ඨයන් වෙනම කණ්ඩායමක් වී සිටිති. ඇතැම් පිරිස් දැනටම සමගි ජනබලවේගය සමඟ එක්වීමට තීරණය කර ඇත. තවත් පිරිස් රනිල් වික්‍රමසිහ මහතා තෝරාගෙන ඇත. ඒ නිසා පොහොට්ටුවට මන්ත්‍රීවරුන්ගේ සහාය ලැබීම ඉතාම අසීරු තැනකට පත්ව ඇත.
මේ අතර යම් හෙයකින් ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය ක්‍රියාත්මක වුවහොත් යම් තරමක අවාසියක් ලැබෙන්නේ ජයග්‍රහණය අපේක්ෂාවෙන් සිටින ජාතික ජනබලවේගයටය. එනම් ජනාධිපතිවරයෙක් බිහි කරගැනීමට නම් ඔවුන්ට මේ මනාප ක්‍රමය තුළ ආණ්ඩුවක් පිහිටුවා ගත යුතුව ඇත. එහෙත් එසේ කිරීම ඔවුන්ට ලෙහෙසි වන්නේ නැත. ඒ අනෙකුත් පක්ෂ සමඟ තරග කිරීමට සිදුවන නිසාය. එයින් ලොකු ජයක් ලැබීම මනාප ක්‍රමය තුළ ලෙහෙසි පහසු නැත. ඇතැම් විට ඒ සඳහා ඔවුන්ට සැලසුමක්ද තිබිය හැක.
මැතිවරණ කතා කෙසේ වෙතත් ලබන වසරේ විශාල පක්ෂ මාරුවීම් රැසක් සිදුවන වර්ෂයක් වනු ඇත. සමගි ජනබලවේගය විසින් ලබන ජනවාරි අග පිහිටුවන සමගි බල සන්ධානය හරහා පොහොට්ටුවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එම පක්ෂයට එකතුවනු ඇත. එසේම ඇතැම් මැති ඇමැතිවරුන් තම දේශපාලනය අවසන් කිරීමටද නියමිතව ඇත. ඒ නිසා ලබන වසර තුළ දේශපාලන වශයෙන් විශාල පෙරළි රැසක් බලා ගැනීමට හැකිවනු ඇත.
කෙසේ වෙතත් මොන දේශපාලන පෙරළි පැමිණියත් රටේ තීරණාත්මක වැඩ කටයුත්තකට ඊළඟ ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් මුහුණ දෙන්නට සිදුවනු ඇත. ඒ වෙන දෙයක් නොව ආර්ථික අභියෝගය ජයගැනීමේ සටනයි. ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය සිදුනොවුණොතින් ඊළඟ ආණ්ඩුවටත්, ජනාධිපතිවරයාටත් එරෙහි ජනතා අප්‍රසාදය කෙටිකලකින් වර්ධනය වනු ඇත. එය විරෝධයක් දක්වා ඇදී යනු ඇත. ඒ නිසා මීළඟ වසර රටේ දේශපාලනයෙන් පමණක් නොව ආර්ථිකයෙන්ද තීරණාත්මක වනු ඇත. එයට මුහුණ දීම ලේසි පහසු වන්නේ නැත. ඒ නිසා මීළඟ මැතිවරණය රටේ අනාගතය තීරණය කරනු ලබන තීරණාත්මක ඡන්දයක් වනු ඇත.
I ගයාන් ගාල්ලගේ