2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

වැට් ප්‍රහාරයෙන් තේ වතු හිමියෝ හාන්සියි

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 89

ලොවපුරා ගතේ පවස නිවාලන ලංකා තේ කර්මාන්තය පිළිබඳ හිතේ දුකට හේතුවන කතා රැසක් අසන්නට ලැබේ. ඒ අනුව උදාවෙන වසරේ තේ කර්මාන්තයට මුහුණපෑමට සිදුවෙන ගැටලු මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. එම නීරස යථාර්ථය අප ඔබ හමුවේ තබමු.

''ජනවාරි 2 වැනිදා තේ වෙන්දේසියට පෙර වැට් බදු පිළිබඳ පැනනැගී ඇති අර්බුදය නොවිසඳුණහොත් තේ කර්මාන්තයේ වර්තමාන අර්බුද සංකීරණය විය හැකියි'' අප වෙත ඒ පිළිබඳ අනාවරණය කළේ තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න මහතාය.

''තේ අපනයනකරුවන් වශයෙන් අපට තිබෙන ආසන්නතම ප්‍රශ්නය තමයි වැට් බදු ගැටලුව. ඉස්සර තේවලට වැට් බදු පනවලා තිබුණේ නැහැ. ඒත් දැන් තේවලට වැට් බද්ද පනවලා තියෙනවා. මේ වැට් එක අපිට ගෙවන්න වුණොත් ගැටලු මතුවෙනවා.

ලංකාවේ තේ කර්මාන්තයේ ක්‍රමවේදය තමයි තේ වතු කර්මාන්තශාලා තමන්ගේ නිෂ්පාදනය අතරමැදියන්ට ලබාදෙනවා. ඒ බ්‍රෝකර්ලා තමයි අපනයනකරුවන්ට මේ නිෂ්පාදනය ලබාදීලා ඉන්වොයිස් කරන්නෙ. අපනයනකරුවන් විදිහට අපි සියයට දහඅටක වැට් බද්ද ගෙවන්න වෙන්නෙ අපිට. ආණ්ඩුව ප්‍රතිපත්තියක් විදිහට අපනයනකරුවන්ට වැට් රිෆන්ඩ් කරන බව කියනවා. නමුත් ඒකට සෑහෙන කාලයක් ගතවෙන බව අපි දන්නවා. අපිට විශ්වාසයක් නැහැ ලංකාවේ වැට් රිෆන්ඩ් සිස්ටම් එක. මේ තත්ත්වය යටතේ අපනයනකරුවන්ට ලොකු කෑෂ් ෆ්ලෝ ගැටලුවකට මැදි වෙන්න සිද්ධ වෙනවා.

ජයන්ත කරුණාරත්න මහතා පෙන්වා දෙන ආකාරයට විදේශීය ගැනුම්කරුවන් ශ්‍රී ලංකාවේ වැට් බදු පිළිබඳව නොතකයි. මිල ගණන් වෙනස් කිරීමේ හැකියාවක්ද නොමැත. එසේ වුවහොත් වැට් බද්දේ අවාසිය ආපසු කැරකී යන්නේ නිෂ්පාදකයන් වෙතය. එහිදී මෙරට තේ කර්මාන්තයට උරදෙන කුඩා තේ වතු හිමියන් සහ නිෂ්පාදන කර්මාන්තයෙන් යැපෙන දස ලක්ෂයකට ආසන්න පිරිස පීඩාවට පත්වනු ඇත.

''අපේ සංගම් සියල්ලම මේ පිළිබඳ මහාභාණ්ඩාගාරයත් එක්ක අමාත්‍යංශය සහ අමාත්‍යවරුත් එක්ක කතා කරගෙන යනවා. දැන් දෙවැනිදා තමයි ඔප්ෂන් එක තියෙන්නෙ. හරි පිළිතුරක් නොලැබුණොත් දෙවැනිදා වෙන්දේසියේදී සිද්ධ වෙන දේ සම්බන්ධව පැහැදිලි නැහැ. මේ විදිහට ගියොත් ගොඩක් තේ විකිණෙන එකක් නැහැ. නිෂ්පාදකයන්ට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා.''

ආසන්න වශයෙන් නිර්මාණය වී ඇති ගැටලුව මෙය වුවද තේ කර්මාන්තයේ කලක පටන් මුහුණදෙන ගැටලු රුසකි. ඒ අතරිනුත් මෑතක සිට පොහොර මිල ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් බරපතළ වෙමින් තිබේ. කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනයේ ජාතික සංවිධායක ලාල් ප්‍රේමනාත් මහතා මෙම තත්ත්වය පිළිබඳ අප සමඟ අදහස් දැක්වීය.

''තේ කර්මාන්තයට හැමදාමත් අභියෝග තිබුණා. මොකද තේ කර්මාන්තය මේ රටේ ආදායම් ලබන සාර්ථක කර්මාන්තයක් බවට පත්කරන්න, පැවැති ආණ්ඩුවලට නිසි සැලසුමක් තිබුණේ නැහැ. මේ මොහොතේ තියෙන සුවිශේෂී තත්ත්වය තමා, පොහොර මිල අධික වීම. පොහොර මිල අධික වීම හේතුවෙන් ගොවියන්ට තමන්ගෙ වතුවලට පොහොර දාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

මේ තත්ත්වය මත අක්කරයකින් ලබාගන්න පුළුවන් අමු දලු අස්වැන්න ප්‍රමාණයෙන් අඩුවෙලා. මේ වගේ තත්ත්වයක් යටතේ ආණ්ඩුව දලුවලටත් වැට් බද්ද එකතු කරන්නේ හදන උත්සාහය ඇතුළේ තේ කර්මාන්තය තවදුරටත් අර්බුදයට ලක්වෙනවා.''
කුඩා තේ වතු හිමියන් වෙත ලැබිය යුතු සහනාධාර පවා කලකින් නොලැබූ බව කුඩා තේ වතු හිමියෝ මැසිවිලි නගති. ඇතැම් දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන් තමන් වෙත ලැබිය යුතු සහනාධාර ඉල්ලා රජයේ කාර්යාල වැටලූ අවස්ථාද වාර්තා වේ. තේ කර්මාන්තයෙන් සියයට හැත්තෑ තුනක පමණ පරිමාවක් දරා සිටින්නේ කුඩා තේ වතු හිමියෝ. පසුගිය වසරේදී සියයට දාහතකින් පමණ තේ කර්මාන්තය කඩා වැටී ඇති බව කුඩා තේ වතු හිමියෝ පවසති.

වර්තමාන අර්බුදයේ බරපතළ බව පිළිබඳව ලාල් ප්‍රේමනාත් මහතා තවදුරටත් අප සමඟ මෙලෙස පැහැදිලි කළේය.

''මේ හැම දෙයක්ම කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් හොයා බලන්න ඕනෑ දේවල්. පොහොර මිල ඉහළ යාම, කාලගුණික දේශගුණික තත්ත්වයන් නිසා සිද්ධ වුණු පාඩු, කුඩා තේ වතු හිමියන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීමේදී සිදුවන නාස්තිය ආදී ගැටලු රැසක් තිබෙනවා. මේ සම්බන්ධව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අවධානය යොමුවෙන්න ඕනෑ. ඒත් එහෙම අවධානය යොමුවෙලා නෑ.''

මෙම පැහැදිලි කිරීම අනුව අඩු අස්වැන්න, තේ දලු කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා යන පිරිවැය වැඩිවීම ආදී ගැටලු සුළුකොට තැකිය නොහැක. තවදුරටත් ඒ කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ ගියහොත් තත්ත්වය තවදුරටත් බරපතළ වනු ඇත.

''එදා සුදු ජාතිකයන් තේ කර්මාන්තය බරපතළ ලෙස ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර අරගෙන තිබුණා. තේ මණ්ඩලය තියෙනවා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය තියෙනවා, තේ  පර් යේෂණ ආයතනය තියෙනවා. මේ ආයතනය ත්‍රිත්වය හදලා තියෙන්නේ තේ කර්මාන්තය රුක ගැනීම සඳහා. මේ ආයතන ටික හරියට තමන්ගේ රාජකාරී ඉෂ්ට කරනවා. තේ කර්මාන්තය රුකගන්න එක අපහසු නෑ. නමුත් පසුගිය කාලය පුරාවටම ආණ්ඩු ඒ කටයුතු නිසියාකාරව සිදුකරලා නැහැ.''

මේ අනුව ඉදිරි වසර ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය කිරීම තීරණාත්මක වසරක් වනු ඇති බව පෙනී යයි. රට තුළට විශාල අපනයන ආදායමක් රුගෙන එන මෙම කර්මාන්තය පිළිබඳ තීරණ ගැනීම ඉතා සංකීර්ණ කටයුත්තකි. ඒ අනුව මෙම කර්මාන්තයේ  බරපතල බව නොතකා ගනු ලබන සෑම තීරණයක් හරහාම සිදුවන්නේ කර්මාන්තකරුවන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද අයහපත් බලපෑමකි.

I චමිඳු නිසල් ද සිල්වා