2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා

දෙමංතලාවක යන මෙදා 31 රාත්‍රිය

 2023 දෙසැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00 31

දෙසැම්බර් 31 වැනිදා රාත්‍රිය කොළඹ නොනිදන රාත්‍රියකි. කොළඹ පමණක් නොව බොහෝ නගර මෙවරත් 2024 ජනවාරි 01 වැනිදා පිළිගන්නටත්, 2023 වසරට දෙසැම්බර් 31 වැනිදා සමුදෙන්නටත් සූදානමින් සිටී. මේ වෙනුවෙන් බොහෝ සාද, උත්සව සංවිධානය කරමින් පවතී. විශේෂයෙන් කොළඹ නගරයේ තරු හෝටල් විවිධ වැඩසටහන් සංවිධානය කර ඇත.

සෑම වසරකදී මෙන්ම මෙවරද මේ දවස් රටේ ගායික ගායිකාවන්ට ඉතා කාර්යබහුල උත්සව සමයකි. විශේෂයෙන් ඇතැම් මාධ්‍ය නාලිකාවල නත්තල් සහ දෙසැම්බර් 31 වැනිදා වෙනුවෙන් පැවැත්වූ ප්‍රියසම්භාෂණ සඳහා කලාකරුවන් කලාකාරියන් සූදානම් වන්නේ සති ගණනක සිටය. මේ වෙනුවෙන් ඔවුහු ඉතා විශාල මුදලක් ඇදුම් ආයිත්තම් වෙනුවෙන් වැය කරති. මේ අතරේ ඇතැම් කලාකරුවන්ට කලාකාරියන්ට ඇඳුම් හා රෑපලාවන්‍ය කටයුතු නොමිලේ කර දීමට අනුග්‍රාහකයෝද සිටිති. ඒ කෙසේ වෙතත් ඇතැම් නාලිකා වැඩසටහන් නරඹද්දී ඒවාට අනවශ්‍ය විය හියදම් කර ඇති බවද ඇතැම් විට පෙනී යයි. බොහෝවිට මෙම වැඩසටහන් රෑපවාහිනී නාළිකාවලින් ප්‍රචාරය වන්නේ දෙසැම්බර් මස 31 රාත්‍රියේය.

මෙවර දෙසැම්බර් 31 රාත්‍රියේ කොළඹ ගාලු මුවදොර පිටිය ආශ්‍රිතව සංගීත සංදර්ශනයක් පැවැත්වේ. මෙම උත්සවශ්‍රීය ආරම්භ වූයේ දෙසැම්බර් මස 20 වැනිදාය. එදින සිට විශාල ජනකායක් ගාලු මුවදොර පිටියට පැමිණියහ. නත්තල් අසිරිය මෙන්ම නව වසර උදාවීම ඔවුන් තම නෑ හිතමිතුරන්, යහළුවන් සමඟ ප්‍රීති වෙමින් නිදහසේ, සංගීතය රස විඳිමින් කාලය ගත කිරීමට ගාලු මුවදොර පිටියට පැමිණියහ. දෙසැම්බර් මස 31 රාත්‍රියේ මහ සංගීත ප්‍රසංගයක්ද මෙහිදී පැවැත්වෙයි. එම රාත්‍රිය සංගීතවත් කරනු ලබන්නේ රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම විසිනි. දිවයිනේ ජනප්‍රිය ගායක ගායිකාවන් විශාල සංඛ්‍යාවක් මේ සඳහා සහභාගි වීමට නියමිතය. 

දෙසැම්බර් 25 නත්තල් අසිරිය වෙනුවෙන්ද ගාලු මුවදොර පිටියට විශාල ජනකායක් පැමිණ සිටියහ. එවැනිම ජනකායක් දෙසැම්බර් 31 රාත්‍රියේද පැමිණෙතැයි බලාපොරොත්තු විය හැකිය. ගාලු මුවදොර පිටියට යාබද ඇති &වන් ගෝල්ෆේස්* සාප්පු සංකීර්ණයටද මේ දිනවල විශාල ජනකායක් පැමිණෙති. ඇතැම් රාත්‍රී කාලවලදී ඇතුළුවීඹට ඇති තදබදය වළක්වා ගැනීමට ඔවුන් කොටස් වශයෙන් ඇතුළු කිරීමට සිදුවේ. මේ තත්ත්වය දෙසැම්බර් 31දා ඇතිවිය හැකිය. විශේෂයෙන් වන්ගෝල්ෆේස් සාප්පු සංකීර්ණය විචිත්‍රවත් විදුලි ආලෝකයත්, අපූරු සැරසිලිත් හේතු කොටගෙන ඒ ආශ්‍රිතව ඡායාරෑප ගැනීමට බොහෝ දෙනකුට ඇත්තේ විශාල කැමැත්තකි.

මෙවර 31 රාත්‍රියේ අසිරිමත් මල් වෙඩි සංදර්ශනයක්ද පැවැත්වීමට නියමිතව ඇත. ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායම ගාලු මුවදොර පිටියේදී වාදනය සපයමින් ගීතවත් වෙද්දී නලීන් පෙරේරා ප්‍රමුඛ සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම කොළඹ රාමඩා හෝටලයේදී සංගීතය සපයමින් විචිත්‍රවත් රාත්‍රියක් වෙනුවෙන් සූදානම් වෙති. සන්ෆ්ලවර්ස් සංගීතයට ඇල්ම දක්වන සංගීත ලෝලීන් විශාල පිරිසක් මේ වනවිටත් රාමඩා හෝටලයේ රාත්‍රී භෝජන වේලක් ගනිමින් ගීතවත් රාත්‍රියක් ගත කිරීමට සූදානම්ව සිටිති.

කොළඹ රාමඩා හෝටලය පමණක් නොව කොළඹ තරු හෝටල් ඇතුළු අනෙකුත් බොහෝ හෝටල් මෙවර උත්කර්ෂවත් අන්දමින් 31 රාත්‍රිය සැමරීමට සූදානම්ය. සංගීතයෙන් නර්තනයෙන් පමණක් නොව රසවත් කෑම බීමද ඒ සඳහා සකස් වෙයි. 

මේ අතර කොළඹ ගලධාරි හෝටලයද 31 රාත්‍රියට සූදානම් වේ. ගලධාරි හෝටලයේ ඇති California Grill නම් කොටසේ විශේෂිත වුණ රාත්‍රී භෝජන සංග්‍රහයකි. ඉහළම මාලයේ වෙන්වුණ මෙම රාත්‍රී භෝජනය සඳහා අයකරන මුදල රුපියල් දාහතරදහස් පන්සීයකි. ගලධාරි හෝටලයේ The Coffee shop කොටසේද ජාත්‍යන්තර ක්‍රමයේ රාත්‍රී ආහාර වේලක රසබැලිය හැකිය. එහිදී වැඩිහිටියකු සඳහා රුපියල් හත් දහසක්ද, දරුවකු සඳහා රුපියල් පන්දහස් නවසියයක මුදලක්ද අයකරනු ඇත.

කොළඹට පමණක් නොව දෙසැම්බර් 31 රාත්‍රියේ මුළු රටටම අසිරිමත් රාත්‍රියකි. වෙනත් වසරවලට සාපේක්ෂව ගිනිකෙළි අලෙවිවීමේ අඩුවක් දක්නට හැකි වුවද විවිධ ස්ථානවල මල්වෙඩි සංදර්ශ සූදානම්ව පවතී. විශේෂයෙන් සංගීත ප්‍රසංගද නගරාසන්න ප්‍රදේශවල පැවැත්වීමට සංවිධායකවරුන් සංවිධානය කර ඇත.

සමාජයේ පිරිසක් මේ අන්දමින් ප්‍රිති වුවද, සතුටු වුවද, රසවත් ආහාරවල රස වින්දද රටේ ආර්ථික අර්බුදය විසින් මෙරට පවුල් සියයට 60කට මාසික ආදායම පහළ දමා තිබේ. එසේම සාමාන්‍ය පවුල්වලින් 91%ක මාසික වියදම ඉහළ ගොස් ඇත. මේ නිසා කුසගින්න නිවාගන්නට බැරිව ජීවිතේ අනේක විධ වේදනා විඳින දෙමාපියන්, දරුවෝද 31 රාත්‍රිය දුක් කඳුළින්ම ගෙවා දමති. ලෝකයේ ජීවත්වෙන හැමටම කුමක් හෝ බලාපොරොත්තු ඇත. සිහින ඇත. ඒ සිහින බලාපොරොත්තු හැබෑ කරගන්නට 2024 ලබන විට ඔවුන්ට අධිෂ්ඨානයක්ද තිබෙනු ඇත. නමුත් පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය හමුවේ ඒ බලාපොරොත්තු සිහිනවලට පමණක් සීමාවනු ඇතිද? ඒ ගැන ඇත්තේ විශාල සැකයකි.

I දිශානි ජයමාලි කරුණාරත්න

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02