විශාල ලූනු මිල මහජනයාට විශාල කරදරයක්ව තිබේ. එම විශාල කරදරය විසඳාලන්නට නොයෙක් පිළියම්ද යෝජනා වෙමින් තිබේ. එහෙත් තවමත් ලොකු ලූනු මිල පහළ වැටී නැත. මෙවන් තත්ත්වයක් මත මේ වනවිට ලොකු ලූනු අර්බුදය විසඳාලීමට ඉදිරිපත් වී ඇති පිළියම් පිළිබඳව අපි සාකච්ඡාවකට සැරසෙමු.
''අපි ලොකු ලූනු නොකා ඉමු'' පසුගිය දිනවල ලූනු නිසා ඇස් රතු වූ ඇතැම් පාරිභෝගිකයන් තැන තැන කීවේ එවන් කතාවකි. වෙළෙඳ ඒකාධිකාරිය බිඳ දැමීමට පාරිභෝගික මැදිහත් වීම පිළිබඳව මෙවන් අදහස් මින් පෙරද මතු වූ අවස්ථා අප දැක ඇත. ඉල්ලුම සැපයුම මත මිල තීරණය වන තරගකාරී වෙළෙඳපොළ පාරිභෝගික සිත්සතන් තුළ මෙවන් අදහසක් පහළ වීම වරදක් නැත. මේ හරහා පිළිබිඹු වන්නේ පාරිභෝගික ප්‍රජාවගේ අසරණ බවයි. එහෙත් එම යෝජනාවේ ප්‍රායෝගිකත්වය තුළ ගැටලු ඇති බව කිව යුතුය.
''ලූනු කිලෝ එකක් රුපියල් හයසීයයි, හයසිය පනහයි. සුපිරි වෙළෙඳසලකට ගියොත් ලූනු කිලෝවක මිල එක ගාණක්, සතොසට ගියොත් තවත් ගාණක්, සාමාන්‍ය වෙළෙඳපොළට ගියොත් වෙනම ගාණක්, නිකම්ම නිකම් සිල්ලර කඩයකට ගියොත් තවත් ගාණක්. එතකොට රජයක් විදිහට පාලන මිලක් දාන්න බැරිද?
මේවා පිටරටින් ආනයනය කරන්නෙ. අපිට සැකයක් මතු වෙනවා මේ වෙළෙඳාමට යටින් දේශපාලනඥයෝ වෙන ඩීල් එකක් කරනවද කියලා. අපි ලූනු නොකා මාසයක් වර්ජනය කරලා පෙන්නමු, එතකොට මේ ලූනු මාෆියාවට මොකක්ද වෙන්නෙ කියලා.''
සමාජයේ තැන තැන තිබූ ලූනු නොකා ඉඳීම පිළිබඳ කතාව මෙලෙස ප්‍රසිද්ධ වේදිකාවට ගෙන ආවේ ''ජාතික කාන්තා එකමුතුව'' නම් සංවිධානයකි. එහි සභාපතිනි හෂිනි සිල්වා මෙම ප්‍රකාශය සිදු කළාය.
සිතාමතා සිදු නොකළද මෙවන් අසාමාන්‍ය මිල ඉහළ යෑමක් හමුවේ ලොකු ලූනු සඳහා වෙළෙඳ ඉල්ලුම පහත වැටීම සාමාන්‍ය තත්ත්වයකි. ඒ අනුව මිල ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයන්ගේ ලොකු ලූනු ඉල්ලුම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව පිටකොටුව මැනිං පොදු වෙළෙඳ සේවක සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා ඉකුත්දා පවසා තිබුණි.
ලොකු ලූනු මිල වැඩිවීමත් සමඟ ඒ සඳහා පැවති ඉල්ලුම අඩුවීම මේ වනවිට උපරිම අවස්ථාවේ පවතින බව ඔහු කියා සිටියේය. වෙළෙඳපොළට පැමිණෙන ලොකු ලූනුවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන්ද ගැටලු පවතින බවද ඔහු වැඩිදුරටත් පවසා තිබුණි. සැබැවින්ම වෙළෙඳපොළ ලොකු ලූනුවල ප්‍රමිතිය අතිශයින් බාල තත්ත්වයක පවතින බව කිව යුතුය.
කෙසේ වෙතත් මෙම අර්බුදයේ අප සිතනවාට වඩා බරපතළය. ලොව විශාලතම ලූනු අපනයනකරුවා වන ඉන්දියාවයි. මෙරට ලූනු මිල ඉහළ යෑමට ආසන්නම හේතුව ඉන්දියානු රජයේ තීරණයකි. ඉන්දියාව පසුගිය දෙසැම්බර් 8දා සිට ලොකු ලූනු අපනයනය තහනම් කිරීමට පියවර ගත්තේය.
ඉන්දියාවද මේ තීරණය ගත්තේ ඔවුන්ටද සිදුවූ විශාල කරදරයකින් අත්මිදීමේ උපායක් ලෙසය. 2023 වසරේ අවසාන මාස කිහිපය තුළ ඉන්දියාවේ ශීඝ්‍රයෙන් ලූනු අස්වැන්න පහළ වැටුණි. ඊට දේශගුණික කාලගුණික සාධක ඇතුළු තවත් සාධක රුසක් බලපෑවේය. අවසාන ප්‍රතිඵලය වූයේ ලොකු ලූනු නිෂ්පාදනය පහත වැටීමෙන් පසු මාස තුනක් වැනි කාලයක් තුළ එරට ලූනු මිල දෙගුණයකට වඩා ඉහළ යෑමයි.
දේශීය වෙළෙඳපොළ තුළ ඇතිවූ මෙම අර්බුදය වළකා ගැනීම සඳහා ඉන්දියාව භාවිත කළ මිල පාලන න්‍යාය ලොකු ලූනු අපනයන තහනමයි. මෙම තහනම 2024 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇති බව ජාත්‍යන්තර පුවත් සේවා කිහිපයක්ම වාර්තා කර තිබුණි. ඒ අනුව ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ප්‍රමුඛ රටවල් ගණනාවක් විශාල කරදරයකට දැන් මුහුණ පා සිටියි.
මේ වනවිට ශ්‍රී ලංකාව ලූනු අර්බුදයෙන් මිදීමට අනුගමනය කරමින් සිටින විකල්ප කිහිපයකි. ඉන්දියාව සමඟ තානාපති මට්ටමේ සාකච්ඡා පැවැත්වීම හා පාකිස්ථානයෙන් සිදුකෙරෙන ආනයනය වැඩි කිරීම ඒ අතරින් ප්‍රධානය. එසේම ශ්‍රී ලංකාවේ ලොකු ලූනු ගොවීන් දිරිමත් කිරීමටද ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටින බව පෙනී යයි.
කෙසේ වෙතත් මෙම ක්‍රියාමාර්ග විටෙක අශ්වයා පලා ගිය පසු ඉස්තාලය වසා දැමීම හා සමානය. ලංකාවේ වගාව වැඩිදියුණු කිරීම සම්බන්ධව මීට බොහෝ කලකට පෙර සිටම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර සාකච්ඡා පැවතුණි. එහෙත් ඊට බලධාරීන්ගේ නිසි අවධානයක් යොමු වූයේද යන්න ගැටලුවකි.
දැනට අනාවරණය වී ඇති දත්ත අනුව ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 280,000ක් පමණ වේ. මෙරට සාමාන්‍ය ලොකු ලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 125,000ක් පමණ බව කියැවේ. එහෙත් වර්ෂාව, පොහොර හිඟය සහ මිල ඉහළ යෑම වැනි විවිධ හේතු මත පසුගිය සමයේ මෙරට ගොවීහු ලොකු ලූනු වගාවෙන් ඉවත් වූහ. දැනට වාර්තා වන පරිදි 2023 වසරේ මෙරට ලොකු ලූනු අස්වැන්න මෙට්‍රික් ටොන් 7851ක් දක්වා අඩු වී තිබේ.
මේ අනුව ඉන්දියාවෙන් සහ පාකිස්ථානයෙන් ලූනු ආනයනය කිරීම මිස වර්තමාන අර්බුදය ඉක්මනින් විසඳාලිය හැකි වෙනත් විකල්පයක් නොමැත. කෙසේ වෙතත් මෙරට ලූනු ගොවිතැන පිළිබඳ යථාර්ථය දැන් බලධාරීන්ට පසක් වී තිබේ. යල කන්නයේදී වැඩි අස්වැන්නක් ලබාගැනීම සඳහා දඹුල්ලේ ලොකු ලූනු බල්බ කිලෝග්‍රෑම් 75000ක් නුවරඑළියේදී වසන්තීකරණයට ලක්කළ බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා පවසා තිබුණි.
මෙම ක්‍රියාවලිය මගින් හොඳ තත්ත්වයේ ලොකු ලූනු බීජ කිලෝග්‍රෑම් 75,00ක් ලබාගැනීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි. පසුගියදා සමාජ මාධ්‍යයේ අප දුටු එක් සටහනකට අනුව ලූනු බීජ සම්බන්ධ විදේශීය පුහුණුවක් පවා ලැබූ මහවැලියේ නිලධාරියකු මෙවන් කතාවක් කියා තිබුණි.
''අද හැමෝගෙම මාතෘකාවක් නිසා නිකමට වගේ මතක් වුණා. මහවැලිය හැමදාම ගොවීන්ට ස්වයං බීජ නිෂ්පාදනයට යන්න කීවා. ඉගැන්නුවා. මම බුනෑවේ අවු 08යි. ක්ෂේත්‍ර දින අවු.01ක් බැගින් කරලා තියෙනවා. අපේ කලාපයේ ගොවීන්ට අත්දැකීම් හුවමාරු වැඩසටහන් කරනවා. අපි හැමදාම හැමෝටම කීවා ස්වයං බීජ නිෂ්පාදනයට යොමුවෙන්න කියලා. ගොවීන් මේ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා නම් ලොකු ලූනු 500ට අරගන්න ඕනෑ නෑ.
මහවැලියෙන් දෙන දායකත්වය මේ සඳහා අපරිමිතයි. මේ වතාවේ ලංකාවේ අපි විතරයි මේ විදියට මාස් කන්නයේ ලූනු බීජ වගා කරන්නේ. (දන්නා පරිදි, මහඉලුප්පල්ලම ගොවිපොළ හැරුණුවිට සුළු ප්‍රමාණයක්) බීජ නිෂ්පාදනය වගේම මාස් කන්නයේ අල වගාවද යම්තාක් දුරට සාර්ථක කරගත හැකියි. බීජ අපි ගාව දැනටමත් තියෙනවා. ගොවීන් ස්වයංපෝෂිත වීම ආරම්භ කළ යුතුයි.''
මෙවන් වටපිටාවක ලොකු ලූනු පිළිබඳ යථාර්ථය මහජනතාව පසක් කරගත යුතුය. කෙසේ වෙතත් මේ වනවිට ඉන්දියාවද සිය අපනයනය තහනම සම්බන්ධව යම් තැති ගැනීමක සිටින බව නවදිල්ලි පුවත් වාර්තා සඳහන් කරයි. එම තත්ත්වය ඉන්දියානු පුවත් සේවයක් මෙසේ වාර්තා කර තිබුණි.
''ඉන්දියාවේ අපනයන තහනමෙන් පසු, එම අසල්වැසි රටවල ලූනු මිල අහස උසට නැඟ තිබේ. නේපාලය සහ අනෙකුත් අය ඉන්දියානු ලූනු සඳහා විකල්ප තක්සේරු කිරීමට පටන් ගැනීමත් සමඟ එහි නිෂ්පාදන සඳහා ස්ථාපිත ජාත්‍යන්තර වෙළෙඳපොළක් ඉන්දියාවට අහිමි වන්නේදැයි ප්‍රශ්න මතු වී ඇත. ඒ අතරම, ලාභ අපේක්ෂාවෙන් වගා කළ ගොවීහු දේශීය මිල පහත වැටීම නිසා කනස්සල්ලට පත්ව සිටිති.''
වර්තමානයේ දේශීය වෙළෙඳපොළ මුහුණ දී සිටින ලොකු ලූනු අර්බුදය විශාල කරදරයක් නොවීමට වගබලා ගැනීමේ හැකියාව සැබැවින්ම මෙරට වගකිවයුත්තන් සතුය. දේශීය ගොවිතැන ශක්තිමත් කිරීම ඊට හොඳම විකල්පයයි. ඉන්දියානු ලූනු කෑම නවතා දැමිය යුත්තේ ඉන් අනතුරුවය.
I චමිඳු නිසල් ද සිල්වා