දෘෂ්ටි මායාවක් යන වචනයට වඩා ඇස්බැන්දුමක් යන වදන බොහෝදෙනා දනිති. මෙරට ජනතාව සැබෑ ලෙසම ඇස්බැන්දුම් දැක නැතත් දේශපාලන ලෝකයේ නම් ඇස්බැන්දුම් දකින්නේ අදක ඊයෙක නොවේය. කෙතරම් ඇස්බැන්දුම් දිනපතා දුටුවත් එයින් දේශපාලකයන්වත් මහජනතාවවත් අධෛර්යවත් වන්නේද නැත. එහෙත් අමුතු ආකාරයක ඇස්බැන්දුමක් මෑතකදී වාර්තා විය. අපේ රටේ පළමුවැනි වතාවට වාහනයක් කන්දක් මතට නිදහස් ගියරයක ධාවනය වන අයුරු දර්ශනය වන දෘෂ්ටි මායාවක් සහිත ස්ථානයක් පිළිබඳ අනාවරණය වූයේ මෑතකය. මෙම මාර්ගය හමුවන්නේ මොරගහකන්ද ජලාශය ආසන්නයේය. සුන්දර පරිසරයක හරිත වටපිටාවක මොරගහකන්ද ප්‍රදේශයේදී මෙම මාර්ගය හමුවෙයි. මෙම අත්දැකීම විඳිමින් මෙම විස්මිත මාර්ගය දැකබලා ගැනීමට කොළඹ සිට ගමන් කරන්නකුට නම් මීරිගම කුරුණෑගල මඩවලඋල්පත හරහා නාඋල දක්වා ගමන් කළ හැකිය. ඉන්පසු නාඋල සිට ඇළහැර හෙට්ටිපොළ මාර්ගයේ කිලෝමීටර 23ක් ගියවිට මොරගහකන්ද ජලාශය හමුවන අතර ඒ ආසන්න පල්ලෙගම ප්‍රදේශයේදී මෙම මාර්ගය හමුවන්නේය.
මෙම ස්ථානය පසුකරමින් එහා මෙහා ගිය පිරිස ඕනෑතරම් සිටින්නට පුළුවන. ඒත් මේ ගැන මුල්වරට ඕනෑකමින්ම සොයාබැලුවේ මාර්ග ඉංජිනේරුවකු නොවේ. ඔහු හමුදා නිලධාරියෙකි. ඒ යුද හමුදාවේ හිටපු කර්නල්වරයකු වූ රත්නප්‍රිය බන්දු මහතාය.
“මම කුඩා කාලයේ ඉඳන් වෙනස් විදිහකට හැමදේම දකින්න පුරුදු වුණු කෙනෙක්. වෙනස් දෙයක් කරන්න හුරුවුණු කෙනෙක්. ඉතින් මට මේ පාර ගැන අහන්න ලැබුණාම මම මේ ගැන සොයා බලන්න හතරවතාවක් තකහනියක්ම මේ තැනට ගියා. මේ තැනට ගියාම පේන්නෙ කන්ද. හැබැයි ඇත්තටම තියෙන්නේ පල්ලමක්. කන්දක් සේ පෙනෙන ප්‍රදේශයෙන් පසු කොටසේ මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැන්වීම් පුවරුවක් ගසා තිබෙනවා පල්ලමක් කියලා. එතැන හැබෑවටම පෙනෙන්නේ කන්දක්. වාහනයක යද්දී කන්ද ආරම්භයේ ගියරය නිදහස් කළාම (Neutral) වාහනය ඉදිරියට ගමන් කරන අත්දැකීම මට වගේම ඕනෑ කෙනකුට විඳගන්න පුළුවන්. මේ සංසිද්ධිය දැක්කාම මට මේක රටට කියන්න ඕනෑ කියලා හිතුණා. මට මේ ගැන රටටම කියන්න වුවමනා වුණේ කාරණා දෙකක් නිසා. එකක් මේ ස්ථානය ජනප්‍රිය වුණාම මෙතැන සංචාරක ආකර්ශන ස්ථානයක් බවට පත් කරන්න පුළුවන්. අනෙක් කාරණය ඒ වගේම ජනතාවගේ හිත්වල තියෙන කුකුස නැති කරන්න මට වුවමනා වුණා. ඒත් මේක වඩා වගකීමෙන් කියන්න මට වඩා මේ විෂය ගැන පුළුල් දැනුමක් තියෙන මහාචාර්ය අතුල සේනාරත්නට මම මුලින් කිව්වා. ඔහු දැනුවත් කළේ ඒ නිසා.”
කර්නල් රත්නප්‍රිය බන්දු යන නාමය මෙරට බොහෝදෙනාට අමතක නොවන නාමයකි. යුද හමුදා නිලධාරියකු උතුරෙන් දකුණට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේදී මල්මාලා පළඳවමින් ගරු බුහුමන් ලබමින් 2018 වසරේදී දමිළ ජනතාවගේ කර මතින් යන්නට වරම් ලැබුවේ ඔහුය.
ඔහුගේ දැනුම්දීම අනුව මෙම මාර්ගය පරීක්ෂා කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා ගොස් ඇත්තේ ඉන් පසුවය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ විද්‍යා අධ්‍යයනාංශයේ සම්මානිත මහාචාර්ය අතුල සේනාරත්න මහතා පැවසුවේ මෙවැන්නකි.
“මට මේ ගැන කිව්වාම මම මුලින්ම මේ ස්ථානය ගැන ගූගල් සිතියමේ සැටලයිට් හරහා විමසුමක් කළා. ඒකෙදි මට පෙනුණෙ මෙතැන ඇත්තටම තියෙන්නේ පල්ලමක් (Down slope). ඒත් මෙතැන බැලූ බැල්මට කන්දක් තියෙනවා කියල පේනවා කියලා කිව්ව නිසා මම මේ ගැන සොයා බලන්න ගියා. මේ වගේ ස්ථාන පිටරටවලත් තියෙනවා. මේ වගෙ තැනක් ගැන ඇහුවාම ගොඩක් අයට කුතුහලයක් මතුවෙනවානෙ. ඉතින් ඒ කුතුහලය නැති කරන්න මගේ දැනුම අනුව මම මගේ යුතුකම කළා. මේක දැක්කාම පුදුමයක් කියලත් හිතෙනවා. මේක ගිහින් බැලුවාම මට පැහැදිලිවම කියන්න පුළුවන් අවට පරිසරය සමග කන්දක් වගේ පෙනුණාට මෙතැන පැහැදිලිවම තියෙන්නේ පල්ලමක්.” යැයි මහාචාර්යවරයා පැවසුවේය.
මෙම ස්ථානය පරීක්ෂාවට ගිය තමන් මෙම කන්ද සේ දිස්වන ආරම්භයේදී ප්ලාස්ටික් වතුර බෝතලයක් පාරේ තැබූ බවත් එහිදී කන්ද මුදුනට වතුර බෝතලය පෙරුළීගෙන යන අයුරු දකින්නට හැකි වූ බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසුවේය. මෙම මාර්ග කොටස බැලූ බැල්මට කන්දක් සේ පෙනෙන්නේය. කඳු කොටසින් පසු කොටසේ මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග ඉංජිනේරුවන් පල්ලමක් ඇති බව දැක්වෙන දැන්වීම් පුවරුවක්ද දමා ඇති බවද දැකිය හැකිය.
සංචාරක කර්මාන්තය දියුණු කරමින් පවතින කාලවකවානුවක මෙවැනි නවමු ආකර්ශනීය ස්ථාන බලධාරීන්ට ඉල්ලම් ලෙස දිස්විය යුතු බව අපි සිතමු.
I සසංක චලන ගිම්හාන