2024 ජනවාරි 06 වන සෙනසුරාදා

කතිර සටනට අලුතෙන් බසින දමිළ ඩයස්පෝරාව

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 128

2024 වසර මැතිවරණ වසරක් යැයි ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාය. පසුගියදා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙකම 2024 වසරේ දී පවත්වන අතර අනෙක් මැතිවරණ ද ඉන් අනතුරුව පවත්වන බවයි.

ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දෙමළ අපේක්ෂකයකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන සුභාෂ්කරන් අලිරාජා කටයුතු කරමින් සිටින බව අප පුවත්පත පසුගිය සතියේ වාර්තා කළේය.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ද වන සුභාෂ්කරන් අලිරාජා මෙරට දේශපාලන කටයුතු ආරම්භ කිරීම සඳහා දේශපාලන පක්ෂයක හිමිකාරිත්වය ලබාගෙන ඇතැයි ද එම වාර්තාවේ සඳහන් විය. ඔහු විසින් අත්පත් කරගෙන ඇති දේශපාලන පක්ෂය ”අරුණලු පීපල්ස් එලයන්ස්” නම් වතුකර දේශපාලන පක්ෂයක් වන අතර, එහි සභාපති හා මහලේකම් ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ඒ.ආර්. ක්‍රිෂාන් මහතා බවද එම පුවතේ සඳහන් විය.

දෙමළ ඩයස්පෝරාව සමඟ සමීපව දේශපාලනය කරන සුභාෂ්කරන් අලිරාජා මෙම පක්ෂය අත්පත් කරගෙන ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණය සඳහා උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කිරීමට සුදුසු ජනාධිපති ධූර අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ අරමුණින් බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කර තිබූ අතර, ඊට අදාළව නුදුරේදීම පුළුල් මාධ්‍ය මෙහෙයුමක් දියත් කිරීමට ඔහු සැලසුම් කර ඇතැයි ද වාර්තා විය.

මෙම පුවත සම්බන්ධයෙන් True news වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ සුභාෂ්කරන් අලිරාජාගේ එවැනි කිසිදු සූදානමක් නොමැති යැයි ඒ මහතා සභාපතිත්වය දරන සියලු සමාගම් අවධාරණය කර ඇති බවටය. මෙරට ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට හෝ ඒ සඳහා මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීමට කිසිදු සූදානමක් සුභාෂ්කරන් අලිරාජා තුළ නොමැති යැයි එම සමාගම් අවධාරණය කර තිබිණි.

එම පුවත සත්‍ය වුවද අසත්‍ය වුවද දෙමළ ඩයස්පෝරා සාමාජිකයන් පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණ විවිධ කටයුතුවලට සම්බන්ධ වූ බවට වාර්තා විය. කැනඩාවේ ජීවත් වන දෙමළ ඩයස්පෝරාවේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වන රෝයි සාමදානම් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ සමග අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක ජාතික සංහිඳියාව ගොඩනැංවීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් පසුගිය ජූනි මාසයේ සාකච්ඡාවක නිරත විය. මෙරට යුද ගැටුම් පැවැති සමයේ රට හැර ගිය දෙමළ ජනතාව අතර සංහිඳියාව ඇතිකර ගැනීමේ අවශ්‍යතාවයත්, නැවත එවැනි ගැටුම් ඇතිවීම වළක්වා ගනිමින් සමගියෙන් ජීවත්වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කර ගැනීම සහ සාමය ගොඩනැගීමේ කටයුතු විධිමත්ව කරගෙන යාමේ අවශ්‍යතාවයත් රෝයි සාමදානම් විසින් එම සාකච්ඡාවේදී අවධාරණය කර තිබිණි.

මේ අතර ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන් සහ යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වන සංඝ සංසදයේ හිමිවරුන් පිරිසක් ප්‍රජා සුභසාධනය සඳහා දෙමළ සහ සිංහල නියෝජිත පිරිසක් එක්ව සැකසූ “හිමාලයා ප්‍රකාශනය” නමැති ප්‍රකාශනයක් පසුගිය දෙසැම්බර් මාසයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබිණි. බහුත්වවාදී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම වෙනුවෙන්, ඉතිහාසයේදී උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කරමින් මෙම ප්‍රකාශනය සකසා ඇතැයි වාර්තා විය. 

දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දෙමළ අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට ජාත්‍යන්තර ව්‍යාපාරිකයකු වන ලයිකා මොබයිල් ආයතනයේ හිමිකරු සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා ද වන සුභාෂ්කරන් අලිරාජා සූදානම් වන බවට වන පුවත පළවූයේ මේ අතරය.

පසුගිය දෙසැම්බර් 26 දින මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක සී.වී. විග්නේස්වරන් ප්‍රකාශ කර තිබුණේ ජනාධිපතිවරණය සඳහා දෙමළ පක්ෂ තනි තනිව අපේක්ෂකයන් ඉදිරිපත් නොකර දෙමළ පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම වැදගත් වන බවයි. දකුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ හතරක සාමාජිකයන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කර ඇති බැවින් ඔවුනට 50෴කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට අසීරු බවද ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජයගැනීමට ඇති ඉඩකඩ අවම බැවින් තමන් දෙමළ පොදු අපේක්ෂයා ලෙස ඉදිරිපත් වුවහොත් වැඩි වාසියක් අත්පත් කරගත හැකි බවද ඔහු සඳහන් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස පත්වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත් වීම මත පුරප්පාඩු වූ ඔහුගේ ඉතිරි කාලය ආවරණය කිරීම සඳහා අනුප්‍රාප්තිකයා වශයෙනි. ඔහු ජනාධිපති ධූරයට පත්වූයේ ජනවරමකින් නොව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 134 දෙනකුගේ ඡන්දයෙනි. පළාත් පාලන හා පළාත් සභා මැතිවරණය කල් දැමූ පරිදි මේ වසරේ පැවැත්විය යුතු ජනාධිපතිවරණය කල් දැමිය නොහැකිය. එලෙස කල් දමන්නේ නම් ඒ සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කළ යුතුය. ඒ අනුව මේ වසරේ සැප්තැම්බර් 17ත් ඔක්තෝබර් 17ත් අතර දිනයක ජනාධිපතිවරණ පැවැත්විය යුතුය.

මේ වන විට සමගි ජන බලවේගය තම අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ද, ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර දිසානායක ද, එක්සත් ජාතික පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) තවමත් තම අපේක්ෂකයා නම් කර නොමැති අතර නම් හතරක් සලකා බලමින් සිටින බවද ඉන් එක් නමක් ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා බවද එම පක්ෂයේ ලේකම්වරයා පසුගිය දිනෙක සඳහන් කර තිබිණි. මේ අතර තවත් චරිත කිහිපයක්ම ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව පෙනේ. ඒ අතර මාධ්‍ය ආයතන ප්‍රධානියකු වන දිලිත් ජයවීර, මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක හා පසුගියදා ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ හෙළිදරව් කිරීම නිසා තම අමාත්‍ය ධූරය අහිමි වූ රොෂාන් රණසිංහ වැනි අයගේ නම් ද කියැවෙයි. සුභාෂ්කරන් අලිරාජා දෙමළ ඩයස්පෝරාවේ සහාය ලබන අපේක්ෂකයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවට රාවයක් පැතිර යන්නේ මේ අතරය. 

විග්නේස්වරන් මන්ත්‍රීවරයා සඳහන් කරන පරිදි මෙවර ජනාධිපතිවරණයෙන් එක් අපේක්ෂකයකුට 50෴ ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීම තරමක් දුෂ්කර කාර්යයකි. මේ වන විට රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය සහ බදු බර හේතුවෙන් ජනතාවට සියලු දේශපාලන පක්ෂ තිත්ත වී තිබේ. ජනතාව කියන්නේ රටට ආදරය කරන, වංචාවෙන් සහ දූෂණයෙන් තොර පුද්ගලයකු ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු බවටය. ඉංග්‍රීසින්ගෙන් නිදහස ලබා වසර 75කට අධික කාලයක් ගතවී ඇතත් නිදහස ලබන විට රටේ පැවැති සෞභාග්‍ය දේශපාලකයන් විසින් සොරාගෙන ඇතැයි ඔවුහු පවසති. එහෙත් සියලු පක්ෂ කියා සිටින්නේ තමන් ඉහළ ජනවරමක් ලබාගන්නා බවටය. කවුරු කෙසේ පැවසුවද අවසාන තීරණය ඇත්තේ ජනතාව අතය. ඒ ඔවුන්ගේ කතිරය සියලු අපේක්ෂකයන්ගේ ඉරණම තීන්දු කරන බැවිනි.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02