2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ආගමට මුවා වී මරාගෙන මැරුණු ’’දේශකයාණෝ’’

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 243

දිව්‍යලෝකයට යාමට මිහිපිට ජීවිතය අත්හරින්නැයි විකෘති මතවාදයක් ප්‍රචාරය කොට හය දෙනකුට සියදිවි නසාගන්නට පෙළඹවූ සෝවාන් ඵල ලැබූවකු ලෙසින් පෙනී සිට රට පුරා දේශන පැවැත්වූ අයකුගේ මුලාවට හසුවූ අනුගාමිකයන් දිවයින පුරා සිටින බව අනාවරණය වී තිබේ. සියදිවි නසාගැනීමෙන් මාර්ග ඵල ලැබෙන බව කියා මොළය විකෘති කළ මොහුගේ අනුගාමිකයන් සොයා ආරක්ෂක අංශ විමර්ශනයක් අරඹා තිබේ. මොහුගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටී නම් ඒ පිළිබඳ තොරතුරු ළඟම පොලිසියට ලබා දෙන ලෙස මාලබේ පොලිසිය ඉල්ලීමක් කරයි.

මෙම දේශකයාගේ මග යමින් දේශකයාගේ සියදිවි නසාගැනීමෙන් පසුව එම අවමංගල්‍යයට සහභාගී වී ගිය දෙදෙනකු වස පානය කොට සියදිවි නසාගෙන ඇති බව පොලිසිය තහවුරු කරගෙන ඇත. මේ දෙදෙනා යක්කල ප්‍රදේශයේ තරුණියක හා අම්බලන්ගොඩ ප්‍රදේශයේ තරුණයකු වන බව වාර්තා වේ.

වස පානය කර මිය යන්නට ඇති බවට සැක කෙරෙන මවක සහ දරුවන් තිදෙනකුගේ මළසිරුරු මාලබේ පිට්ටුගල කහන්තොට ප්‍රදේශයේ නිවෙසක තිබී සොයාගැනුණේ අලුත් අවුරුද්දක් එළඹෙන්නට දවසක් තිබියදීය. සිද්ධියෙන් තැතිගත් ප්‍රදේශවාසීහු කිසියම් වස වර්ගයක් පානය කොට සියදිවි නසාගෙන ඇතැයි සිතූ එම මරණ ගැන පොලිසියට දැන්වූහ. මාලබේ පොලිසිය ස්ථානීය පරීක්ෂාවක් සිදුකරමින් කඩිනම් විමර්ශනයක් ආරම්භ කළේය. පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව ඒ පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා නියෝග කළ බව මාලබේ පොලිසිය වාර්තා කළේය.

මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි උදාරි සේනාරත්න නැමැති කාන්තාවක හා ඇගේ දරුවන් තිදෙනාය. ඔවුහු වයස අවුරුදු 09 සහ 08 වැනි වියේ පසුවන ප්‍රතාප ගුණරත්න හා ආර්ය ගුණරත්න යන පිරිමි දරුවන් දෙදෙනා හා 06 හැවිරිදි ප්‍රභාවී ගුණරත්න දැරිය වෙති. පොලිස් විමර්ශන අනුව සිද්ධිය වාර්තා වූයේ මෙසේය. 

මියගිය කාන්තාව දරුවන් තිදෙනා හා සැමියා සමඟ තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ මාකුඹුර ප්‍රදේශයේ සුපිරි මහල් නිවෙසකය. රුපියල් ලක්ෂ එකහමාරක පමණ මාසික මුදලක් ගෙවා එහි කුලියට සිට ඇතැයි පැවසෙන අතර ඔවුන් අවුරුදු එකහමාරක පමණ කාලයක් එහි රුඳී සිට ඇතැයි කියති. මියගිය දරුවන්ගේ පියා රුවන් ගුණරත්න නැමැත්තෙකි. ඔහුගේ දෙවැනි කසාදයේ බිරිය මියගිය උදාරි සේනාරත්න බව කියැවේ.

රුවන් ගුණරත්න නැමැත්තා බෞද්ධයෙකි. ඔහු රුකියාවක නිරතව නැති නමුත් 2012 වසරේ පටන් බුදුදහම මූලික කොටගත් දේශනා සිදුකරමින් ජීවිකාව ගෙන ගිය අයෙකි. මේ සඳහා සදහම් සෙවණ නමින් ෆේස්බුක් පිටුවක් ඔහු පවත්වාගෙන ගොස් තිබිණ. ඔහු තමා වටා රුස්වූ අනුගාමිකයන් පිනට දෙන මුදලින් සුපිරි ජීවිතයක් ගත කළ කෙනෙකි. මොහු අනුගාමිකයන්ට පවසා ඇත්තේ තමා සෝවාන් ඵලය ලැබූවකු බවය.  ඔහු බුදු දහමේ නියම ධර්ම කරුණු කියා දී ඇති බවද පැවසේ. කෙසේ වෙතත් ඉකුත් දෙසැම්බර් 28 වැනිදා යම් විෂ වර්ගයක් පානය කොට ඔහු මිය ගොස් තිබුණේ කුලී නිවෙසේ සිටියදීය.

එම කුලී නිවෙසේ අවසන් කටයුතු සිදුකිරීමට නොහැකි බැවින් සිය සොහොයුරකු පදිංචිව සිටි මාලබේ කහන්තොට පාරේ අරුණ පෙදෙස නිවෙසකදී ඔහුගේ අවසන් කටයුතු සිදු කර ඇත. ඒ පසුගිය 30 වැනිදාය. මියගිය අයගේ බිරිය හා දරු තිදෙනා එදින එම නිවෙසේ කාමරයක නින්දට ගොස් තිබුණි. නිවැසියන් නින්දේ පසුවූ රාත්‍රී 11ට 12ට පමණ මියගිය අයගේ බිරිය හා දරුවන් නිදා සිටි කාමරයෙන් කහින ශබ්දයක් ඇසී ඇත. නොනවතින එම කැස්ස දෙතුන් දෙනාටම පවතින බව නිරීක්ෂණය වීම නිසා නිවැසියන් අවදි වී ඒ ගැන සොයා බලා තිබුණි. කාමරයේ දොර අගුළුලා තිබූ බැවින් දොර කඩා කාමරයට ගිය අයට මොවුන් අසාධ්‍ය තත්ත්වයෙන් බිම වැටී සිටින බව දැකගැනීම ලැබිණි. එබැවින් පිරිස වහාම නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් කෙරිණි. එහිදී වෛද්‍යවරුන් පවසා තිබුණේ ඔවුන් මියගොස් ඇති බවකි.

සැක කටයුතු මරණ ගැන මාලබේ පොලිසියට තොරතුරු වාර්තා වූයේ මේ අතරය. මාලබේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක සමඟ අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයමහ මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ. එහිදී අධිකරණයට කරුණු වාර්තා කොට අපරාධ ස්ථානීය පරීක්ෂාවක් සිදු කෙරිණි. එහි තිබී හමුවූ විෂ රසායන ද්‍රව්‍ය කුමක්ද? සොයා බැලූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළේය. ඒ ගැන විවෘත තීන්දුවක් ලබා දී තිබූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමුකර ඇත.

පොලිස් පරීක්ෂණ අනුව බිරිය හා දරුවන්ගේ මරණ සැමියාගේ රුකවරණය අහිමිවීම නිසා ආර්ථික ගැටලු මත සිදුකර ගන්නට ඇතැයි සැක කෙරේ. මේ මරණ හතරත් සමඟ තවත් සියදිවි නසාගත් සැක කටයුතු මරණ තුනක් වාර්තා වූ බව මාලබේ පොලිසිය වාර්තා කළේය. ඒ අනුව ගම්පහ යක්කල හා මහරගම ප්‍රදේශවලින් එම සිදුවීම් වාර්තා විය. මේ අතර කාන්තා මරණ දෙකක් හා පිරිමි මරණයක් වෙයි. මේ මරණ ද දහම උගන්වා සියදිවි නසාගත් අයගේ ඉගැන්වීම හා දැඩි ආගමික ලබ්ධිය නිසා සිදුකරගෙන ඇති බව හෙළි වී තිබේ. ඊට සම්බන්ධ වූ හිමිනමක හඳුනාගත් පොලිසිය උන්වහන්සේ මාර්ගයෙන් සෙසු පිරිසට යථාර්ථය පහදා දීමට කටයුතු කරමින් සිටියි. මෙම විමර්ශනයේදී හෙළිවී ඇත්තේ මියගිය රුවන් ගුණරත්න නැමැත්තා ගාල්ල, අනුරාධපුර, කුරුණෑගල වාරියපොළ, හෙට්ටිපොළ පොළොන්නරුව ඇතුළු ස්ථාන කිහිපයක දේශනා සිදුකර ඇති බවය.

මේ අතර කහන්තොට නිවෙසේ මව හා දරුවන්ගේ මරණවලට හේතුව මූල්‍ය ප්‍රශ්නයක්  වන්නට ඇතැයි ද සැක කෙරේ. මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
 
I සමන්ත ප්‍රදීප් විල්තෙර