2024 ජනවාරි 06 වන සෙනසුරාදා

රාජ්‍ය සේවයේ බොක්කටම වදින නිවාඩු කප්පාදු යෝජනා

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 194

''රජයේ නිවාඩු අඩුකිරීමේ තීරණය ක්‍රියාත්මක කළ යුත්තේ මල නොතලා රොන් ගන්නා ආකාරයෙන්. අපි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විදිහට මෙයට පෙර පැවති රජයට යෝජනා කළා නිවාඩු අඩු කරනවා නම් රාජ්‍ය සේවකයන්ට යම්කිසි දිරි දීමනාවක් ලබා දිය යුතුයි කියලා. නිවාඩු 25ක් කරනවා නම් දින 25 සිට 40 දක්වා නොගන්නා නිවාඩුවලට දිරි දීමනාවක් හෝ වැටුප් වර්ධකයක් ලබා දිය යුතු බව. නමුත් ඒවා ක්‍රියාත්මක නොකර එක්වරම නිවාඩු අඩු කළහම වෘත්තිය සමිති මේකට එරෙහි වේවි. විරෝධතා පැන නගීවි. 

අනිත් කාරණය යම්කිසි රජයක් ප්‍රතිපත්තිමය තීරණ ගන්නේ ජනතා ප්‍රසාදය පවතින කාලෙක මිසක් අප්‍රසාදයක් සහිත කාලෙක නොවෙයි. මේ වගේ කාලෙක මෙවැනි තීරණ ගැනීම සුදුසු නෑ.'' යැයි දේශය සමඟ රජයේ සේවකයන්ට නිවාඩු අඩුකිරීමට ගත් තීරණය ගැන අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපති ප්‍රදීප් රත්නායකය. 

රජයේ නිලධාරීන්ට දැනට වසරකට දින හතළිස් පහක අනියම් හා විවේක නිවාඩු සංඛ්‍යාවක් හිමිවේ. එම නිවාඩු දින සංඛ්‍යාව විසිපහ දක්වා අඩුකිරීම සඳහා ආයතන සංග්‍රහයේ විධිවිධාන සංශෝධනය කරන ලෙස විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් විවෘත හා වගකිව යුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කර තිබේ. එසේ නිවාඩු අඩු කරන ලෙස යෝජනා කර ඇත්තේ අනියම් නිවාඩු දින දහයක් සහ විවේක නිවාඩු පහළොවක් ලෙසයි.
විශ්‍රාම වැටුප් වියදම රාජ්‍ය වියදමෙන් සියයට එකොළහයි දශම හතරක් බවත් එම වියදම් කළමනාකරණය කිරීම සඳහා සමස්ත රාජ්‍ය අංශයම දායක විය යුතු බවත් සඳහන් කරමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා තවත් යෝජනා හතළිහක් ඉදිරිපත් කර තිබේ. රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ උපරිම වයස් සීමාව අවුරුදු හතළිස් පහේ සිට​හතළිහ දක්වා පහත හෙළා බඳවා ගැනීම සීමා කරන ලෙසත් මෙම වසරේ සහ ලබන වසරේ විශ්‍රාම ලබන්නන් විශ්‍රාම පාරිතෝෂික මුදල් වාරික වශයෙන් ගෙවීමටත් ඔහු යෝජනා කර ඇති කරුණකි. 

මේ වන විට රාජ්‍ය සේවකයකුට අවුරුද්දකට උපරිම වශයෙන් දින 24ක විවේක නිවාඩු ලබාගත හැකිය. සතියේ දින හතක් වැඩ කිරීමට නියම වී ඇති වෛද්‍ය, හෙද, පොලිස් වැනි නිලධාරින්ට එම සංඛ්‍යාව දින 28කි. අවුරුදු දෙකක පාවිච්චියට නොගත් විවේක නිවාඩු ඊළඟ අවුරුද්දේ ලබාගත හැකිවේ. එසේ අවුරුද්දකට උපරිම ලෙස නිවාඩු 48ක් ලබාගැනීමට හිමිකම ලැබේ. ඊට අමතරව ස්ථිර විශ්‍රාම වැටුප් අහිමි රාජ්‍ය සේවකයන්ට රාජකාරිය අතරතුරදී හෝ සේවය නිමකර නිවස බලා යාමේදී හදිසි අනතුරකට ලක් වුවහොත් වෛද්‍ය නිර්දේශ මත අවුරුද්දක් දක්වා වැටුප් සහිත නිවාඩු අනුමත කිරීමට අමාත්‍යංශ ලේකම්ට හැකිය. තවත් මාස 6ක් දක්වා අඩ වැටුප් අනුමත කළ හැකිය. මේවා කියවන ඔබට රාජ්‍ය සේවකයා යනු නිවාඩු කන්දක් බව සිතිය හැකිය. රටේ නිෂ්පාදන ක්‍රියාවලියට දායක වන පෞද්ගලික අංශයේ සේවකයාට හිමිවන්නේ විවේක නිවාඩු 14ක්, අනියම් නිවාඩු 7ක් සහ අසනීප නිවාඩු 14ක් පමණි. බොහෝ ආයතනවල දිනපතාම වැඩ කිරීම මිස ඒ නිවාඩු ලබාගැනීමටද අපහසුය. ඊට අමතරව පෞද්ගලික අංශයට හිමි නොවන රජයේ නිවාඩු දිනවල ගෙදර සිටීමටත් රාජ්‍ය සේවකයාට පුළුවන. ආණ්ඩුවට බදු ගෙවමින් රටේ ආර්ථික ක්‍රියාවලියට දායක වන්නේ පෞද්ගලික අංශයයි. අයවැයෙන් වැටුප් වැඩිවීමක් ද පෞද්ගලික අංශයට හිමි නොවේ. ඒ අනුව රජයේ සේවකයාට නිවාඩු වැඩි යැයි පෞද්ගලික අංශයේ සේවකයාට හිතෙන එක පුදුමයක් නොවේ. 

නමුත් නිවාඩු අඩුකිරීමේ යෝජනාව ගෙනැවිත් ඇත්තේ රටේ සංවර්ධන යෝජනා ලෙස නොව මොන අන්දමින් හෝ ආණ්ඩුවේ වියදම අඩුකර ගැනීමට බව පැහැදිලිය. අඩු වැටුපකට කඹුරන රාජ්‍ය සේවකයා නිවාඩු අඩුකිරීමේ යෝජනාවෙන් කැළඹීමට ලක්වනු ඇත. දූ දරුවන්ගේ ලෙඩ රෝග, ගෙදරදොර වැඩවලට ලබාගන්නා නිවාඩු මේ නිසා සීමා වනු ඇත. ලෝකයේ අනෙක් රටවල් හා සසඳන විට ලංකාවේ රාජ්‍ය සේවක නිවාඩු වැඩි බව ඇත්තය. නමුත් අනෙක් රටවල රජයෙන් ලබාදෙන වරප්‍රසාද අපේ රටේ හිමි නොවේ. එක දිගට වැඩ කරන යුරෝපීය රටවල රාජ්‍ය සේවකයන් විවේක නිවාඩු ගෙන රට රටවල සංචාරය කරති. අපේ රාජ්‍ය සේවකයා මහනුවර දළදා වඳින්නට පවා යන්නේ අමාරුවෙනි.

අනියම්, තාවකාලික, ආදේශක, කොන්ත්‍රාත් සහ සහන ආදී පදනමින් සේවය කරමින් සිට වයස අවුරුදු හතළිස් පහ ඉක්මවා රාජ්‍ය සේවයට බඳවාගෙන ඇති සහ ස්ථිර කර ඇති නමුත් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු පනස් පහේදී මාස එකසිය විස්සක ස්ථිර සේවා කාලය සම්පූර්ණ කර නැති නිලධාරීන්ට එක් වරක් පමණක් ගෙවන සේවා පාරිතෝෂිකයක් ලබා දී වයස අවුරුදු හැටේදී විශ්‍රාම ගැන්වීමටද යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මාසික විශ්‍රාම වැටුප් හිමි විදේශගතව වෙසෙන්නන්ට ගෙවනු ලබන මෙරටට අදාළ ජීවන වියදම් දීමනාව නතර කිරීම තවත් යෝජනාවකි.

අනියම්, තාවකාලික, කොන්ත්‍රාත්, දෛනික හා සහන ආදී පදනම්වලින් බඳවා ගනු ලබන සේවකයන්ට ස්ථිර විශ්‍රාම වැටුප් සහිත තත්ත්වය ලබා නොදී ඔවුන් සේවක අර්ථසාධක අරමුදල් ආඥා පනතේ විධිවිධානයන්ට යටත් කර එහි දායකත්වය තුළින් ප්‍රතිලාභ ලබාදීම අනිවාර්ය කිරීම ද අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තවත් යෝජනාවකි.

මේ යෝජනා ගැන දේශයට අදහස් දක්වන ඒකාබද්ධ සංවර්ධන නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ: ''රජයේ සේවකයා ඉල්ලුවේ පාරට බැස්සේ වැටුප් වැඩිවීමක් ලබාගන්න. ඒ වගේම රාජ්‍ය සේවය ස්වාධීන කරගන්න. අන්තිමට වුණේ තිබෙන නිවාඩු ටිකටත් තට්ටුවෙන්න යන එක. විශ්‍රාම වැටුපත් කපන්න යන එක. මේ වගේ යෝජනා ගේන්නේ ඉතා වැදගත් රාජ්‍ය සේවය එපා කරවීමක්. සේවකයෝ නිවාඩු ගන්නේ සෙල්ලමට නොවෙයි. වෙන රටක නිවාඩු ගත කරන්න නොවෙයි. අසනීපයකදි, දරුවන්ගේ වැඩකදි, මළගෙදරකදි වගේ අත්‍යවශ්‍ය දේකටයි. මේ නිවාඩුව ඇතුළේ මානුෂීය කරුණු කාරණා ගොඩක් තිබෙනවා. මේ අමානුෂික යෝජනා පරාජය කර රාජ්‍ය සේවය ශක්තිමත් කළ යුතුයි. රජයේ සේවය අකර්මණ්‍ය බවට චෝදනා එල්ල වෙනවා. එසේ අකර්මණ්‍ය වී ඇත්තේ සේවකයාගේ වරදක් නිසා නොවේ. නිශ්චිත ලෙස වැඩ ගැනීමට නිසි වැඩපිළිවෙළක් නැති හින්දයි. මන්ත්‍රීවරුන්ට අවුරුදු 5ක් ගියහම විශ්‍රාම වැටුප් හිමි වෙනවා. අවුරුදු ගණන් වැඩ කරන රජයේ සේවකයාගේ විශ්‍රාම වැටුපටත් තට්ටු කිරීමට දැන් සූදානම් වෙනවා.''

ආංශික අධීක්ෂණ කාරක සභාවට යෝජනා කළ මේ කරුණු තවමත් පවතින්නේ යෝජනා ලෙස වුවත් ඒවා ක්‍රියාත්මක කිරීම ඉදිරි කාලයේ දී සිදුවුවහොත් රජයේ සේවකයා තවදුරටත් උදාසීන වනු වැළැක්විය නොහැකිය. අප සමඟ අදහස් දැක්වූ වෘත්තිය සමිති නියෝජිතයන් සඳහන් කළ පරිදි මුලින්ම රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමේ සැලසුමක් සකස් කළ යුතුය. එය නවීකරණය කළ යුතුය. අනුරාධපුරයෙන් වාහන රියැදුරකුට නිකුත් කරන දඩ කොළය ගෙවීමට ඔහු යළිත් අනුරාධපුරයට යා යුතු රටක මෙවැනි යෝජනා රටේ කාර්යක්ෂමතාවට දායක නොවන පුස්වෙඩි පමණක් වනු ඇත. 

I කුසුම්සිරි විජයවර්ධන

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03