2024 ජනවාරි 06 වන සෙනසුරාදා

වෙළෙන්දෝ හූල්ලති: ජනතාව උලා කති රටේ වෙළෙඳපොළට ගිය කලක්!

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 137

අද වන විට පාරිභෝගික භාණ්ඩ සහ සේවාවල මිල අසීමිත ලෙස ඉහළ යමින් පවතී. මෙම තත්ත්වය මර්දනය කිරීමට මැදිහත් වන කෙනකු නොමැති බව පෙනෙන්නට තිබේ. මුළු වෙළෙඳපොළම ව්‍යාපාරිකයන්ට ලියා පවරා දී ඇති සැටියකි. රටේ විවෘත වෙළෙඳපොළක් තිබෙන්නේ යැයි පවසා මෙම මිල වැඩිවීමෙන් ඇඟ ගලවා ගැනීමට ආණ්ඩුවට පුළුවන්ද යන්න උභතොකොටික ගැටලුවකි. විවෘත ආර්ථික රටාවේ ප්‍රධාන ලක්ෂණය වන්නේ ඉල්ලුම හා සැපයුම අනුව මිල තීරණය වීමට ඉඩ හැරීමය. එහෙත් අද අපේ රටේ භාණ්ඩ හා සේවා මිල තීරණය වන්නේ ඉල්ලුම් සැපයුම් න්‍යාය අනුව ද යන්න ගැටලුවකි. වැඩි දෙනාගේ අදහස වන්නේ ඉල්ලුම හා සැපයුම ගැන නොසලකා වෙළෙන්දාට මිල තීරණය කිරීමේ අයිතිය ලැබී ඇති බවය. තමන්ට ලැබෙන භාණ්ඩ කීයට අලෙවි කරන්නේ දැයි තීරණය කිරීමේ පරම අයිතිය වෙළෙන්දාට ලැබී තිබේ. මෙය මිල තීරණයේ විකෘතියකි.

ජනතාව පවසන්නේ මෙලෙස වෙළෙන්දාට මිල තීරණය කිරීමට ඉඩ දී බලා සිටින්නේ නම් රටට ආණ්ඩුවක් කුමකටද යන්නය. ආනයනික භාණ්ඩයක මිල වැඩි වූ විට මිල වැඩි වන්නේ එයින් පසු ආනයනය කරන භාණ්ඩ වේ. එහෙත් අද සිදුවන්නේ මිල වැඩිවීම ප්‍රකාශයට පත් කළ ඇසිල්ලේ සිට සියලුම භාණ්ඩවල මිල ඉහළ දැමීමකි. අතැති තොගවල මිල ඉහළ දමා පාරිභෝගිකයා සූරා කෑමට වෙළෙඳ ජාලය ක්‍රම සහ විධි ක්‍රියාත්මක කරයි. අසීමිත ලෙස මිල ඉහළ නොදමා සාධරණීකරණය කිරීමට මැදිහත්වීම රාජකාරිය කරගත් ආයතන රුසක් රට තුළ තිබුණද ඒවායින් නිසි සේවයක් ඉටු නොවේ. විවිධ හේතු කියමින් ලිස්සා යාමට මෙම ආයතනවල අලස නිලධාරීහු සැදී පැහැදී සිටිති. එසේ නම් කෝටි ගණන් ජාතික ධනය වැය කරමින් එවැනි ආයතන පවත්වාගෙන යාමේ අර්ථය කුමක්ද?

අද අපට අල, ලූනු, කරවල, එළවළු, මස්, මාළු සහ බිත්තර ආදිය මිලට ගැනීමට සිදුව ඇත්තේ වැඩි මුදලක් ගෙවීමෙනි. ඒවාට පවතින මිල අසාධාරණ බව පාරිභෝගිකයා දැනගත්තද, ඔහුට ඒවා මිලට ගැනීමෙන් සම්පූර්ණයෙන් ඉවත් වී සිටිය නොහැකිය. වෙළෙඳපොළේ කියන මිලට ගැනීමට සිදුව තිබේ. ඇතැම් පාරිභෝගික භාණ්ඩවලට ආදේශයන් නොමැතිය. එවැනි ආදේශක තිබුණද ඒවායේ මිල ද ඉහළ ගොස් තිබේ. මෙහිදී පාරිභෝගිකයාට ඇති එකම විකල්පය මිලට ගන්නා ප්‍රමාණය අඩු කිරීමය. යම්තමට හෝ වේල පිරිමසා ගැනීමට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සිදුව තිබේ. භාණ්ඩ මිල පහළ මට්ටමේ තිබුණු අවස්ථාවල අතිරික්ත භාණ්ඩ මිලට ගෙන තොග රුස්කර තැබීමට පාරිභෝගිකයාට පුළුවන්කම තිබුණි. එසේම වැඩිපුර පාරිභෝජනය කිරීමට ද හැකි විය. එහෙත් අද එවැනි තත්ත්වයක් නැත. ඔහුට සිදුව ඇත්තේ අවමය මිලට ගෙන පිරිමසා ගැනීමටය.

මේ තත්ත්වය නිසා තවත් පැත්තකින් වෙළෙන්දා සහ නිෂ්පාදකයා ද අමාරුවේ වැටී සිටියි. එයට හේතුව ඔවුනට නිෂ්පාදනය සීමා කිරීමට සිදුව තිබීමය.

''වෙනදා කිලෝව ගන්න අය අද ගන්නේ දෙසිය පනහයි. ඉතින් අපේ වෙළෙදාම ඉතාම පහළ බැහැලා. ලැබෙන ආදායම අඩුයි. නිෂ්පාදනය පහළ බැසීම නිසා කර්මාන්ත කඩා වැටිලා. සේවකයන්ට රුකියාව අහිමිවෙලා.'' ඔවුහු කියති.
වෙළෙඳපොළේ තත්ත්වය සාමාන්‍යකරණය වීමට නම් පාරිභෝගිකයාගේ අත ඇති මුදලට මිලට ගත හැකි තරමට භාණ්ඩ මිල පැවතිය යුතුය. එසේ නොවේ නම් අසාධාරණ මිලට භාණ්ඩ මිලට ගැනීමට පාරිභෝගිකයෝ රුචි නොකරති. එසේම ඒ සඳහා ඔවුන්ට මුදල් ද නොමැත. අද බොහෝ භාණ්ඩවල ප්‍රදර්ශනය කරනුයේ ග්‍රෑම් 100ක මිලය.

සුළු ලාභයක් තබා අඩු මිලට භාණ්ඩ විකුණන විට වෙළෙඳපොළ ප්‍රසාරණය වෙයි. මිල අඩු වුවද වැඩි ප්‍රමාණයක් අලෙවි වන නිසා වෙළෙන්දාගේ ආදායම සරු වෙයි. එසේම පාරිභෝගිකයාට ද වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නට හැකි අතර එහිදී ඔහුගේ අවශ්‍යතා උපරිමයෙන් ඉටු වේ. මේ තත්ත්වය දෙපැත්තටම හොඳය. එහෙත් මේ තත්ත්වය වෙනස් වී වෙළෙඳපොළ සංකෝචනය වීමට හේතුව කුමක්ද?

බොහෝ අය චෝදනා කරනුයේ වෙළෙඳපොළට රජය මැදිහත් නොවීම නිසා වෙළෙඳුන්ට පාරිභෝගිකයන් සූරා කෑමට අවස්ථාව ලැබී ඇති බවය. අද මිල තීරණය කරනුයේ රජය නොව වෙළෙන්දාය. අද තිබිය යුතු මිල කවරේද යන්න ඔවුහු තීරණය කරති. පිටකොටුවේ සිට එක දුරකථන පණිවුඩයකින්, වට්ස්ඇප් නිවේදනයකින් මුළු රටේම මිල තීරණය වේ. එළවළු, අල, ලූනු, පරිප්පු, සහල්, මස්, මාළු ආදී සියල්ලකම මිල තීරණය කරන බලධාරියා වන්නේ වෙළෙන්දාය. රජය ඒ දෙස බලාගෙන නිෂ්ක්‍රියව සිටී. රජයට ඇති එකම ආයුධය වන මිල පාලනය ඇතැම්විට ක්‍රියාත්මක වුවද එයින් ලැබෙන ප්‍රතිඵලයක් නොමැත. වෙළෙන්දෝ පාලන මිල තුට්ටුවකටවත් මායිම් නොකරති. බිත්තර, සහල්, සීනි, පරිප්පු, ලූනු, පාන්පිටි ආදියට පැනවූ උපරිම මිල සීමා ටික දිනකින් රිවර්ස් කර ගැනීමට ආණ්ඩුවට සිදුවූ අවස්ථා රුසකි. වෙළෙඳුන්ගේ හා අතරමැදියන්ගේ විවිධ බලපෑම් එයට හේතු විය. මිල පාලනය දිගටම ගෙන යන විට සැපයීම සීමා කර භාණ්ඩ හිඟයක් ඇතිකිරීමට වෙළෙඳුන්ට හැකි විය. පසුගියදා කිරිපිටි, කීරි සම්බා, සීනි, මිරිස් ආදියේ මිල නියම කළ විට සිදුවූයේ වෙළෙඳපොළට ඒවා තොග නොලැබීමය. එවිට පාරිභෝගිකයාට වැඩි මිලට හෝ ගන්නට නොලැබී යයි.

අපේ රටේ විවෘත ආර්ථික ක්‍රමය මුළුමනින්ම අසාර්ථක වී ඇති නිසා වෙළෙඳපොළට රජය මැදිහත් විය යුතුය යන්න ඇතැම් ආර්ථික විද්වතුන්ගේ මතයයි. භාණ්ඩ සපයා සාධාරණ මිලට පාරිභෝගිකයාට ලබා දීමට රජය කටයුතු කළ යුතුය. රට පාලනය කරන රජයක මූලික වගකීම එය වෙයි. අද පවතින සේ කළුකඩ මිලට භාණ්ඩ අලෙවි කර පාරිභෝගිකයා සූරා කෑමට ඒකාධිපතියන්ට ඉඩ දී ඇස් කන් පියාගෙන ඉන්නේ නම් ආණ්ඩුවක් පත්කිරීමේ අවශ්‍යතාවය කුමක්ද යන්න ඇතැම්හු ප්‍රශ්න කරති. එසේ වුවද ආණ්ඩුව වෙළෙඳපොළට ඍජුව මැදිහත් නොවී නිෂ්පාදනයට අවශ්‍ය පරිසරය සකස් කළේ නම් අද පවතින තත්ත්වයට පත් නොවනු ඇතැයි පවසන්නෝ ද සිටිති.

මේ පිළිබඳ අදහස් දක්වන ආර්ථික විශ්ලේෂකයකු වන ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා පවසන්නේ අද ජනතාවට භාණ්ඩ මිල ඉහළ යාමේ අර්බුදයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙතෙක් මේ රටේ පැවති ආණ්ඩු වෙළෙන්දාගේ කාර්යභාරය ඉටු කරන්නට යාම නිසා බවයි. මෙය නරක පූර්වාදර්ශයක් වන අතර දැන් හෝ එම වරද නිවැරදි කළ යුතුය යන්න ඔහුගේ අදහස වෙයි.

''මුලදී මේ රටේ සියයට 70 ඉක්මවූ උද්ධමනයක් තිබුණා. රජය උද්ධමනය පාලනය කිරීම නිසා මේ වන විට එය සියයට 6 – 7 තත්ත්වයට පත්ව තිබෙනවා. උද්ධමනය තනි ඉලක්කමට බැස්සුවා යැයි කියා රටේ බඩු මිල අඩු වූයේ නැහැ. උද්ධමනය පහළ ගියාය කියන්නේ මිල වැඩිවීමේ වේගය මර්දනය වීම පමණයි. එහෙත් වැඩි වූ මිල එසේම තියෙනවා. මෙයට වසරකට පෙර කළ වියදම වගේ දෙගුණයක් පාරිභෝගික භාණ්ඩ හා සේවාවලට ගෙවන්නට අද ජනතාවට සිදුවෙලා. ඇතැම් ඒවා තුන් ගුණයක්. කොවිඩ් මෙන්ම රටේ දේශපාලන හා ආර්ථික අර්බුද ඇතිවීම ද මෙයට එක්තරා විදියකට බලපෑ බව පිළිගත යුතුයි.

අද රටේ විවෘත වෙළෙඳපොළක් තමා ඇත්තේ. එහි ක්‍රියාත්මක වන්නේ අදෘශ්‍යමාන බලවේගයක්. ඉල්ලුම හා සැපයුම අනුව වෙළෙඳපොළ සමතුලිත මිල නිර්මාණය වෙනවා. මෙවැනි සමතුලිත වෙළෙඳපොළකට රජය මැදිහත්වීම මිල මට්ටම කෙරෙහි විශාල ලෙස අහිතකර වෙනවා. උපරිම සහ අවම මිල තීරණය වීමේදි මෙම තත්ත්වය බලපානවා. එය අධ්‍යාපනය ලබන දරුවන් පවා දන්නා දෙයක්. එහෙත් අපේ ශ්‍රී ලංකා මහ බැංකුවට එම තත්ත්වය අවබෝධ නොවීම කනගාටුවට කරුණක්. ඩොලරයේ අගය පාලනය කිරීමට මහ බැංකුව මැදිහත්වීම නිසා රුපියල් 168 පමණ තිබූ ඩොලරය 300 ඉක්මවා ඉහළ ගියා. සෙසු භාණ්ඩ හා සේවාවලත් එහෙමයි. තිබුණු මිල පාලනය කරන්න රජය මැදිහත්වීම නිසා තිබුණු මිලට වඩා මිල ඉහළ ගියා. අද බිත්තරවලට ඇතිව තිබෙන තත්ත්වය මෙයට හොඳ උදාහරණයක්. වී මිල පාලනය කළ විට අතරමැදියන් හාල් මිල වැඩි කරනවා. රබර් බෝලයක් වගේ තද කරගෙන ඉන්න බැහැ. අතහැරිය විට විශාල ලෙස ඉහළ යනවා. සැපයුම් සහ ඉල්ලුම බලවේග රජය පාලනය කරන්න යාම නිසා වෙළෙඳපොළ විකෘති වෙනවා.

ඇතැම් භාණ්ඩ ඕනෑ තරම් තියෙනවා. එහෙත් ජනතාවට පෝලිමේ ඉන්න වෙලා. මෙහිදී ඇතිවන්නේ කෘත්‍රිම හිඟයක්. රජයට පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට වගකීමක් තියෙන බව ඇත්තයි. එහෙත් රජය වෙළෙඳපොළට මැදිහත් වූ තරමට පාරිභෝගිකයා ආරක්ෂා වෙන්නේ නැහැ. වෙළෙඳපොළට රජය මැදිහත් විය යුතු අවස්ථා කිහිපයක් තියෙනවා. වෙළෙඳපොළ කඩා වැටුණු විට අනවශ්‍ය ඒකාධිකාරයක් නිර්මාණය වූ විට රජය මැදිහත් විය යුතුයි. එහෙත් රජය අනවශ්‍ය පරිදි මැදිහත්වීම නිසා වෙළෙඳපොළ ක්‍රමවේදය (Market system) බිඳ වැටෙනවා. රජය කළ යුතු වන්නේ වෙළෙඳපොළ ක්‍රියාදාමය නිවැරදි කිරීමයි. එහෙම නැතිව වෙළෙඳපොළට පැමිණ ව්‍යාපාරික කටයුතුවලට මැදිහත්වීම නොවෙයි. පසුගිය දිනවල බිස්කට් මිල ඉහළ ගියා. සබන් මිල වැඩි වුණා. එවිට ඒ සමාගම් මැදිහත්වෙලා මිල පහළ දැමීමට පෙළඹුණා. මෙහිදී රජය මැදිහත් වුණේ නැහැ. ඒත් මිල සාධාරණීකරණය වුණා. රජය මෙතෙක් කල් පැනවූ උපරිම මිල හරිහැටි ක්‍රියාත්මක වූයේ නැහැ. අන්තිමට රජයට සිදුවූයේ තමන් දැමූ පාලන මිල අහෝසි කිරීමටයි. ඒ නිසා මිල මට්ටම නියෝග දමා පහළ දමන්න බැරි බව පිළිගත යුතුයි.

ඇතැම් ජනකොටස් මිල අඩු කරන්න යැයි රජයට බලපෑම් කරන්නේ නොදැනුවත්කම නිසයි. එහෙත් රජය මිල අඩුකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතු වෙනවා. මිල යාන්ත්‍රණය සකස් කිරීමට මැදිහත් විය යුතුයි. එහෙත් මෙය තේරුම් නොගත් ආණ්ඩුව වෙළෙඳපොළ විකෘති කිරීමක් වෙනවා. කොච්චර පාලන මිල දැම්මත් එය ක්‍රියාත්මක කරන්නට පාලකයන් අපොහොසත් වෙනවා. විවෘත වෙළෙඳපොළ තුළ රජය ව්‍යාපාර නොකළ යුතුයි. ඔවුන් කළ යුත්තේ මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට සුදුසු පරිසරයක් ඇති කිරීමයි.

මිල වැඩි වූ විගස රජය කරන්නේ භාණ්ඩ ආනයනය කර වෙළෙඳපොළට දමා පෞද්ගලික වෙළෙඳුන් සමඟ තරග කිරීමයි. මෙය තාවකාලිකයි. අසාර්ථකයි. ඒ බව අද ඔප්පු වී තිබෙනවා. නිකරුණේ විදේශ විනිමය අපතේ යාමක් ද වෙනවා. බොහෝ අය කියන්නේ මැති ඇමැතිවරු කොමිස් ගැසීමට මෙය කරනවා කියලයි. ආනයනය කරන්නට තම හිතවතුන්ට (පර්මිට්) දීලා ආදායම් මාර්ග සලසනවා. තම කාර්යභාරය කුමක්ද කියලා රජය තේරුම් ගෙන කටයුතු කරනවා නම් අද මෙන් විකෘති වෙළෙඳපොළක් ඇතිවන්නේ නැහැ. භාණ්ඩ මිල ද සමතුලිත වෙනවා. එහෙත් මේ තත්ත්වය වගකිවයුත්තන්ට අවබෝධ වීමට කොපමණ කාලයක් ගත වේ යැයි කියන්න බැහැ.''

I යසවර්ධන රුද්රිගූ