2024 ජනවාරි 06 වන සෙනසුරාදා

පොලීසිය පොලීසියෙන්ම වෙඩි කා මැරෙන්න ඕනෑද?

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 49

මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වන කතාව හැමදාමත් රටේ ප්‍රබල මාතෘකාවකි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී පැන යන්නට උත්සාහ කළ නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ගෝලයන් පිරිසක් සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු පිරිසක් 31 වැනිදා අලුයම වැලිගම පැලෑන ප්‍රදේශයේ මෙහෙයුමක් සිදුකළේය. එවැනි මෙහෙයුමකදී තිබිය යුතු නිසි සන්නිවේදන ක්‍රමය අනුගමනය නොකිරීමේ වරදින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්ව තවත් නිලධාරියෙක් බරපතළ තුවාල ලැබීය.

මේ අවාසනාවන්ත සිදුවීමෙන් මරණයට පත්වූයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර (47) මහතාය. දියණියන් දෙදෙනකුගේ පියකු වන ඔහු මාතලේ ගලේවෙල ආඳාගල රණවිරු ගම්මානයේ පදිංචිකරුවෙකි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එල්. මධුරංග මහතාය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අයුරින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අටදෙනකු රුගත් KDH වර්ගයේ වෑන් රථයක් කොළඹින් පිටත්ව තිබුණි. එම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ පාතාල නායක හරක් කටාගේ ගෝල බාලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමය. සැකකරුවන් හෝටලයක සිටින බවට ලද තොරතුරක් අනුව පිරිස පිටත්ව තිබුණේ ඉකුත් 30 වැනිදා පස්වරුවේය. ඔවුන් මාතර සිට වැලිගම දෙසට යමින් සිටියදී පැලෑන වටරවුම අසල පිහිටි හෝටලයක් ඉදිරිපිට සැකකරුවකු සිටිනවා දැක වෑන් රථය නතර කොට ඇතැයි කියති. ඒ සමඟම සැකකරු දිවගොස් තිබෙන අතර හෝටලය දෙසින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇත. ඒත් සමගම නිලධාරීන්ද වෙඩි තැබූ දෙසට ප්‍රතිවෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබේ. මේ සිදුවීම පසුගිය 31දා අලුයම 2.30ට පමණ සිදුවූ බව කියැවේ.

වෙඩි තැබීම වූ තැන සංචාරක හෝටලයකි. එය ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ පුත්‍රයාට අයත් බව පැවසේ. කිසිවකු විසින් මේ ගැටුම ඒ මොහොතේම පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත දැනුම් දී තිබුණි. වැලිගම පොලිස්  මුර සංචාරක රථය ඒ වනවිටත් යුක්තිය මෙහෙයුමට සම්බන්ධව සිටි බැවින් තොරතුර ලැබීමත් සමග කඩිනමින් ජංගම පොලිස් රථය එහි ළඟාවී ඇත. එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් රුගත්  රථය වේගයෙන් ඉදිරියට ධාවනය කොට තිබේ. එවිට වැලිගම පොලිස් මුර සංචාරක රථයේ සිටි නිලධාරීන් සිතා ඇත්තේ පලා යන්නේ පාතාල සාමාජිකයන් වන්නට ඇති බවය. ඔවුන් එම රථය ඉලක්ක කොට වෙඩි තබා තිබේ. ඊට අණකොට තිබුණේ වැලිගම පොලිස් මුර සංචාරක රථයේ සිටි සැරයන්වරයෙකි. ඔහු යටතේ පොලිස් නිලධාරීන් පිරිසක් හා සහාය පිණිස යුද හමුදා සෙබළුන් දෙදෙනකුද රථයේ සිට ඇත. පලා යන රථය දිගටම ගොස් තිබුණේ දක්ෂිණ අධිවේගයේ ඉමදූව පිවිසුම දෙසටය.

ක්ෂණයකින් සැකසහිත වෑන් රථයේ අංකය හඳුනාගෙන ප්‍රදේශයේ පොලිස් ස්ථාන වෙත ලබාදීමට වැලිගම පොලිස්  මුර සංචාරක රථයේ නිලධාරීහු ක්‍රියා කළහ. එහි දිගුවක් ලෙස දක්ෂිණ අධිවේගයේ ඉමදූව පිවිසුම අසල අධිවේගී මාර්ග සංචාරක පොලිස් නිලධාරීන් රුක සිට සැක කටයුතු වෑන් රිය නවත්වා ගෙන ඇත. එහිදී නිලධාරියකු විසින් සිය අනන්‍යතාව හෙළිකරමින් තමන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් බවට පවසා තිබේ. කෙසේ වෙතත් පිරිසට යාමට අවසර නොදී රඳවාගෙන ඔවුන් හා වෑන් රථය වැලිගම පොලීසියේ නිලධාරීන්ට බාර දී ඇත. මේ අතරතුර වෙඩිවැදී සිටි දෙදෙනා රෝහල් ගත කිරීමට 1990 අමතා සුවසැරිය ගිලන්රථයක් ගෙන්වා එම දෙපළ කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට ක්‍රියා කළේය. ඒ වනවිටත්  කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් සැරයන් උපුල් චමින්ද කුමාර (47) මහතා මියගොස් සිටි බව වාර්තා විය. වෙඩි වැදී තුවාල ලැබූ කොළඹ අපරාධ කොට්ඨාසයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එල්. මධුරංග මහතා ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී පැන යන්නට උත්සාහ කළ නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ගෝලයින් පිරිසක් අත්අඩංගුවට ගෙන පසුගිය දිනවලදී ප්‍රශ්න කරමින් තිබිණි. මේ අතර ඒ පිළිබඳව විමර්ශනය කරන කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් තවත් සැකකරුවන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබුණි. මෙසේ සැකකරුවන් 30 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන සිටියද තවදුරටත් ලේඛනගතව ඇතත් ඉන් අත්අඩංගුවට පත් නොවූ අය සොයා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් වැලිගම ගොස් ඇතැයි සඳහන්ය. එම අවස්ථාවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ හා වැලිගම නිලධාරීන් අතර නිසි සන්නිවේදනයක් නොවූයෙන් වැරදි අවබෝධය නිසා වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පිටස්තර පොලිස් වසමක මෙහෙයුමක් සඳහා වෙනත් පොලීසියක හෝ විශේෂ ඒකකයක නිලධාරීන් පිටත්ව යන්නේ නම් අදාළ බල ප්‍රදේශයට අයත් පොලීසිය දැනුම්වත් කිරීම ක්‍රමවේදයකි. නමුත් මේ සිද්ධියට පෙර එසේ සිදුකර නොමැති බව හෙළිවී ඇත. දැනට ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම අතුරතුර සිදුවූ මෙම සිද්ධිය හමුවේ විෂය බාර ඇමැතිවරයාටත් වැඩබලන පොලිස්පතිවරයාටත් ඇතැම් පාර්ශ්ව විවිධ චෝදනා කරති.

දැනට මෙම වෙඩි ප්‍රහාරයට භාවිත කළ ගිනි අවි පොලිස් බාරයට ගෙන ඇත. කොළඹ අපරාධ කොට්ඨාසයේ ටී. 56 අවියක් හා පිස්තෝල අවි 02ක් මෙන්ම වැලිගම පොලිසියේ ටී 56 ගිනි අවියක් ඒ අතර වන බව පොලීසිය පවසයි. වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

I සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03