2024 ජනවාරි 06 වන සෙනසුරාදා

දිගටම වැස්ස: වළාකුළුවලත් දැන් ’’ට්‍රැෆික්’’

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 43

රට පුරා ඇතැම් ප්‍රදේශවලට තවමත් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත් වන ජනතාව විශාල පීඩාවට පත්ව සිටිති. මේ හේතුවෙන් මේ දිනවල පැවැත්වෙන අ.පො.ස. උසස් පෙළ විභාගයට නියමිත විභාග මධ්‍යස්ථානවලට යාමට නොහැකි වුණු ඇතැම් සිසු සිසුවියන්ට ඔවුන්ට යාමට හැකි ආසන්නම විභාග මධ්‍යස්ථානයක් වෙත ගොස් විභාගයට මුහුණ දීමට සිදුව තිබේ.

සාමාන්‍යයෙන් ලංකාවට පවතින දේශගුණික තත්ත්වය අනුව මේ කාලය සැලකෙන්නේ ඊසානදිග මෝසම් සුළං කාලය වශයෙනි. මේ කාලයේදී ලංකාවේ මෝසම් කාල දෙකකුත් අන්තර් මෝසම් කාල දෙකකුත් පවතී. මේ අනුව ඊසානදිග මෝසම් සුළං කාලයේ උච්චතම අවස්ථාව ගතවෙමින් තිබේ. එයට හේතුව නම් මේ වන විට සූර්යයා ලංකාවෙන් දුරස්ව පිහිටීමය. දක්ෂිණ අර්ධගෝලයේ ඇතිවන අඩු පීඩන තත්ත්වය හමුවේ සුළඟ වේගයෙන් හමා ගොස් ලංකාවේ වියළි කලාපයේ ප්‍රදේශවලට මෙම බලපෑම ඇති කරයි. මේ කාලයේදී තෙත් කලාපයට අඩු වර්ෂාපතනයක් ලැබේ. මෝසම් සුළඟේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ 75% කට ආසන්න ප්‍රමාණයකට මේ කාලයේදී වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබේ. මේ නිසා මෙය විශේෂ තත්ත්වයක් ලෙස නොසැලකේ.

''මේ හේතුවෙන් මේ කාලයේදී විශාල වශයෙන් වර්ෂාපතනයක් ලැබී ඇති බව පෙනෙන්නට නැහැ. නමුත් මෙය ගැටලුවක් බවට පෙනෙන්නට ඇත්තේ ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් වාන් දමන තත්ත්වයට පත්වෙලා තිබීමයි. එයට හේතුව වන්නේ මෙවර අන්තර් මෝසම් කාලයේදී සාමාන්‍යයෙන් ලංකාවේදී අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා මාස තුනේදී වර්ෂාපතනය ගොඩක් අඩුයි. ඒ කාලයේදී දැඩි නියං කාලයක් පවතිනවා. විශේෂයෙන් ඒ කාලෙදි වෙළෙඳපොළේ නෙළුම් අල වැඩි වශයෙන් විකිණීමට තියෙනවා. නමුත් මෙවර නෙළුම් අලවල හිඟයක් පවතිනවා. එයට හේතුව පෙර කාලවලදී මෙන් නෙළුම් අල හෑරීමට තරම් වැව් හිඳී නොයාමයි. මෙවර සැප්තැම්බර් මාසයේදී පමණ ඇතැම් වැව් තැනින් තැන වාන් දැම්මා. අන්තර් මෝසම් කාලෙදි ඒ ප්‍රදේශවලට වැසි ලැබී ඒවායේ ජලාශ පිරී තිබුණා. දේශගුණික විපර්යාසයන් නිසා තරමක වැඩිවීමක් මේ කාලෙදි සිදුවුණා.'' යැයි කැලණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

සාමාන්‍යයෙන් වසරේ දෙවැනි අන්තර් මෝසම් කාලය වන අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළදී වැසි අඩු වුවද මේ කාලයේදී වර්ෂාවේ වැඩිවීමක් සිදුව තිබුණි. එයට ගෝලීය වශයෙන් පැවැති දේශගුණික වෙනස්කම්වල බලපෑම හේතු විය. නමුත් ඉන්පසුව ආරම්භ වූ මෝසම් තත්ත්වය නිවැරදි ලෙසින් ආරම්භ වූ අතර නිසි වර්ෂාපතනයක් ලැබුණි. වෙනත් වසරවලදී බොහෝ විට වාන් දැමීම සිදුවන්නේ ජනවාරි අග සිට පෙබරවාරි දක්වා අතර කාලය තුළදීය. නමුත් මෙවර වැව් පිරීම හේතුවෙන් මෝසම් ආරම්භ වී වැසි තුන හතරකට පසුව වාන් දැමීම ආරම්භ විය. ඒ වාන් දැමීම දිගින් දිගටම සිදුවිය.

''ඇතැම් ජලාශවල මේ වන විටත් මාසයක් පුරාවට වාන් දැමීම සිදුවෙනවා. වාන් දැමීම සශ්‍රීක දෙයක්. සාමාන්‍යයෙන් කිරි ඉතිරවීමේදී පිරී ඉතිරී යාම වාසනාවක්. ඒ සංකල්පයට අනුව අතපැන් වත්කිරීම සශ්‍රීක කටයුත්තක්. මේ වාන් දැමීමද ඒ අනුව සශ්‍රීක සිද්ධියක් විදිහට හඳුන්වන්න හැකි වුවත් අඛණ්ඩව වාන් දැමීම නිසා පහත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ගැටලුවකට මුහුණපෑමට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ගංගා නිම්නවල ගංගා ගලා යාමෙන් ජලය වැඩි වී පිටතට ජලය ඒමක් සිදුවෙනවා. ඒ ගංගා නිම්න ආශ්‍රිත ප්‍රදේශවල පහත් බිම්වල තිබෙන වගා බිම් යට වෙනවා. වියළි කලාපයේ බොහෝ ප්‍රදේශවල පහත් බිම් වගා කරනු ලබන්නේ සාමාන්‍යයෙන් ජනවාරි මුල් සතියෙන් පසුවයි.'' යැයි ද මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.

බොහෝ විට එකලට එම කුඹුරුවල වැපිරීම සිදු නොකරයි. ඒ වෙනුවට ගොයම් පැළ සිටුවයි. ගංවතුරට හසුනොවන උස් බිම්වල තවාන් දමා දින 15 – 20 ගතවූ ගොයම් පැළ ගලවා ජනවාරි මාසේ දෙවැනි සතිය වන විට කුඹුරේ පැළ කිරීම සිදු කරයි. ඒ නිසා ඇතැම් වසරවල අවුරුද්දකට පසුවද ගොයම් කපයි. වසරකට පසුව ගොයම් කපන්නේ එවැනි පැළ සිටවූ කුඹුරුවලය. නමුත් වර්තමානයේදී පැළ සිටුවීමට මිනිස් ශ්‍රමයක් නොමැතිවීමත්, නිසි යන්ත්‍ර සූත්‍ර නොමැතිවීමත්, පැරෂුට් ක්‍රමය මගින් බීජ වැපිරීමට ඇති අවස්වථාව අඩුවීමත් හේතුවෙන් මිනිස්සු වැපිරීම සිදු කරති. ඒ වැපිරීම හේතුවෙන් මාසයකට ආසන්න කාලයකදී කුඹුරු යටවීම සිදුවේ. එම වගා බිම් යටවී පවතින කාලය වැඩිය. එහිදී යම් හෙයකින් මේ වැපිරෑ බීජ දින පහකට හයකට වැඩි කාලයක් යට වී පැවතීම හේතුවෙන් ඒවා කුණුවීම සිදුවේ. මේ නිසා මේ තත්ත්වය එක්තරා ආකාරයේ විපතක් බවට පත්ව ඇත. මෙවර පහත් බිම් ආශ්‍රිතව සිදුව ඇත්තේ එයයි. 

පසුගිය වර්ෂයේ මුලදී වර්ෂාව නොමැතිවීම නිසා ජනතාව කනස්සල්ලට පත්වූහ. ජලය නොමැතිකම නිසා ඔවුහු දුකට පත්වූහ. පසුව එම මෝසම් ක්‍රියාකාරීත්වය උපරිමයෙන් සිදුවිය. මෝසම් කාලයේ අවම තත්ත්වයට මුහුණ දීමට හුරු වූ ගොවීහු මේ උපරිමයට මුහුණ දීමට නොහැකි වී සිටිති.

''මෙවර කළුතර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය වැනි තෙත් කලාපයේ ප්‍රධාන ජලාශවල මේ මෝසම් තත්ත්වය වැඩි කාලයක් පැවතීම හේතුවෙන් තෙත් කලාපයේ වළාකුළු ආවරණය වැඩිවීමක් සිදුව පවතිනවා. ඒ සමඟම වළාකුළු එක තැන පැවතීම හේතුවෙන් වළාකුළු එක තැන රැඳීම (Cloud traffic) සිදුවෙනවා. මේ හේතුවෙන් තෙත් කලාපයේ වර්ෂාපතනය වැඩිවීමක් වෙනවා. ඒ අනුව මේ මාස දෙක තුන ඇතුළත එවැනි වර්ෂාපතනයක් ඇති වී තිබෙනවා. ජලාශවල අඛණ්ඩව වාන් දැමීම නිසා මේ වාන් ජලය ද තෙත් කලාපයේ කුඹුරුවලට එක්වීමක් සිදුවෙනවා. ගංවතුර සාමාන්‍ය කාලයේදී පාලනය කිරීමට හැකි වුවද මේ කාලයේදී ටිකක් අපහසු වෙනවා. මේ නිසා මෙය ඇතැම් ප්‍රදේශවලට බරපතළ විදිහට හානි සිදුවීමක් වෙනවා. මේ හේතුවෙන් කුඹුරුවල දිලීර රෝග සහ කොකු පණු රෝග වර්ධනය වීමක් සිදුව තිබෙනවා. සූර්යාලෝකය අඩුකම නිසා මේ තත්ත්වය ඇතිවෙනවා. හිරිපොද වැස්ස නිසා රබර් කැපීමද අඩුවෙනවා. සූර්යාලෝකයේ මඳකම නිසාම තේ දලුවල අඩුවක් පවතිනවා. මේ තත්ත්වය තව සති දෙකකින් අවසන් වී හොඳින් සූර්යාලෝකය ලැබී අන්තර් මෝසම ආරම්භ වෙනවා.'' මහාචාර්ය නිශාන් සකලසූරිය මහතා සඳහන් කළේය.

I දිශානි ජයමාලි කරුණාරත්න