අලුත් වාර්තා අනුව ශ‍්‍රී ලංකාවේ උද්ධමන අනුපාතිකය නැවත හිස ඔසවන පසුබිමක පසුවේ. 2023 වසරේ දෙසැම්බර් මාසයේ උද්ධමනය සියයට හතරක් වූ අතර නොවැම්බර් මාසයේ පැවැති උද්ධමන අනුපාතිකය ඉක්මවා ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. ආර්ථික අර්බුදය සමඟ පාලනය කරගත නොහැකි තරමට උද්ධමන අනුපාතිකය හා වාණිජ බැංකු පොලී ප‍්‍රතිශත ඉහළ ගිය නමුත් ස්ථාවර කරන ක්‍රියාමාර්ගවල ප‍්‍රතිඵලයක් වශයෙන් එම දත්ත පාලනය කරගත හැකි තත්ත්වයකට පත් විය. දැනට අනුගමනය කරන ප‍්‍රතිපත්ති අනුව වෙළෙඳපොළ හැසිරෙන ස්වභාවය ඉතාම සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. ආර්ථික විශේෂඥයන් සැලසුම් කරන ආකෘතිය ප‍්‍රායෝගිකව නිර්මාණය කළ හැකිද යන්න ගැටලුවකි.
උද්ධමනය හා පොලී අනුපාතය අතර සම්බන්ධතාවයක් තිබේ. දේශීය ප‍්‍රභව ඔස්සේ ලබාගන්නා ණය හා ඒවා පියැවීම සඳහා අනුගමනය කරන උපාය මාර්ග උද්ධමන අනුපාතිකයට බලපාන සාධක අතර ඇත. අයවැය පියවා ගැනීම සඳහා ආණ්ඩුව වාණිජ බැංකුවලින් ණය ලබාගනී. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වශයෙන් ලබාගන්නා මෙම ණය හා එයට ගෙවන පොලිය සඳහා දින ගණන අනුව ආපසු පියැවීමේදී මුද්‍රණය කරන ලද අලුත් මුදල් නෝට්ටු භාවිතා කෙරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දේශීය ණය ගැනීම හා මුදල් අච්චුගැසීම සම්බන්ධව කොන්දේසි පනවන නමුත් එම පිළිවෙළ නිවැරදිව අනුගමනය නොකිරීම අනතුරකි.
• උද්ධමනය සලකා බලන සාධක
යම් කාල පරිච්ඡේදයක සලකා බලන භාණ්ඩ හා සේවා වට්ටෝරුවක පොදු මිල මට්ටමේ අඛණ්ඩව ඉහළ යෑම උද්ධමනය වශයෙන් හැඳින්වේ. මෙම ඉලක්කම් සොයා බැලීම සඳහා ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් මෙරට තෝරාගත් වෙළඳපොළවල භාණ්ඩ හා සේවා මිල ගණන් සම්බන්ධව අවධානයෙන් සිටිති. ඒවා එකතුකරගන්නා අතර විශ්ලේෂණයෙන් මිල උච්ඡාවචනය ගැන අවබෝධයක ඇතිකර ගනී. උද්ධමනයේ ඉහළයෑම, බැංකු පොලී අනුපාත වෙනස්වීම යනා දී කරුණු ගැන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අවධානයෙන් සිටිය යුතුය. තත්ත්වාකාරයෙන් සලකා තීරණ ගත යුතුව තිබේ. නමුත් දැනට පවතින රාමුව අනුව ශ‍්‍රී ලංකාවේ ජනයාගේ පැවැත්ම රජයේ ආදායම අනුව තීරණය කරමින් සිටී. ජන කොටස්වල දුප්පත්භාවය හා වෙළෙඳපොළට ප‍්‍රවේශවීමේ හැකියාව ගැන නොසලකන අතර රජයට අයවිය යුතු ආදායම සලකා අධික බදු පනවන බව පෙනේ.
වසර ආරම්භයේ සිට අලුතින් හඳුන්වා දෙන ලද බදු හා වැට් බදු සංශෝධනය වෙළෙඳපොළ තත්ත්වය විකෘති කර ඇත. උද්ධමනය සම්බන්ධ ඉලක්කම් කෙසේ වෙතත් එදිනෙදා මිල දී ගන්නා භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් ඉහිලිය නොහැකි පිරිවැයක් දරන බව සඳහන් කළ යුතුවේ.
ශ‍්‍රි ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2010 වසරේ උද්ධමනය සියයට 5.9කි. 2022 වසරේ නොවැම්බර් මාසයේ උද්ධමන අනුපාතිකය සියයට 61කි. මෙම උද්ධමනය අද වනවිට සියයට හතර දක්වා අඩු වී ඇති බව විශේෂඥයන් දක්වන නමුත් 2010 තිබුණ ඉලක්කමට නොවන බව අවධාරණය කළ යුතුය. උද්ධමනය ඉහළයන අනුපාතිකය පාලනය වී ඇති නමුත් ජීවන වියදම අඩු වී නැත. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා ගැඹුරින් අධ්‍යයනය කරන විට පැහැදිලිව තහවුරු වන තවත් කරුණක් තිබේ. 1953 සිට 2023 අතර කාලය වනවිට මස්, මාළු සහ කුළුබඩු වැනි ආහාර වෙනුවෙන් දරන්නට සිදුවන ඒකපුද්ගල වියදම වැඩිවී තිබේ. අනෙක් අතට නිවාස, බෙහෙත් හේත්, අධ්‍යාපනය, ප‍්‍රවාහනය, බලශක්තිය හා විදුලිය සහ වෙනත් ගෘහ මෙවලම් වෙනුවෙන් ඒකපුද්ගල පාරිභෝජන වියදම මෙම කාලය තුළ සෑහෙන ප‍්‍රමාණයකින් ඉහළ නැග ඇත.
• බදු පීඩාවලින් පෙෙළන පිරිසට ණය තෙරපුමක්
ආණ්ඩුව අපේක්ෂා කරන පරිදි 2023 වසරේදී රුපියල් ට්‍රිලියනයක බදු ආදායමක් උපයාගෙන ඇති අතර 2024 වසරේදී රුපියල් ට්‍රිලියන 4.1ක බදු ආදායමක් එකතු කරගැනීමට අපේක්ෂා කරන බව දැක්වේ. මෙවැනි විශාල ධනයක් මහජනතාවගෙන් ලබාගැනීමට සිදුවීම පිටුපස රජයේ වියදම් ඉහළ යෑමද බරපතළ සාධකයකි. ආණ්ඩුව වියදම පාලනය කරගතහොත් ආදායම් ඉලක්ක අඩු කර බදු සහන සැපැයිය හැකි වේ. නමුත් එවැනි ක‍්‍රමවේදයක් ගැන උත්සාහයක් නැත. අනෙක් අතට මෙම වසරේ අය වැය අනුව රජයේ වියදම් සඳහා දේශීයව ණය ලබාගැනීමේ සීමාව මෙතෙක් පැවැති රුපියල් ට්‍රිලියන 3.45ක සිට රුපියල් ට්‍රිලියන 7.45 දක්වා වැඩි කරගෙන ඇත. අවශ්‍ය අවස්ථාවක මෙම මුදල් ලබාගෙන රජයේ වියදම් ආවරණය කිරීමේ බලයක් ආණ්ඩුවට ලැබී තිබේ. එහි අනෙක් පැත්ත අනුව මෙම ගන්නා ණය ප‍්‍රමාණය මහජනතාවගෙන්ම අය කරන බදුවලින් ඉදිරියේදී පියවන්නට සිදුවේ. පියැවීමට අනුගමනය කරන ක‍්‍රම නැවත නැවතත් සාමාන්‍ය ජනතාව මහත් අපහසුවකට පත් කරනු ඇති බව කල්තබා සඳහන් කළ යුතුය.
ආණ්ඩුව අපේක්ෂා කරන මෙම රුපියල් ට්‍රිලියන හත ඉක්මවන මුදල රට තුළින් ලබාගැනීමේදී වාණිජ බැංකු කෙරෙහි බරක් තබන්නට සිදුවේ. වාණිජ බැංකුවල මහජනතාව තැන්පත් කරන මුදල් රජයේ ණය වශයෙන් ලබා ගැනේ. තැන්පත් කරන්නට තබා එදිනෙදා වියදම හෝ ආවරණය කරගන්නට නොහැකි තැනක පසුවන පිරිස ගේ පරිභෝජනය අඩුකර ඉතිරි කරන තැනට තල්ලු කරන්නට නම් අධික පොලියක් නැවත ගෙවන්නට සිදුවිය හැකිය. දැනට ඇති අඩු පොලී අනුපාත හා බැංකුවල තැන්පත් කිරීමේ දී බදු දැලට හසුවීම සලකා භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට උපයන ධනය වැයකරන රටාව ඉතිරි කරන තැනට හැරවීම සඳහා ගෙවන්නට ඉඩ ඇති පොලිය නැවත වටයකින් රටට සංකීර්ණ ප‍්‍රශ්න ඇති කරන අවදානමක් ඇත.
• අර්බුද ආර්ථිකයක පීඩාව
ආර්ථික වර්ධනයක් ඇතිකර ජාතික ආදායම තරකර ගැනීම උද්ධමනය පාලනය කිරීම හා ණය පාලනය කිරීමට ගැලපෙන පියවරකි. එය සඳහා දූරදර්ශී ප‍්‍රතිපත්ති අවශ්‍ය කෙරේ. ඉදිරියේදී පවත්වන්නට නියමිත මැතිවරණ සහ ආණ්ඩුව ගෙන යන ක‍්‍රියාමාර්ග නිසා උද්ගතව ඇති ආයෝජන වාතාවරණයේ දුබලතා වර්ධන වේගය අඩාල කරන කරුණකි. 2022 හා 23 වසර දෙක ඇතුළත සියයට දහයකින් කුඩා වූ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය 2024 වසරේ දී සියයට 1.3 කින් වර්ධනය වනු ඇති බව ප‍්‍රකාශ වී තිබේ. ඉදිරි වසර දහය දක්වා කිසිම අවස්ථාවක සියයට පහක වර්ධන වේගයක් ලබාගත නොහැකි බවද ආර්ථික විශේෂඥයෝ දක්වති. මෙවැනි පසුබිමක් තුළ මහජනතාවට උද්ධමනය හා වාණිජ බැංකු පොලී වෙනස්වීම සම්බන්ධ ප‍්‍රතිවිපාක හැර අනෙක් යමක් අපේක්ෂා කළ හැකිද?
අලුත් බලාපොරොත්තු ඇති කරන නව සැලැස්මකින් ආර්ථිකය සක‍්‍රීය කළ හැකි නමුත් මහජනතාවට පටවා ඇති පීඩනය ඉදිරියේ අනාගතය පැහැදිලි නැත. මහජනතාවට මෙම බර පටවන අතරවාරයේ ඔවුන් ගතකරන ජීවිත ගැනද මෙරට දේශපාලනඥයන් දැනගෙන සිටිය යුතුය. ශ‍්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට හැටපහක් කොවිඩ් කාලයෙන් පසු ආදායම පහත වැටීමේ ප‍්‍රශ්නයට මුහුණ පා ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි. එහිම දක්වන පරිදි සියයට අනූවකට වැඩි ජන කොටසකගේ වියදම ඉහළ ගොස් තිබේ. මෙම පවුල්වල පාසල් වයසේ දරුවන්ගෙන් සියයට පනස් හතරකට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා සිදුවී ඇත. පසුගිය දුෂ්කර කාලයේ ශ‍්‍රී ලාංකිකයන්ගේ ජනජීවිතය පත්වූ තැන ගැන ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක් කරන මෙම ප‍්‍රකාශ ගැන වගකිව යුතු අංශ ගැඹුරෙන් සලකා බැලීම අවශ්‍යය. ජනගහනයෙන් සියයට පහක පිරිසකට ආහාර ද්‍රව්‍ය මිල දී ගැනීම සම්බන්ධයෙන් පවා ප‍්‍රශ්න ඇති අතර තවත් සියයට දෙකක කොටසකට දෛනික ආහාර වියදම කිසිසේත් දරාගත නොහැකිව අවශ්‍ය ආහාර සපයා ගත නොහැකි තත්ත්වයක පසුවන බවද ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දක්වයි.
මෙම අභ්‍යන්තරය වටහා ගත හැකි පිරිස් වහාම ආණ්ඩුවට සිය විකල්ප අදහස් ඉදිරිපත් කළ යුතුව තිබේ. පැරණි යල්පැන ගිය ආර්ථික ආකෘතිවලින් රටට ප‍්‍රයෝජනයක් නැත. උද්ධමනය ගැන සඳහන් කරන ඉලක්කම් තුළ නියම තත්ත්වය නැත. මහජනතාව සැනසිල්ලේ තෘප්තියෙන් පසුවන්නේද යන්න සොයා බැලීම ඉතාම වැදගත් කරුණකි. උද්ධමනය අඩු අතර පොලී අනුපාත පාලනය කර ඇති බව ඉහළ නිලධාරීන් දක්වන නමුත් එම ඉලක්කම්වල ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන කරුණු ඇතුළත් ද යන කාරණය සාකච්ඡා කළ යුතුවේ.
I සාරා කන්දෙගොඩ