2024 ජනවාරි 06 වන සෙනසුරාදා

ජල බිලට පොලු තබන තෝරු මාරු

 2024 ජනවාරි 06 වන සෙනසුරාදා, ප.ව. 02:00 30

අද මේ රට මේ තරමට වැටී ඇත්තේ රාජ්‍ය ව්‍යාපාරවල ඇති ලොකූ ලොකු අඩුපාඩු හේතුවෙනි. අඩුපාඩුවලට වඩා පාඩු පිට පාඩු හේතුවෙනි. බොහෝ රාජ්‍ය ආයතනවලට සිදුවී ඇත්තේ දෙන්නම් කාසිවලට වැඩ කරන්නට ගොස් අනාගැනීමටය. අවසානයේ ආයතනය ඇදගෙන යන්නට භාණ්ඩාගාරයෙන් සල්ලි ගන්නා තැනට පත්වන්නට සිදුවී තිබේ.

මේ කියන්නේ එවැනිම නහුතෙට පාඩු විඳිමින් පහතට බහිමින් ඇති ආයතනයක් පිළිබඳවය. එනම් ජලය සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයයි. මෙම මණ්ඩලය මේ වන විට පාඩු ලබන්නේ ජල නිෂ්පාදනය කරන්නට යාමෙනි. දැනට වතුර ලීටරයක් නිෂ්පාදනය සඳහා මණ්ඩලය රුපියල් සත 8 ක් වැය කරනු ලබයි. එහෙත් මණ්ඩලය වතුර ලීටරයක් ජනතාවට ලබාදෙන්නේ රුපියල් සත 6 කටය. ඒ නිසා මණ්ඩලයට එම මොහොතේ සිදුවන පාඩුව සත දෙකකි.

එලෙස නිෂ්පාදනයෙන්ම පාඩු සිදුවන මෙම ආයතනයට අද වන විට ඇති දෙවැනි පාඩුව වී ඇත්තේ බිල් නොගෙවීම නිසා සිදුවන පාඩුවයි. දැනට පාඩුව හෙවත් පොල්ල කෝටි ගණනකි. පුදුමය නම් මෙම පොල්ල තබා ඇත්තේ රාජ්‍ය ආයතන විසින් වීමය. ආරක්ෂක අංශ සහ රාජ්‍ය ආයතන සේම මැති ඇමැතිවරුන්ගේ නිල නිවාස මගිනි. මේ බව සෑම ආයතනයකටම දැනුම් දී තිබුණත් කිසිම ආයතනයක් නිසි ලෙස එම බිල් ගෙවා දමන්නට තවමත් ක්‍රියා කර නොමැති බව ජල ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. කෙසේ වෙතත් අද වන විට මෙම වතුර බිල් වර්තමාන මැති ඇමැතිවරුන් වෙත බාරවී තිබුණත් ඇතැම් වතුර බිල් වසර 10-15 කට අධික බවද හෙතෙම සඳහන් කළේය. ඇතැම් අවස්ථාවල ජලය විසන්ධි කළ ද මැති ඇමැතිවරුන්ගේ සබඳතා හරහා බිල නොගෙවා නැවත සම්බන්ධතා ලබාගෙන ඇති බව දැනගන්නට ඇත. මේ නිසා ඇතැම් වතුර බිල් දහස් ගණනින් වැඩි වී ඇති බව ඔහු පවසයි.

කෙසේ වෙතත් අද වන විට විෂය බාර ඇමැතිවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් නියෝග කර ඇත්තේ වතුර බිල නොගෙවන ඕනෑම කෙනකුගේ නිවෙස්වල වතුර කපා දමන ලෙසය. ඒ අනුව මැති ඇමැතිවරුන්ටත් රාජ්‍ය ආයතනවලටත් නිශ්චිත කාලයක් ලබාදීමට නියමිත අතර අදාළ පොල්ලෙන් කොටසක් හෝ ගෙවන්නේ නම් වතුර කපා දැමීම නවතිනු ඇත. එසේ නොමැති වුවහොත් තරාතිරම නොබලා ජලය කපා දමන බව ඔවුහු පවසති.

එසේ නම් අප බලා සිටින්නේ මේ නීතිය කවදා සිට ක්‍රියාත්මක වේද යන්නය. සාමාන්‍ය ජනතාවට සේම නීතිය ලොකු ලොක්කන්ටත් ක්‍රියාත්මක වේද? එතෙක් අපි අවදියෙන් සිටිමු. 

I ගයාන් ගාල්ලගේ

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03