ඉන්ධන පිරවුම්හල් පාළුවට ගොසිනි. පැය විසිහතර සේවා පවත්වාගෙන ගිය ඇතැම් පිරවුම්හල් සාමාන්‍ය සේවය පවත්වාගෙන යාම ආරම්භ කොට තිබේ. බොහෝ පෞද්ගලික රථවාහන අත්‍යවශ්‍යම ගමනකට මිස සාමාන්‍ය ගමන් බිමන් වෙනුවෙන් භාවිත නොවේ.
මෙවන් වටපිටාවක් හමුවේ පවතින ආර්ථික තත්ත්වය මත දෛනික ඉන්ධන අලෙවිය 40% කින් පමණ පහළ බැස ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද පසුගියදා පැවසීය. මේ පිළිබඳ යථාර්ථය තවදුරටත් සොයා බැලීමට අපි තීරණය කළෙමු. ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම්වරයා වන කපිල නාඔටුන්න මහතා අප සමඟ සම්බන්ධ විය.
“පසුගිය කාලෙ ඉන්ධන මිල අසීමිත ලෙස ඉහළ ගියා. දැන් වැට් එකෙනුත් බලපෑමට ලක්වෙලා මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ මිල ඉහළ යෑම් මත, අකැමැත්තෙන් වුණත් මිනිසුන්ට පාරිභෝජනය සීමා කරන්න සිද්ධ වුණා. ඒක තමයි අඩුවෙන්න ප්‍රධානම හේතුව."
ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වා දෙන ආකාරයට රටේ ආර්ථිකය සාමාන්‍ය තත්ත්වයේ තිබූ සමයේ පෙට්‍රල් ඩීසල් මෙට්‍රික් ටොන් 5000ක් 4500ක් පමණ දිනකට අලෙවි වී තිබේ. එහෙත් මේ වන විට දිනකට අලෙවි වන පෙට්‍රල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3000ක් 3200ක් පමණ අඩුවී ඇත.
“කාර් එකයි බයිසිකල් දෙකක් තිබුණු කෙනෙක් දැන් පුළුවන් තරම් බයිසිකලේ යන්නේ. ඒත් යන්නේ අත්‍යවශ්‍ය ගමනක් විතරයි. දැන් පොදු ප්‍රවාහන සේවය බැලුවත් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු ගමන් බිමන් සීමා කරලා තියෙන්නේ."
නව ඉන්ධන මිල සංශෝධනය අනුව පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 366ක් ලෙස දැක්වේ. එසේම පෙට්‍රල් 95 ලීටරයක් රුපියල් 38කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 464කි.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 29කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 358ක් ලෙස දැක්වේ. සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 41කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසය. කෙසේ වෙතත් භූමිතෙල් මිල පමණක් පහළ දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. ඒ අනුව භූමිතෙල් ලීටරයක් රුපියල් 11කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 236ක් වේ.
මේ අතර තොරතුරු වාර්තා වන දත්ත අනුව දිනක ඩීසල් අලෙවිය ද මෙට්‍රික් ටොන් 1800 කින් පමණ පහළ වැටී ඇතැයි කියැවේ. ඩීසල් විශාල වශයෙන් භාවිත කළ පොදු මගී ප්‍රවාහන සේවා සහ බහුදින ධීවර යාත්‍රා ක්‍රමයෙන් සිය පාරිභෝජනය සීමා කරමින් සිටින බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.
නව මිල සංශෝධනයත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් බරපතළ විය හැකි බව ඔවුහු කියා සිටිති. පිරවුම්හල් හිමියෝ ද මේ සම්බන්ධව කතා කළහ.
“මේ වෙනකොට අපිට ආයතන පවත්වාගෙන යාම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපිට සේවකයන් අඩු කරන්න සිද්ධවෙලා තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ විවෘතව තැබූ ඉන්ධන පිරවුම්හල් රුසක් දැන් එහෙම විවෘතව තබන්නේ නැහැ. විදුලි බිල ඇතුළු අනෙකුත් ගාස්තු වැඩිවීම හරහා අපිට බලපෑම් තියෙනවා."
දැන් බොහෝ ඉන්ධන පිරවුම්හල් රාත්‍රී නමය වන විට වසා දමන බව පාරිභෝගිකයෝ ද පවසති. එසේම වෙනදා මෙන් පාන්දරින් ඉන්ධන පිරවුම්හල් විවෘත වන්නේ ද නැත. මේ හරහා පීඩාවට පත්වන පාරිභෝගිකයන්ද සිටින බව සඳහන් කළ යුතුය. කෙසේ වෙතත් රාත්‍රී සේවාව සඳහා ප්‍රමාණවත් තරම් පාරිභෝගිකයන් නොපැමිණෙන බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ කියා සිටිති.
“මේ හරහා පාරිභෝගිකයා නම් එතරම් පීඩාවට පත්වෙන්නේ නැහැ. ඔවුන් දන්නවා ඉස්සර රාත්‍රියේ විවෘතව තැබුණු පිරවුම්හල් දැන් විවෘතව තබන්නේ නැහැයි කියලා. ඒ නිසා පාරිභෝගිකයන් අවශ්‍ය ඉන්ධන කල් ඇතුව ලබාගන්නවා. කොහොම වුණත් පිරවුම්හල් වියදම් අවම කරගන්න මේ වගේ තීරණ ගන්න සිද්ධවෙලා තියෙනවා."
කෙසේ වෙතත් අප අවබෝධ කරගත යුත්තේ මෙය හුදෙකලා ගැටලුවක් නොවන බවකි. මේ හරහා පෙනී යන්නේ රට තුළ පවතින ආර්ථික පීඩනයයි. ක්‍රමයෙන් භාණ්ඩ හා සේවා මිල ඉහළ යාමට සාපේක්ෂව ඉල්ලුමේ ද අඩුවීමක් දක්නට ලැබෙමින් තිබේ. සාමාන්‍යයෙන් එවැන්නක් සිදුවන්නේ දැඩි ආර්ථික පීඩනයකට සමාජයක් මුහුණ දෙමින් සිටින විටදී පමණි.
ඉන්ධන බෙදුම්කරුවන් සහ පිරවුම්හල් හිමියන් පවසන පරිදි ඔවුන් මුහුණ දෙන එකම ගැටලුව අලෙවිය පහළ යාම පමණක් නොවේ.
“සංස්ථාව පිරවුම්හල් වෙත ලබා දුන්න සියලු සහන කාල ඉවත් කරලා තියෙන්නේ. ඒත් සංස්ථාව එහෙම කළාට අනික් කොම්පැනි දෙකම පිරවුම්හල්වලට පුළුවන් තරම් පහසුකම් ලබා දෙනවා. මේ ප්‍රශ්නත් එක්ක සංස්ථාවේ බෙදුම්කරුවෝ තවදුරටත් පීඩනයට පත්වෙලා ඉන්නේ."
ඉන්දියානු සහ චීන සමාගම් ද්විත්වය තරගකාරීව තම වෙළෙඳපොළ අත්පත් කරගැනීමේ කාර්යභාරයේ යෙදී සිටියදී ඛනිජ තෙල් සංස්ථාව ක්‍රමයෙන් සිය යාන්ත්‍රණය හකුලා ගනිමින් සිටින බව මේ අනුව පෙනී යයි.
“ඒ සමාගම් බෙදුම්කරුවන්ට දින තුනක ණය පහසුකම් ලබා දෙනවා. අවශ්‍ය නඩත්තු කටයුතු ඇතුළු පහසුකම් සංවර්ධනය නොමිලේ සිද්ධ කරනවා. නමුත් සංස්ථාව පැත්තෙන් ඒ සියලු පහසුකම් ඉවත් කරගෙන."
ඉන්ධන අර්බුදයෙන් නව පැතිකඩ කිහිපයක් අනාවරණය වන මෙම සිදුවීම් පිළිබඳ මහජනතාව දැනුවත් විය යුතුය. මේ වනවිට ඉන්දියානු සහ චීන සමාගම් පාරිභෝගිකයන් වෙතද යම් යම් සහන ලබාදීමේ උත්සාහයක නිරතව සිටියි. එක්තරා ආකාරයකට එය සාධනීය තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය.
කෙසේ වෙතත් ඇතැමකු පවසන පරිදි බලශක්ති ස්වාධිපත්‍යය හිතාමතාම රාජ්‍ය විසින් අතහැර දැමීමට කටයුතු කරමින් සිටියි. මේ හරහා අනාගතයේ උද්ගත වන තත්ත්වය කවරාකාර එකක් වේදැයි පැහැදිලි නැත. කෙසේ වෙතත් නුදුරේදීම සැලකිය යුතු ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් වැසී යනු ඇතැයි අනාවැකි කීමට අපි මැලි නොවෙමු.
I චමිඳු නිසල්