2024 ජනවාරි 13 වන සෙනසුරාදා

අනාගතයේදී කපුවෝ නැති දේවාල!

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 357

කතරගම දෙවියන් පාමුල මහා යුද්ධයකි. කපු මහත්වරුන් දෙදෙනාම සිටින්නේ ඇප පිටය. ඒ ලෝක ප්‍රසිද්ධියට පත්වූ රන්තැටියේ කතන්දරය නිසාය. අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ දරුවාගේ අපලයක් හේතුවෙන් කතරගම දෙවියන්ට පූජාකළ පවුම් 38ක රන්තැටිය අතුරුදන් වූ බවට අංගොඩ ලොක්කා නමැත්තාගේ බිරියගේ පැමිණිල්ලෙන් පඬුපුල් ආසනයද උණුවූයේය. දේව අඩවියේ සිදුවන වංචා දූෂණ හෙළිකරලීමට කතරගම බස්නායක නිලමේ තවමත් සටනේය. අපේ රටේ මහා දේවාල කිහිපයක් ඇත්තේය. එකී දේවාල විහාර දේවාලගම් පනතින් පාලනය වන අතර එම සියලු දේවාලවල වත්කම් ඇතුළු සියලු දේපලවල නිසි කළමනාකාරීත්වය පවත්වාගත යුතු නිසි බලධාරියා වන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස්ය. 1931 අංක 19 දරන විහාර හා දේවාලගම් ආඥා පනතින් රෙගුලාසි පනවා හෝ මෙම මහ දේවාල පාලනය කිරීමේ පරම බලය ඔහු සතුවන්නේය. 

මාධ්‍ය සාකච්ඡාවකදී කතරගම දේවාලයේ ප්‍රධාන කපු සොමිපාල ටී. රත්නායක පැවසූයේ බැතිමතුන් දෙවියන් උදෙසා ලබාදෙන වටිනා ද්‍රව්‍යවල අයිතිය ඇත්තේ දේවාලයට නොව කපුවන්ට බවත් ඔවුන් ඒවා ලබාගන්නා බවත්ය. මෙම ප්‍රකාශයත් රන්තැටි වංචා චෝදනාවත් සමඟ ජනතාව කතරගම දේවාලය වන්දනාමාන නොකරන තැනට වැඩ සිද්ධ වී හමාරය. එහි ප්‍රතිඵල වශයෙන් කතරගම දේවාලයට ලැබෙන ආදායම සියයට 50 කින් පහළ බැස ඇති බවත් දේවාලයට පැමිණෙන බැතිමතුන්ද පඬුරු වශයෙන් ඉතා සුළු මුදලක් පූජාකරන බවත් පසුගියදා පුවත්පත් පිටු පුරා පළවිය. මෙයින් කියැවෙන්නේ ජනතා විශ්වාසය පිළිබඳ ගැටලුවක් බව පැහැදිලිය. 

එහෙත් මහ දේවාලවල පාලනය හරිහැටි සිදු නොකිරීමේ විපාකය මේ වනවිට කතරගම දේවාලයේ කපු මහත්වරු පමණක් නොව පළතුරු වට්ටි දේවාලයට හිස මත තබාගෙන යන කුලීකරුවෝ පවා අත්විඳිමින් සිටිති. කතරගම දේවාලයෙන් මතුවූයේ කතරගම දේවාලයට පමණක් සීමා වූවක් නොව ඉතිරි මහා දේවාලවලද අනාගත ඉරණම වන්නටද පුළුවන. යම් හෙයකින් මහා දේවාල පාලනය නිසි ආකාරයට අනාගතයේ ස්වයං දේවාල ක්‍රමයක් බිහිවිය හැකි බවට මතයක් මෑතක මුහුණුපොතේ පළවිය. ඒ අදහස පළකළේ කොළඹ, රත්නපුර, අම්පාර ආදී දිසා ගණනාවක හිටපු දිසාපතිවරයකු වූ මෙරට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය පරිපාලන නිලධාරියකු වූ සුනිල් කන්නන්ගර මහතාය.

“මුල් කාලයේ කතරගම දේවාලයට වාහන යන්න පුළුවන් පාරක් තිබිලා නෑ. 1945දී තමයි මුලින්ම පාරක් කපා තියෙන්නේ. එතෙක් කතරගම දෙවියන් වන්දනාමාන කරන්න පා ගමනින් ඇවිත් තියෙන්නේ පානම් පත්තුවේ, නැගෙනහිර පළාතේ, මොණරාගල වෙල්ලස්සේ ජනතාවයි. නැගෙනහිර පළාතට ඉන්දියාවෙන් පැමිණි හින්දු භක්තිකයන් පිරිසක් ඒ කාලේ කතරගම ඇවිත් තියෙනවා. අතීතයේ මිනිසුන් දේවාලයට පූජා කළේ පඬුරු. පඬුරු කියන්නේ කාසි. කවුරුන් හෝ දේවාලයට පඬුරක් වෙන් කරනවා කියන්නේ තඹ කාසියක් හෝ රිදී කාසියක් වෙන් කිරීමටයි. ඉස්සර අපේ අම්මල පවා පඬුරු බැන්දේ රිදී සත 10 හරි තඹ කාසිය හරි. පූජා වට්ටියට ඇතුළත් වෙන්නේ පඬුරයි බුලතුයි රසකැවිලියි පළතුරුයි. පාර හැදුවාට පස්සේ කතරගම දේවාලයට පිට පළාත්වලින් මුදලාලිලා ඇවිත් තියෙනවා. දේවාල පූජා වට්ටි සම්ප්‍රදාය ඇරඹී තියෙන්නේ එහෙම බැහැරින් ගිය ව්‍යාපාරිකයන් කතරගම යන්නට ගත් දා සිටයි. ඒ 1950දී පමණ. පූජා වට්ටියට සල්ලි තැබීම පසුකාලීනව එක් වූ දෙයක්. හින්දු භක්තිකයන් ඉන්දියාවේ දේවාලවල දෙවියන්ට රත්රන් කෑලි පූජා කිරීමේ සම්ප්‍රදාය හින්දූන් කතරගම දේවාලය වන්දනාමාන කරන්න ගත් දා සිට ඇරඹී තියෙනවා. දෙවියන්ට රත්රන් පූජා කිරීමේ සම්ප්‍රදාය ඇරඹුණේ එහෙම.” 

මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි %සමාජ හා මානව විද්‍යාත්මක ලිපි^ යන ග්‍රන්ථයේ 185 පිටුවේ පර් යේෂණාත්මක ලිපියකින් පෙන්වා දෙන්නේ කතරගම දෙවියන්, සිංහල බෞද්ධ වෙළෙන්ඳන්ගේ දෙවියන් වශයෙනි. ඔහු එහිදී හඳුන්වන්නේ සමාජ වාණිජකරණය යටතේ මෙරට සමාජයේ වඩාත් ජනප්‍රියතම දෙවියන් ලෙස කතරගම දෙවියන් වන්දනය ඉතා ජනප්‍රිය අංගයක් බවට පත් වී ඇති බවයි.

මුල් කාලයේ පටන් පූජා වට්ටිය පඬුරක් ගැටගසනවා යනු තඹ කාසියක් හෝ රිදී කාසියක් තැබීම වුවද වර්තමානය වනවිට එකී පඬුරට අමතරව මුදල් නෝට්ටු තැබීමද සිදුකරනුයේ දෙවියන් සතුටු කිරීමට වඩා කපු මහත්වරුන් සතුටු කිරීමටය. එහිදී රුපියල් 2000, 5000 නෝට්ටුවලින් සහ නෝට්ටු මල්මාලා දැමීමෙන් තම බලාපොරොත්තුවට අදාළ දේව කන්නලව්ව වඩා හොඳින් කරගැනීමටයි. එය අල්ලස් නිලධාරීන්ටත් මෙතෙක් අසු නොවන්නේ කපු මහතුන් එකී නෝට්ටුව සාක්කුවේ දමා ගනුයේ තිරයෙන් පිටුපස නිසා වන්නට පුළුවන. මෙය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ අනෙකා අභිබවා යමින් තමන් ඉස්මතුවීම සහ තම බලවන්තකම පෙන්වීමේ ආයුධයක් ලෙස පූජා වට්ටියට තබන නෝට්ටු ප්‍රමාණය වර්තමානය වනවිට පත්ව ඇති බවයි.

සුනිල් කන්නන්ගර මහතා පවසන ස්වයං දේවාල ක්‍රමය පිළිබඳ අපි ඔහුගෙන් වැඩිදුරටත් විමසුවෙමු.

“ගම්පහ, මිනුවන්ගොඩ, වෑගොව්ව, ගලේ දේවාලය ඒ වගේ දේවාලයක්. ගමේ සමිතියකින් පාලනය වන මේ දේවාලයේ කපු මහත්වරුන් නෑ. බැතිමතුන් පූජාව රුගෙන පැමිණ පසු, පූජා කිරීමේදී කරන යාතිකාව ලොකු අකුරින් මුද්‍රණය කර කාටත් පේන්න එල්ලා තියෙනවා. ඒ යාතිකාව කියවමින් තමන්ටම පූජාව තියන්න පුළුවන්. මුදල් ඇතුළු වටිනා දේ පූජා කරන්නේ නම් දේවාල කාර්යාලයට භාරදී රිසිට් පතක් ලබාගන්න ඕනෑ.” යැයි කන්නන්ගර මහතා පැවසුවේ එසේය.

මිනුවන්ගොඩ වෑගොව්ව ගලේ දේවාලය වෙල්යායක ගල් තලාවක පිහිටා තිබේ. සාමාන්‍ය දේවාලවල මෙන් කපුවන් විසින් ආවතේව කරනු ලැබීම මෙහි දැකිය නොහැකි අතර තම තමන් පෞද්ගලිකව දේවාලයට ගොස් යාතිකා කර තම බලාපොරොත්තු මුදුන්පත් කරගත යුතුය. මෙම දේවාලයේ පරිපාලන කටයුතු සිදු කරනුයේ සිදුහත් නමැති ගමේ සමිතියකින්ය. මේ දේවාලය තිබෙන ස්ථානයේ 1988 දී මුලින්ම කිරි නුග ගසක් යට පහන් පැලක් පත්තු වූයේ ගමේ සේදිරිස් මාමාගේ වීරියෙනි. ඒ පහන් පැල දැල්වූ ස්ථානය මේ වෙද්දී ගම්භාර දෙවියන් වෙනුවෙන් ඉදිවූ දේවාලයකි. මේ පහන් පැල දැල්වූ කිරි නුග ගස අසල දමිළ වැසියෙක් සෑම වසරකම පාසා මුරුතැන් දානයක් දී ඇත්තේය. දෙවියකු නැතද මෙහි බලයක් තිබෙනු ඇතැයි වෑගොව්වේ මිනිසුන් විශ්වාස කිරීම විමලරත්න කුමාරගම කවියාගේ අයියනායක කවි පන්තිය සිහි ගන්වයි. කිරි නුග ගසක් අසල පහන් දැල්වූ ගම්මුන්ට දේවාලයක් ඉදි කරදී තිබෙන්නේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකි. ඒ තම ව්‍යාපාරික අරමුණු ඉටුවීමේ බාරයක් ඔප්පු කිරීමටය.

“මහ දේවාල වගේම තවත් දේවාල වර්ගයකි, මෙරට විහාර ආශ්‍රිත පවත්වාගෙන යන දේවාල. බෙල්ලන්විල, කැලණිය, නවගමුව විහාර ආශ්‍රිත දේවාලවල බාරකරු වන්නේ එකී පන්සල්වල විහාරාධිපති හිමිවරුන්. මේ දේවාලවලට කෙරෙන පුද පූජා, රන්, රිදී, මුතු, මැණික් ඇතුළු ඒ ලැබෙන භාරහාරවල අයිතිය හිමිවන්නේ පන්සලේ හාමුදරුවන්ට. ඒ ගැන කිසිවකු කතා කරන්න යනවාදැයි සැකසහිතය. කතරගම දේවාලය ගැන කතා කරන කවුරුත් පන්සලේ දේවාලයට දෙන ඒවාට මොකද වෙන්නේ කියලා තර්ක කරයිද? දෙන මනුස්සයා දුන් දේ ගැන හිත හිත ඉන්නේ නෑ. ඒක දෙවියන්ට පූජා කළා කියා හිත හදාගන්නවා.

දැනට ප්‍රශ්නය ඇත්තේ කතරගම පමණක් වුවත් අනාගතයේ වෙනත් මහ දේවාලවලත් ඔය තත්ත්වය ඇතිවන්න පුළුවන්. එහෙයින් වහ වහා දේවාලවලට පූජා කරන වටිනා දේට අදාළ රෙගුලාසි පැනවීම කාලෝචිතය. එහිදී වෑගොව්ව ගලේ දේවාලයේ ගම්භාර සූනියම් දෙවියන්ට පුද පූජා තබන ගමේ ක්‍රමය ගුරු කරගත හැකිය. පූජා වට්ටියේ ඉහළින්ම තබා දෙන නෝට්ටු සංතෝසමෙන් සෑහීමට පත්වීමට කපුවන්ද දැනගත යුතුව ඇත. නැතිනම් අනාගතයේ කපුවන් රහිත දේවාල බිහිවීම වළක්වා ගනු අසීරුවනු ඇත.”

මේ ආකාරයට සුනිල් කන්නන්ගර මහතා යෝජනා කරන සාධනීය අදහස පිළිබඳව ජනතාව පමණක් නොව කපු මහත්වරුන්ටද කල්පනා කිරීමට වැදගත් කරුණක් තිබේ. මේ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඇතුළු පරිපාලනමය බලධාරීන්ටද වගකීමක් ඇත්තේය. අවසාන වශයෙන් පැවසීමට ඇත්තේ යම් හෙයකින් දේවාලවලත් ස්වයං සේවා ඇරඹුණහොත් කපුවන්ටත් දෙයියන්ගේම පිහිටමය.

I සසංක චලන ගිම්හාන