2024 අවුරුද්ද ශ‍්‍රී ලංකාවේ මැතිවරණ වසරක් විය හැකිය. මැතිවරණ ගණනාවක ආරම්භය බව සඳහන් කළ යුතුය. අගෝස්තු මාසයේ මැද භාගය වනවිට රටට අලුත් ජනාධිපතිවරයකු පත්කර ගන්නට සිදුවේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා අනුප‍්‍රාප්තිකයකු වශයෙන් අර්බුදයකට පත් වූ රටක් තාවකාලිකව ස්ථාවර කළ අතර මෙතැනින් ඔබ්බට ගමන් කිරීම සඳහා ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනධිපතිවරණයකින් අලුත් වරමක් ලබාගත යුතුවේ. අනෙක් අතට පාර්ලිමේන්තු මැතිවරණයකටද දින නියමිතය. ජනාධිපතිවරණයට කලින් හෝ පසුව මෙම වසර තුළ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නට නියමිතය. පළාත් පාලන ආයතන හා පළාත් සභා ඡන්දයද මතක නැති කළ හැකි එකක් නොවේ. වසර හතරක කාලයක් පළාත් සභාව ආණ්ඩුකාරවරයකුට සීමා වී තිබේ. එය මහජතාවගේ පරමාධිපත්‍යයට නිගරුවකි. පළාත් සභා සහ පළාත් පාලන ආයතන මෙම වසරේ කෙසේ වෙතත් ලබන 2025 අවුරුද්දේ අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව පැහැදිලිය.
ඡන්දයක් පවත්වන සංවර්ධනය වන රටවල් එහිලා විනාශ කරන සම්පත් ප‍්‍රමාණය සුළු පටු නොවේ. ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසය පොරොන්දුවලින් ගහණය. මහජනතාවට සහන දෙන සහ තරුණන්ට ආණ්ඩුවේ රස්සා සපයන පොරොන්දුව පවා ඉහිලිය නොහැකි බරකි. එපමණකටම ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පිරිහී, දරුණු අර්බුදයක පවතී. ඡන්ද ඉදිරියේ පොදු ජනතාව සහ පොදු ජනතාව බලයට පත්කරන ආණ්ඩු ගැන මුලින්ම කතාකරන්නට මෙය හොඳ කාල පරිච්ඡේදයකි.
• නැති සම්පත් වෙන්දේසිය
සිංගප්පුරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ මහතා ශ‍්‍රී ලංකාවේ ඡන්ද යනු නැති සම්පත් වෙන්දේසි කිරීමක් ලෙස හඳුන්වා තිබේ. සිංගප්පූරුව ගොඩනැගු, නවතම ආර්ථික දර්ශනයක් අනුව රට පොහොසත් තැනකට කැඳවූ ලී ක්වාන් යූ මහතා ශ‍්‍රී ලංකාව ගැන එවැනි ප‍්‍රකාශයක් කරන්නේ ඇයි? ඡන්ද සටනට එන දේශපාලන පක්ෂ හා ඒවායේ නායකයෝ මහජනතාවට සහන දෙන බවට පොරොන්දු වෙති. රට ගොඩනැගීම කෙසේ වෙතත් ඡන්දදායකයන්ගේ කැමැත්ත දිනාගැනීම සඳහා මෙම පොරොන්දු උපයෝගී කරගනිති. ඇත්ත වශයෙන්ම මෙම පොරොන්දු ඉෂ්ඨ කිරීම සඳහා වත්කමක් ආණ්ඩුවකට නැත. සම්පත් නැති බව දන්නා නමුත් පාලකයෝ වෙන්දේසිය නතර නොකරති. වැඩිම ජන අවධානයක් හා ඉහළම ජනප‍්‍රියත්වයක් උදෙසා වැඩිම ප‍්‍රමාණයක් බෙදන්නට ඔවුන් සූදානම්ය.
අතීතයේ මෙවැනි නොමිලේ සැපැයීම් ගැන උදාහරණ තිබේ. හිටපු අගමැතිනියක වරෙක හඳෙන් හෝ හාල් ගෙනැත් දෙන බව කියා සිටියේ හාල් සේරු දෙක බැගින් නොමිලේ සපයමින් තිබියදීය. නමුත් අවසානයේදී හාල් කූපන් පමණක් නොව, වී හෝ සහල් සුළු ප‍්‍රමාණයකින් හෝ ප‍්‍රවාහනයට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් බලපත‍්‍රයක් ගන්නට සිදුවිය. තවත් අවස්ථාවක ධාන්‍ය රාත්තල් අටක් දෙන බව කියැවුණ අතර බලයට පත්වූ පසු ධාන්‍ය ඕනෑතරම් ගන්නට වෙළඳ පොළේ ඇති බව කියා සිටියේ එය ඉෂ්ඨ කරන්නට පහසු නැති ඡන්ද පොරොන්දුවක් බව නැවතත් සහතික කරමින්ය. රුපියල් විසි පන්දහසක අනිවාර්ය ඉතිරි කිරීම්, දස ලක්ෂ ගණනින් රුකියා, අධ්‍යාපනයට අවස්ථා, සෑම පවුලකටම නිවෙසක් වශයෙන් දිග ලැයිස්තුවක් ඡන්ද පොරොන්දු වශයෙන් ඉදිරිපත් කළ බව දැක්විය හැකිය.
කෙසේ නමුත් හිස් භාණ්ඩාගාරයක් සහිතව රටේ බලය ලබාගන්නා පාලකයෝ ජනතාවට සහන වෙනුවට විශාල වශයෙන් බදු බර පටවති. පාලකයන්ගේ වියදම්වල කිසිම පාලනයක් නැත. ධන කුවේරයන් සේ අමාත්‍යංශ හසුරුවති. මෙය නැති සම්පත් වෙන්දේසියකි.
• ජනාධිපතිවරණයේ මහජන අභිලාශ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ගණනාවකට යට වී සිටින ශ‍්‍රී ලංකාව එහි ගැහැටින් බලවත් දුෂ්කරතාවයක පසුවේ. ණය නොගෙන, නිසි කළමනාකරණයකින් පසු රට පාලනය කරන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදිටන් කරගෙන සිටි අතර විමල් විරවංශ හා වාසුදේව නානායක්කාර යන එවකට ආණ්ඩුවේ බලවත් ඇමැතිවරු මූල්‍ය අරමුදලට නොගොස් රට ඉදිරියට ගෙන යා හැකි බව තරයේ ප‍්‍රකාශ කරමින් සිටියෝය. නමුත් ඉතාම දුර්වල තැනකට වැටුණ පසු දේශීය හා විදේශීය වත්කම් පිරිහී ආර්ථිකය ඉරිතලා ගිය අතර මූල්‍ය අරමුදල හමුවට යනවිට ඔවුහු තද කොන්දේසි යෝජනා කළහ. හදිසි මුදල් සංචිත ලබාගැනීමේදී කොන්දේසිවලට අවනත වීම හැර විකල්පයක් නොතිබුණි.
මූල්‍ය අරමුදලේ සහාය ඉල්ලා සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය අනුප‍්‍රාප්තිකයා වශයෙන් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තු වරමකින් රට භාරගන්නට ඉඩදී ඉවත්වන විට මූල්‍ය අරමුදලේ කොන්දේසි සාකච්ඡා කරමින් තිබුණ බව රහසක් නොවේ. කෙසේ වෙතත් දැනට පවතින අධික බදු, පුද්ගල බදු ලිපිගොනුවක් ආරම්භ කරන ටින් අංකය හා දේශීය සහ විදේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම මූල්‍ය අරමුදලේ කොන්දේසි වශයෙන් ජනතාව පීඩාවකට පත්කර ඇත. ඛනිජ තෙල් සංස්ථාව, විදුලිය බල මණ්ඩලය ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම ආවරණය කරන මිල නියම කිරීමේ ප‍්‍රතිපත්තියද ඒ අතර ඇත.
මෙකී කොන්දේසි සහිතව ඉදිරියට යා හැකිද? ජනතාව පීඩාවට පත්කර ඇති ආර්ථික තීන්දු ඉදිරි ඡන්දවලට බලපාන්නේ කෙසේද? මහජනතාව හමුවට යන ජනාධිපති අපේක්ෂකයෝ සහන දෙන පාලනයක් නිර්මාණය කරන බවට ශපථ කරනු ඇති අතර එය ශ‍්‍රී ලංකාවේ අනාගතය විහිදුවන දිශාව ගැන විශාල අවධානයක් අවශ්‍ය කෙරේ.
• ලෝකය පුරා සහනශීලී වැඩපිළිවෙළ ඉදිරියට
මෙම වසරේදී ලෝකයේ රටවල් හැත්තෑවක මැතිවරණ පැවැත්වෙන අතර එහිදී ඡන්දදායකයන් බිලියන දෙකක් පමණ පිරිසක් ඡන්දය භාවිතා කරනු ඇතැයි ප‍්‍රකාශ වේ. ලෝකය පුරා පැවැති ආර්ථික දුෂ්කරතා මැදින් යළි නැගී සිටින අතරවාරයේ මැතිවරණ ප‍්‍රචාරණය සමග ලෝකය පුරා ඇති විය හැකි ස්වභාවය අවධානයට ගත යුතුය. ලෝකය පුරා ජනතාව සනසවන ප‍්‍රතිපත්ති සමග අලුත් ව්‍යුහයකින් ප‍්‍රශ්න මතු කරන අමුතුම ස්වභාවයක් මතුකරනු ඇති බව විශ්වාස කෙරේ. ශ‍්‍රී ලංකාව හා සමානව ලෝකයේ බොහෝ රටවල මැතිවරණය ධනය විසුරුවන මහා පරිමාණ කෝලාහලයක් වන අතර එයින් ඇති කරන අවිනිශ්චිතභාවය ආර්ථිකයටද සියුම් බලපෑමක් එකතු කරනු ඇත.
මෙම ඡන්ද සැලැස්ම තුළ ඇමෙරිකාව හා ඉන්දියාව පසුවේ. බංගලිදේශයේ මැතිවරණය පසුගියදා අවසන් වූ අතර හිටපු අගමැතිනි ශික් හෂීනා නැවතත් බලයට පත්විය. මහජනතාවට සහන සමඟ යහපාලනය ලබාදෙන බවට එතුමිය ඇයගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් කරුණු ඉදිරිපත් කළාය. මහා පරිමාණ විදුලිය යෝජනා ක‍්‍රම සහ අධිවේගී මාර්ග සැලසුම් සහිතව ස්මාර්ට් බංගලාදේශයක් සම්බන්ධයෙන් කළ කරුණු දැක්වීම් ජනතාව පිළිගෙන තිබේ. භූතානය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ඉරානය, මොන්ගෝලියාව, දකුණු කොරියාව, පකිස්තානය, බි‍්‍රතාන්‍ය හා තායිවානය ඇතුළු රටවල් මෙම වසරේ මැතිවරණ පවත්වන රටවල් අතර ඇත.
මැතිවරණ සමග මුදල් විශුද්ධිකරණය බහුලව සිදුවේ. 2024 වසරේදී කළු සල්ලි සැලකිය යුතු ප‍්‍රමාණයක් මෙම රටවල් හැත්තෑවක මැතිවරණ සමග ලෝක ආර්ථිකයට එකතු වනු ඇතැයි සැලකේ. ආධාරකරුවන්ගේ වියදම් සහිත දැවැන්ත මැතිවරණ ප‍්‍රචාරණය ගැන අත්දැකීම් ආසියාවට පොදු කාරණා බව සඳහන් කළ යුතුය. අපේක්ෂකයන්ගේ අනිසි වියදම පාලනය කරන අතර පක්ෂ අරමුදල් සම්බන්ධ විනිවිද පෙනෙන පිරිවැය ක‍්‍රම අනිවාර්ය කර ඇති රටවල පවා මැතිවරණ අතරතුර නිති විරෝධී මුදල් බෙදන සිද්ධි පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්ව ඇත.
• මැතිවරණවලට කලින් සහන
ඡන්ද හැත්තෑවක් ලෝක ආර්ථිකයට ඇතිකරන බලපෑම සුළුකොට තැකිය යුතු නැත. මැතිවරණයෙන් පසු අලුතින් පත්වන ආණ්ඩු ඔවුන්ගේ අලුත් ප‍්‍රතිපත්ති අනුව රටවල්වල ගන්නා තීරණ කර්මාන්ත, ව්‍යාපාර හා ජාත්‍යන්තර සබඳතා ඉදිරියේ සංකීර්ණ විය හැකිය. ශ්‍රී ලංකාව පවා ඡන්ද දායකයන්ට බලපෑම් කරන රටක් බව පෙන්වා දිය යුතුය.
අතිශය තීරණාත්මක තැනකට පත්ව ඇති ආර්ථිකය හදන්නට ආණ්ඩුව වෑයම් කරමින් සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එයට විධිමත් වැඩපිළිවෙළක් සකස් කර ඇත. මාස හතළිස් අටක සැලැස්මකි. එයින් මාස කිහිපයක් ගතවී තිබේ. ආණ්ඩුවට අනුව ආර්ථිකය ස්ථාවර කරන්නට තවත් මාස දොළහක් හෝ විසිහතරක් අතර කාලයක් ගතවේ. දැනට කර ඇති ප‍්‍රතිසංස්කරණ තීන්දුවලට ජන කොටස් අතර විශාල විරෝධයක් ඇත. වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ පාරට බැස විරුද්ධත්වය අවුළුවමින් සිටී. මෙම තත්ත්වයට පිළිතුරු වශයෙන් ලබන ජූනි මාසය වනවිට කිසියම් සහනයක් ලබාදිය හැකි බව ප‍්‍රකාශ වී ඇත. විදුලිය බිල පවා අඩුකරන දින වකවානු ප‍්‍රමාද කිරීම තුළ මැතිවරණ ඉලක්ක පවතින බව පෙනේ. අවුරුදු දෙකක් දක්වා කාලයක් ආර්ථිකය ස්ථාවර කිරීමට අවශ්‍ය බව කියන ආණ්ඩුව ජූනි මාසය වනවිට සහන දෙන බව ප‍්‍රකාශ කිරීම තුළ මැතිවරණවලදී කළ හැකි බලපෑම ගැන ඉඟියක් පවතී. මේවායෙන් සිදුවන අගතිය තක්සේරු කළ යුතු අතර ඡන්ද ඉදිරියේ ආර්ථිකය අවදානමකට ලක්කිරීම නැවත වාරයක් අර්බුදයකට අත වැනීමක්ද යන්න ගැඹුරින් සලකා බැලිය යුතු ප‍්‍රශ්නයකි.
I සාරා කන්දෙගොඩ