පේරාදෙණිය රෝහලේ නිල කටයුත්තකට සහභාගි වීමට පසුගියදා එහි ගිය අවස්ථාවේදී අධ්‍යාපනය ලද විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයටත් පැමිණෙන්නැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපතිතුමිය වන මහාචාර්ය වසන්ති පින්ටෝ මහත්මිය කළ ආරාධනය සතුටින් පිළිගතිමි.
යෞවනයේ සොඳුරු වකවානුවක උසස් අධ්‍යාපනය ලද විද්‍යස්ථානයට නැවත පා නැගීමට අවස්ථාව ලැබීම, එම අතීත මතකයන් නැවත ආවර්ජනය කිරීමට ලැබීම, ගෞරවය මුසු සතුට ගෙන දෙන මොහොතක් විය. එම හැඟීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහිම අධ්‍යාපනය ලද, සුවිශේෂී වෘත්තීය කැප කිරීමක් සිදුකොට සෞඛ්‍ය ලේකම් ධුරය භාර ගැනීමට මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාටත්, අප විශ්වවිද්‍යාලයෙහිම විද්‍යාර්ථි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාටත් එසේම වන්නට ඇතැයි විශ්වාස කරමි.
අම්මාත් තාත්තාත් උසස් අධ්‍යාපනය ලද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි දිනක මමද අධ්‍යාපනය ලැබිය යුතු බවට පාසල් සමයෙහි සිතෙහි තිබුණු අනාගතවාදී බලාපොරොත්තුව 1992 වසරේ දිනක සැබෑ විය.
එම වර්ෂයේදී අපගේ කණ්ඩායමට මා ඇතුළත් වනවිට දකුණු පළාතේ පාසලකින් පේරාදෙණිය වෛද්‍ය පීඨයට පැමිණ සිටියේ මා පමණක් වන අතර හඳුනන කිසිවකුත් නොමැතිව හිල්ඩා ඔබේසේකර ශාලාවෙහි නවාතැන් ගත් පළමු දින කිහිපයෙහි හුදෙකලා බවකුත්, නවක වදය පිළිබඳව භීතියකින් පෙළුණත්, නව පරිසරයත්, අලුත් මිත්‍ර සමාගමත් එම හැඟීම ක්‍රමයෙන් යටපත් කිරීමට උපකාරී විය.
කෙටි කලකින් පසු එළඹි වසත් සමය සුන්දර රොබරෝසියා මලින් ගලහ මාර්ගය අලංකාර කළ අතර, සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨයෙහි විවිධ නාට්‍ය ඇතුළු කටයුතුත්, අතිශය මනරම් පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි පරිසරයත්, නුවර එකල පැවති සෞම්‍ය කාලගුණයත්, සාපේක්ෂ වශයෙන් දිගු වෛද්‍ය අධ්‍යාපනයේ පීඩනය ක්‍රමානුකූලව මගහරවාලීය.
නිසලව ගෙවුණු පළමු දෙවසරෙන් පසු තුන්වැනි වසරේදී තාත්තා අධ්‍යාපන ඇමැති ධුරයට පත්වීමෙන් පසුව විශ්වවිද්‍යාල අභ්‍යන්තර නේවාසික ශිෂ්‍යයෙක් හැටියට මාර්ස් ශාලාවේ ගතකරන සමය විශේෂ වන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණවලට මටත් සම්බන්ධ වීමට සිදුවීමත් එහි පීඩනය දෙයාකාරයකින් දරා ගැනීමට සිදුවීමත්ය.
මෙතෙක් මා දන්නා තරමට (නිවැරදි කිරීමට යටත්ව) නිදහසින් පසුව පියා අධ්‍යාපන ඇමැති ධුරය දරන සමයෙහි දරුවකු අභ්‍යන්තර නේවාසික ශිෂ්‍යයකු වශයෙන් අධ්‍යාපනය හදාරා ඇත්තේ මා පමණි. එවැනි වටපිටාවක් යටතේ අධ්‍යාපන ඇමැතිවරයාට විරුද්ධව 1997 දී ප්‍රබල විරෝධයක් මතුවූයේ තාත්තා විසින් නවක වදය වැළැක්වීමේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි. සමස්ත විරෝධයෙන් කුඩා කොටසක් මාගේ ශරීරයටද අවශෝෂණය වී තිබුණු අතර ඒ වනවිට සාම්ප්‍රදායික ''විශ්වවිද්‍යාල උණ'' මටද බෝවී තිබිණි. එහි ප්‍රතිඵලය ලෙස අධ්‍යාපන ඇමැති තාත්තාගේ අභිමානයට අභියෝග කිරීමට වෛද්‍ය ශිෂ්‍ය පුතාට අවශ්‍ය විය.
උදෑසන සිට සිංහයකු සේ දස අතේ අණදෙන අධ්‍යාපන ඇමැතිතුමාගේ අභිමානය අභියෝගයට ලක් කිරීමට විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වශයෙන් මා ගත් අහිංසක උත්සාහය වූයේ නිවෙස තුළදී ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු නොදීමත් ඉවත බලාගෙන ගමන් කිරීමත්ය. එවැනි දිනෙක තාත්තා උස් හඬින් ආලින්දයේ සිට ''දැන් හැදෙන උන් දෙමව්පියන්ට සලකන්නට දන්නේ නැතැයි'' පවසන්නේ මට ඇසෙන්නට බව මම හොඳින් දැන සිටියෙමි.
ඉන් දීර්ඝ කාලයකට පසුව තාත්තා දැරෑ අධ්‍යාපන අමාත්‍ය ධූරයෙහිම කෙටිකලකට කටයුතු කිරීමට මා හට අවස්ථාව ලැබුණු අතර හිටපු අධ්‍යාපන අමාත්‍යවරයකුගේ දරුවකු එවැනි අවස්ථාවක් ලද ඉතිහාසයේ එකම සහ විරල අවස්ථාව ලැබීමට මා හට දෛවෝපගතව ඉඩ සැලසුණි. එම කාලය තුළදී එම ධූරයෙහි භාරදූර බවත්, ඔහු ඉදිරිපත් කළ අණපනත්වල වැදගත්කමත් විශේෂයෙන් අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසුණි.
තාත්තා එම ධුරය දරන කාලයෙහි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයට මා පිවිස ඇත්තේ අවස්ථා දෙකක දී පමණක් වන අතර ඉන් එක් අවස්ථාවක් වන්නේ වෛද්‍ය පීඨයෙහි එවක පීඨාධිපති ධුරය දැරෑ මහාචාර්ය නිමල් සේනානායකයන්ගේ ඉල්ලීම පරිදි අප වෛද්‍ය පීඨයෙහි පැවති පැරුණි ගොඩනැගිලි වෙනුවෙන් නව ගොඩනැගිලි සංකීර්ණයක් ලබාගැනීමට කරන ලද ඉල්ලීමට අනුව පැමිණි ගමනයි.
එම ගමනෙහි ප්‍රතිඵලයක් හැටියට 1950 දශකයෙහි සිට ඉදිකොට අබලන්ව පැවැති වෛද්‍ය පීඨයෙහි පැරුණි ගොඩනැගිලි වෙනුවට නව ගොඩනැගිලි සංකීර්ණ 02ක් ලබාදීමට තාත්තා එකඟ විය. අද එම ගොඩනැගිලි සංකීර්ණවල කටයුතු අවසන් වී වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් වෙනුවෙනුත්, වෛද්‍ය අධ්‍යාපනයෙහි මතු උන්නතිය වෙනුවෙනුත් ඉතා ඉහළින් ප්‍රයෝජනයට ගනු දක්නට ලැබීමෙන් විශාල සතුටක් බුක්ති විඳිමි.
එම කටයුතු ඉතාම සාර්ථකව කරගෙන යාමට වර්තමානයෙහි උරදෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි උප කුලපති මහාචාර්ය එම්.බී. ළමාවංශ මැතිතුමාටත්, පීඨාධිපතිතුමිය මහාචාර්ය වසන්ති පින්ටෝ මැතිණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් මාගේ ගෞරවයත්, ස්තූතියත් පිරිනමමි.
I වෛද්‍ය රමේෂ් පතිරණ