2024 ජනවාරි 13 වන සෙනසුරාදා

ආණ්ඩුව ලෝකෙට ණයයි: ජනතාව බැංකුවලට ණයයි

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 58

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ නවතම සමීක්ෂණයක් අනුව හෙළිවී ඇත්තේ රට තුළ පවතින උග්‍ර ආර්ථික අර්බුදය නිසා මේ වනවිට මෙරට පවුල්වලින් සියයට 60.5ක මාසික ආදායම පහත වැටී ඇති බවය. එසේ ආදායම පහළ ගොස් තිබියදී පවුල් ප්‍රතිශත 91ක සාමාන්‍ය මාසික වියදම ඉහළ ගොස් ඇති බවද හෙළිවී තිබේ. මෙලෙස වියදම ඉහළ නැග ඇත්තේ භාණ්ඩ හා සේවා කාණ්ඩවල මිල වැඩිවීම නිසාය. සමාජයේ මධ්‍යම සහ පහළ ස්ථරවල ජනතාවට මෙම මිල වැඩිවීම විශාල ලෙස බලපා තිබේ.

මෙලෙස වියදම වැඩිවීමට තාවකාලික සහනයක් වශයෙන් ණය ලබාගැනීමට ඔවුන්ට සිදුව තිබේ. රටේ පවුල්වලින් සියයට 22ක් ආර්ථික අර්බුදය නිසා ලබාගත් ණය හේතුවෙන් පීඩාවට පත්ව සිටිති. මාසික වියදම වැඩිවූ පවුල් අතරින් සියයට 99.1කට එයට හේතුව වී ඇත්තේ ආහාර වියදම ඉහළ යාම බව සමීක්ෂණය කියයි. එසේම සියයට 83ක ගමනාගමන වියදමද ඉහළ ගොස් තිබේ.

රටේ අධ්‍යාපනය ලබන්නන් වන වයස අවුරුදු 3-21 අතර සියයට 54.9ක ප්‍රමාණයෙන් සියයට 53.2කට ලිපිද්‍රව්‍යවලට යන වියදම නැවැතීමට හෝ සීමා කිරීමට සිදුව තිබේ. තවත් 44ක ප්‍රතිශතයකට අලුත් නිල ඇඳුම් මිලදී ගැනීමට, පාවහන්වලට යන වියදම කපා හැරීමට හෝ මිලදී ගැනීම් නැවැත්වීමට සිදුව තිබෙන බවද දැක්වේ.

එසේම ආර්ථික අර්බුදය සමයේ ජනතාවගෙන් සියයට 29ක් විවිධ රෝගවලට ගොදුරු වී ඇත. එයින් සියයට 7කට පමණ සෞඛ්‍ය ප්‍රතිකාර ගන්නා ක්‍රියා පටිපාටිය වෙනස් කිරීමට සිදුව තිබේ. මෙයින් අදහස් වන්නේ මුදල් ගෙවා පෞද්ගලික ප්‍රතිකාර ලබාගත් ඔවුන් නොමිලේ ප්‍රතිකාර ලබාගැනීමට පෙළඹීමකි.

එලෙස ක්‍රියා පිටිපාටිය වෙනස් කළ පිරිසෙන් 35.1ක ප්‍රතිශතයක් තමන් ප්‍රතිකාර ගන්නා ස්ථානය වෙනස් කර ඇත. එපමණක් නොව සියයට 33.9ක ප්‍රමාණයක් මුලදී ප්‍රතිකාර ලබා නොගෙන රෝගය උත්සන්න වූ පසුව පමණක් ප්‍රතිකාර ලබාගැනීමට පෙළඹී සිටිති. ප්‍රතිකාර ගන්නා ක්‍රියා පටිපාටිය වෙනස් කළ පිරිසගෙන් සියයට 81.7ක් පවසා ඇත්තේ එයට හේතුව වන්නේ මුදල් නොමැතිකම බවය. මේ හේතුවෙන් අකාලයේ රෝග නිසා මියයන ප්‍රමාණය වැඩි වී තිබේ. නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටක මෙවැනි තත්ත්වයක් උද්ගත වීම ඛේදජනක වේ.

ආදායම් අඩු වූ පවුල්වලින් 73.6ක ප්‍රතිශතයක් ඒ වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද සමීක්ෂණ හෙළිකරයි. ඉතාම කුඩා ප්‍රතිශතයක් වන 6.6ක් අමතර රුකියාවක් හෝ ආදායම් මාර්ගයක් සොයාගෙන තිබේ. මෙලෙස රුකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැති පවුල් ඒ වෙනුවෙන් ගෙන ඇති පියවර වන්නේ ණය ගැනීම, උකස් තැබීම හා අනෙක් අයගෙන් ආහාර හෝ මුදල් ඉල්ලා ගැනීම වෙයි. රටේ අමතර යාචකයන් පිරිසක් මේ නිසා බිහිවී ඇති අතර ඇතැමුන් මෙලෙස ඉල්ලා ගැනීමට ඇති ලජ්ජාව නිසා ආහාර නොගෙන සිටීමට පෙළඹී සිටී. සමහර දෙමාපියන් තමන් ආහාර නොගෙන තම ආහාර වේල පවා දරුවන්ට දීමට පෙළඹී සිටින බවද පෙනෙන්නට තිබේ. මේ තත්ත්වය අවම කිරීමට ස්ථීරසාර විසඳුමක් ලැබෙන බවක්ද දක්නට නැත.

මෙම ආර්ථික අර්බුදය ආරම්භ වී ඇත්තේ 2019 පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වන අතර ඊට පසු ඇතිවූ කොවිඩ් අර්බුදය නිසා තත්ත්වය තවත් උග්‍ර වී ඇත. ආර්ථික අර්බුදය සමග ශ්‍රී ලාංකිකයන්ට අභියෝග රැසකට මුහුණදීමට සිදුව ඇති අතර සිය පවුල්වල සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීමද ප්‍රධාන වන බව දැක්වේ.

මෙම අර්බුදය හමුවේ විශාල හානියකට ලක්ව ඇත්තේ වතු කම්කරු ප්‍රජාවයි. ඔවුන්ගෙන් සියයට 80කට අධික ප්‍රමාණයකට තම දෛනික ආහාර වේල් නිසි පරිදි සපයා ගැනීමට නොහැකි වී ඇති බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය පසුගියදා සඳහන් කළේය. වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1000ක අවම වැටුපක් ලබාදීමට නීති පනවා තිබුණද වැඩි කොටසකට එම වැටුප ලබාගැනීමට නොහැකි වී තිබේ. එයට හේතුව එම වැටුප දීමට වතු හිමියන් කොන්දේසි පැනවීමය. ඔවුන් දෛනික වැඩ ඉලක්ක පනවමින් කටයුතු කරන නිසා රුපියල් 1000 වැටුප හිමිවන්නේ සමස්ත වතු කම්කරුවන් සියයට 30-35 අතර ප්‍රමාණයකට බව එම සංගමයේ ලේකම් ජේ.එම්.ඒ. ප්‍රේමරත්න පවසයි. භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම නිසා දෛනිකව ලබාගත යුතු අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් රුපියල් 1000කට වැඩි මුදලක් වැයවන බව ඔහු කියයි. මේ නිසා වතු කම්කරුවන්ට අවම වශයෙන් රුපියල් 2000ක මුදලක් වැටුප් ලෙස ලබාදිය යුතු බව ලේකම්වරයා අවධාරණය කරයි.

මේ පිළිබඳ අදාළ පියවර ගැනීම සඳහා කඩිනමින් පඩිපාලක සභාව කැඳවන ලෙසට හෙතෙම බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. වතු කම්කරුවන්ට ආහාර නොලැබීම නිසා විශාල වශයෙන් පෝෂණ ගැටලු ඇතිවී ඇති බව පෙන්වා දෙන හෙතෙම ඒ හේතුවෙන් වැඩිදෙනාගේ සෞඛ්‍ය තත්ත්වය බිඳවැටී ඇති අතර දරුවන්ද අධ්‍යාපනය ලබන පාසල්වලින් ඉවත්වී යාමට තරම් තත්ත්වය බරපතළ වී ඇති බවද පෙන්වා දෙයි. වතු කම්කරුවන්ට යහපත් ආර්ථික තත්ත්වයක් ඇති කරන බවට දේශපාලනඥයන් ලබාදෙන පොරොන්දු ව්‍යාජ බව මේ වනවිට සනාථ වී ඇතැයි ඔහු කියයි.

මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳ රාජ්‍ය ආයතන මගින් සහ අන්තර්ජාතික පිළිගත් සංවිධාන මගින් නිකුත් කරන නිවේදන පිළිබද වගකිවයුත්තන් අවධානයක් යොමු නොකිරීම ඛේදනීය තත්ත්වයක් බවයි. එම නිවේදනවල ඇති අඩුපාඩු පිළිබඳ කතා කරන අය ඒවායින් පෙන්වා දෙන අඩුපාඩු නිවැරදි කිරීමට පියවර ගන්නා බවක් පෙනෙන්නට නැතැයි ඔහු කියයි. එසේ පිළියම් නොයොදන්නේ නම් ඒවා නිකුත් කිරීමෙන් ඇති ප්‍රතිඵලය කුමක්ද යන්න ඔහු විමසයි.

''ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ ආර්ථික දත්ත අනුව ප්‍රකාශ වන්නේ 2022 මාර්තුවලට පසුව රටේ සිදුවූ වෙනස්වීම් ගැනයි. ආර්ථික අර්බුදය ඇතිවීමෙන් පසුව ඇතිවූ තත්ත්වයයි. ඒ අනුවා 2022 මාර්තු මාසයට පසුව පවුල් ලක්ෂ පනස් හතක පමණ එනම් සියයට 60.5ක පමණ ආදායම පහළ ගොස් ඇති බව සඳහන්. පවුල් සියයට 91ක හෙවත් ලක්ෂ 51ක පමණ වියදම ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස ආදායම අඩුවී වියදම ඉහළ යාම නිසා දරිද්‍රතා මායිමෙන් පහළට වැටෙන සංඛ්‍යාව වැඩිවෙනවා. එහෙත් ඒ සංඛ්‍යාව කොපමණද යන්න පිළිබඳ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දත්ත ඉදිරිපත් කරන්නේ නැහැ. කෙසේ වුවත් රටේ සමස්ත පවුල් සංඛ්‍යාවෙන් පවුල් ලක්ෂ 31ක් පමණ ණයගැති බවෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා.

පවුල් හයලක්ෂ අනූ හත් දහසකට අධික ප්‍රමාණයකට දිනපතා අවශ්‍ය ආහාර සපයා ගැනීමේ දුෂ්කරත්වයට පත්වෙලා සිටිනවා. මේ අතරින් පවුල් සියයට 11.9ක් හෙවත් පවුල් තුන් ලක්ෂ හැත්තෑ දෙදහසකට අධික ප්‍රමාණයක් ජීවත්වීමට අවශ්‍ය ආහාර ලබාගැනීමට ගත් ණය පියවීම සඳහා තවත් ණය ගන්නන් බවට පත්ව තිබෙන බව කිව යුතුයි. මේ අතර විවිධ ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ණය ලබාගන්නා ප්‍රමාණය සියයට 15.7කි. මේ සංඛ්‍යාව හාර ලක්ෂ අනූ එක් දහසක් වෙනවා.

මෙලෙස ණය ගැනීමට විවිධ උපක්‍රමවල යෙදෙනවා. සියයට 31ක් හෙවත් නව ලක්ෂ හැත්තෑදහසක ප්‍රමාණයක් රන් භාණ්ඩ හා වෙනත් දේවල් උගස් තබා ණය ගන්නවා. සමහරුන් ගිවිසුම්ගතව ණය ලබාගන්නවා. 2022 වසරේ මාර්තුවලින් පසු රටේ ණයගැතිභාවය සියයට 22ක් පමණ වැඩිවී තිබෙනවා. ඒ සංඛ්‍යාව පවුල් හය ලක්ෂ අසූ අටදහසක් වෙනවා. මේ ණයගැති භාවය එන්න එන්නම වැඩිවෙනවා. මෙලෙස ණයගැති භාවය ඉහළ යාම නිසා පවුල්වල සාමාජිකයන්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය හා සාමාජික අංශ බිඳ වැටෙනවා. මේ තත්ත්වය දිගුකාලීනව පවතින්නක්. මෙම තත්ත්වයට පිළියමක් වශයෙන් රජය අස්වැසුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහෙත් එම ආධාර අවශ්‍යම අයට ලැබෙනවාද යන්න ගැටලුවක්. මෙවැනි වැඩසටහන් අවසානයේදී දේශපාලන ව්‍යාපෘති බවට පරිවර්තනය වීම වළක්වන්න බැහැ. පෙර තිබූ සමෘද්ධිය වගේම අස්වැසුම වැඩසටහනද දේශපාලනීකරණය වෙලා තිබෙන බව කිවයුතුයි. අස්වැසුමට මුදල් ලැබෙන්නේ ලෝක බැංකු ව්‍යාපෘතියකින්. මා දන්නා හැටියට එම මුදල් ආධාර නොවෙයි. සහන පොලියට ලැබෙන ණයයි. ඒවා කවදා හරි ගෙවන්න වෙනවා. මෙවැනි දීමනා බොහෝ පවුල් පාවිච්චි කරන්නේ එදිනෙදා පාරිභෝජනය සඳහායි. ඒ නිසා මෙවැනි ආධාර දීලා ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවන්න බැහැ. රජය ජනතාව නිසි මගට යොමුකරන්නට උනන්දු වන බවක් දක්නට නැහැ.

අද පවතින ආර්ථික අර්බුදය නිසා විශාල ලෙස බැටකන ජනතාව වෙන්නේ වතු කම්කරුවන්. වතු නිවාසවල ජීවත්වන ලක්ෂ 10ක පමණ ජනතාවක් පවුල් දෙලක්ෂ 70 දහසක් අඩංගුයි. මේ අයගෙන් සියයට 63කට අධික ප්‍රමාණයක ආදායම ඉතාම පහළ මට්ටමක බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. ඔවුන්ට එදිනෙදා ජීවත්වීම සඳහා අවශ්‍ය ආහාර සොයාගැනීමටද හැකියාවක් නැහැ. එම පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය ප්‍රශ්නවලට විසඳුමක් ලැබී නැහැ. රජය සහ වෘත්තීය සමිති මෙම ගැටලු ගැන අවධානය යොමු කරන බවක් දක්නට නැහැ. අවම වැටුප දිනකට රුපියල් 1000 ගෙවන බව පැවසුවද ප්‍රායෝගිකව එය සිදුවන්නේ නැහැ. සමහර ශ්‍රමිකයන්ට මසකට වැඩ ලැබෙන්නේ දින 7-8 පමණයි. ඒ නිසා ලැබෙන ආදායම දිනකට වේලක් කෑමටවත් ප්‍රමාණවත් වන්නේ නැහැ.

මෙවැනි අයට රුකියාවල් දීමට රජයට නොහැකි බව ඇත්තයි. එහෙත් මෙතැනදී රජය කළ යුත්තේ ඔවුන්ගේ ආදායම් මාර්ග ඉහළ දැමීමට අවශ්‍ය පරිසරය සකස් කිරීමයි. එහෙම නැතුව දීමනා දීමෙන් සිදුවන්නේ තාවකාලික සහනයක් පමණයි. මේ නිසා ස්ථීර විසඳුමක් සෙවිය යුතුයි. සමෘද්ධිය අවුරුදු 10-12 දුන්නත් ජනතාවට සිදුවූ සහනයක් නැහැ. මේ වනවිට අස්වැසුම යටතේ ලියාපදිංචි වෙලා ඉන්නේ සමෘද්ධිලාභීන් තමයි. තවදුරටත් මෙම වැඩසටහන් ඉදිරියට ගෙනයාම අපහසුයි. ඒ නිසා රටේ ජනතාව මුහුණ දෙන පීඩනයට ස්ථාවර විසඳුමක් ලබාදීම වගකිවයුත්තන්ගේ යුතුකමක්. අද පවතින ආර්ථික තත්ත්වය නිසා සමාජ අසහනය තීව්‍ර වෙලා.

අද වනවිට ජනතාව ජීවත්වීමේ සටනකට අවතීර්ණ වෙලා. බොහෝ අයට තමන්ට ලැබෙන මුළු ආදායම පවා ආහාර සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. අනිත් අතට ඔවුන්ට වියදම් කිරීමට සිදුවෙලා තියෙන්නේ ආහාර මිලට ගැනීමට පමණක් නොවෙයි. සෞඛ්‍ය, අධ්‍යාපන, සමාජ කටයුතු ආදී විවිධ අවශ්‍යතා සඳහා වියදම් කිරීමට සිදුවෙනවා. එවිට සිදුවන්නේ ණය ලබාගෙන පිරිමසා ගන්නයි. ඒ ණය හා පොලිය ගෙවන්නට තවත් ණයගන්න සිද්ධ වෙනවා. හරියට අපේ ආණ්ඩුවට සිද්ධවෙලා තිබෙන දේ වගේ. ජනතාවට මුහුණ පාන්නට සිදුව ඇති මෙම අර්බුදය වසරෙන් වසර තීව්‍ර වනවා. මේ තත්ත්වයට මුහුණ දීම සඳහා කළයුතු එකම ප්‍රතිකර්මය ජනතාවගේ ආදායම් මාර්ග වැඩි කිරීමයි. එහෙත් ආණ්ඩුවට ඒ සඳහා හැකියාවක් නැති බවයි පෙනෙන්නේ. මෙය දැවෙන සමාජ ප්‍රශ්නයක් බවට පත්ව ඇත්තේ මේ නිසයි.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03