පේරාදෙණිය/ කැලණිය සරසවි අධ්‍යයනයක් හෙළි කරයි
මෑතක සිට මේ රටේ මිනිසුන් මත බලපා ඇති දැඩි ගැටලුකාරී පීඩාකාරී තත්ත්වයන් හමුවේ ඔවුන් බහුතරයක් මානසික රෝග සඳහා ගොදුරු වෙමින් ඇති අතර සියදිවි නසාගැනීම් සහ එබඳු විනාශකාරී තීන්දු ගැනීම සඳහා වූ පෙළඹවීම් වැනි අපරාධ බහුලව වාර්තා වීමට එය හේතු වී ඇති බව මනෝ වෛද්‍ය විශේෂඥ රූබි රූබන් පෙන්වා දෙයි. විනාශකාරී පෙළඹවීමක් වන සියදිවි නසා ගැනීම සඳහා මඟපෙන්වන මිථ්‍යා අදහස් බහුලව පැතිර යාමට රටේ මේ ගැටලුකාරී ස්වභාවයත් ඒ නිසා මතුව ඇති මේ අසහනකාරී පරිසරයත් දැඩිව බලපා ඇතැයි ඔහු කියයි.
දිවි නසාගැනීම සඳහා පුද්ගලයකු තුළ පෙළඹවීමක් ඇතිවීම යනු මානසික රෝගී බවක ලක්ෂණයක් වන අතර එවන් අදහස් සහ උත්සාහයන් දරන මෙන්ම අන් අය එබඳු විනාශකාරී ක්‍රියා සඳහා යොමුකරන පිරිස නීතිය හමුවට ගෙනැවිත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට ක්‍රියා කිරීම සමාජයේ දැඩි වගකීමක් සහ යුතුකමක් බවත් ඔහු පෙන්වා දෙයි. පුද්ගලයන් තුළ ඇතිවන විවිධ මානසික ආකූලතා හේතුවෙන් දිවිනසා ගැනීම සඳහා යොමුවිය හැකිය. ඒ අතරම තවත් අය, නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර නොගත් සිය මානසික ව්‍යාධිමය පෙළඹවීම අන් අය මත තමන්ගේ සිතින් මවාගත් මිථ්‍යාවන් ද සමඟ පරාරෝපණය මගින් ඒ පුද්ගලයන් ද දිවිනසා ගැනීමට යොමුකිරීමට සමත් වන බව වෛද්‍යවරයා පෙන්වා දෙයි. මෑත කාලීනව රටේ වාර්තා වූ විවිධ දේශනා අසා දිවි නසාගත් අය ද මෙවැනි මානසික පෙළඹවීමකට ලක්වූ පිරිසක් ලෙස හඳුනාගත හැකිය.
අන් අය මෙවන් අපරාධකාරී මෙහෙයුම් සඳහා යොමු කරවන පුද්ගලයන් බොහෝ විට සිය හැසිරීම් සහ විශ්වාසයන් එකිනෙකට අනුපූරක නොවන හෝ පරස්පර විරෝධී විශ්වාස දෙකක් දරන හෝ එහෙයින්ම සංජානන විසංවාදය - (Cognitive dissonance) ලෙස හඳුනාගත හැකි මානසික ව්‍යාධිමය තත්ත්වයට ගොදුරු වූවන් බවත් ඔවුන් සිය ව්‍යාකූල මානසික තත්ත්වය හේතුවෙන්ම එබඳු සමාන මානසික දහරාවක පුද්ගලයන් කෙරේ බලපෑමක් එල්ල කරමින් අපරාධකාරී සියදිවි නසා ගැනීමකට පෙළඹවීම් ඇති කළ හැකි බවත් වෛද්‍ය රූබි රූබන් පෙන්වා දෙයි. මේ අය අන් අය සියදිවි නසා ගැනීමට යොමුකිරීමෙන් තමන් වරදක් සිදුකරන බව දැන සිටින අතරම ඒ වරද සාධාරණීකරණය සඳහා විවිධ මිථ්‍යාමය ආකල්ප, පරම නිදහස, දෙව් ලෝ සැප වැනි යථාවෙන් බැහැර සිහින සංකල්ප ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි. මේ අය තුළ සමාජයේ අන් අය කෙරෙහි හටගන්නා පදනම් විරහිත අවිශ්වාසය නිසා මතුවන ව්‍යාකූලත්වය සහ භින්නෝන්මාදය වැනි ගැටලුසහගත පෞරුෂ ලක්ෂණ - (schizoid and paranoid personality) - දක්නට හැකි බවත් ඔවුන් ඒ තත්ත්වයන්ගේ ගොදුරක් බවට පත්වන අතරම සමාජයේ විවිධ හේතු මත මානසිකව ඔවුන්ගේ තත්ත්වයටම ළං වූ අන් අය කෙරෙහි විනාශකාරී පෙළඹවීම් ඇතිකිරීමට ද සමත් වන බවත් ඔහු පෙන්වා දෙයි. වාර්තාවන්ට අනුව මේ වන විට සියදිවි නසා ගැනීම් අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන් සිටියි. එසේම විවිධ මිථ්‍යා මතවාද සහ ආගමික හැඩරුව ගත් කල්ලිවාද පැතිර යාමේ තෝතැන්නක් බවට ද පත්ව තිබේ. මේ සඳහා ඉහළ යන මානසික රෝග ව්‍යාප්තිය ප්‍රධාන හේතුවක් බව මනෝ වෛද්‍ය විශේෂඥ රූබි රූබන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය පර් යේෂණාත්මකව සනාථ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකික ජනගහනයෙන් 19.4% ක් විෂාදයෙන් හෙවත් මානසික අවපීඩනයෙන් පෙළෙන බවය. අනෙකුත් ආසියාතික රටවල් හා සසඳන විට, ශ්‍රී ලංකාවේ මානසික අවපීඩනයේ ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. ඒ අධ්‍යයන වාර්තා අනුව, මෙවැනි මානසික සෞඛ්‍ය පීඩාවන්ට මුහුණ දෙන්නේ ආසියාතිකයන්ගෙන් 16.1% ක් පමණි. කෙසේ වෙතත්, මානසික සෞඛ්‍යමය ගැටලු යනු මානසික අවපීඩනය පමණක් නොවේ.
ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ පසුවන්නන්ගෙන් 40% ක් තනිකම, කාංසාව හෝ සියදිවි නසාගැනීම් වැනි මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙළෙන බව මේ අධ්‍යයනය මගින්ම නිරීක්ෂණයට ලක්ව ඇති අතර, ඒ සම්බන්ධ ඇස්තමේන්තුගත ගෝලීය ව්‍යාප්තියේ සාමාන්‍ය 10%-20% අතර වේ. ඒ හා සසඳන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය දෙගුණයකටත් වඩා වැඩිය. මේ දත්ත සහ වාර්තා අනුව ශ්‍රී ලංකාව මේ වන විට මානසික සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටින බව විශ්වාසයෙන් කිව හැකිය. එසේම එවැනි අවාසනාවන්ත යථාර්ථයකට අප පත්ව ඇත්තේ කෙසේද සහ ඇයිද යන්න පිළිබඳව අවධානය යොමුකිරීම වැදගත් වනු ඇත. ලෝක සෞඛ්‍ය සේවාවේ මඟපෙන්වීම් සහ ආධාර තිබියදීත්, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කැළඹීමකට ලක්ව ඇති අතර, එය කොවිඩ්-19 නිසා ඇති වූ දැවැන්ත ආතතියේ අනුප්‍රාප්තිකයක් මෙන්ම වත්මන් ආර්ථික අර්බුදයෙන් පසුව දැඩිව මතුව ආ ගැටලුවකි.
අත්‍යාවශ්‍ය ඖෂධ තොග හිඟය, ව්‍යාජ ඖෂධ සමාජගත වීම, වෛද්‍ය හිඟය සහ රට හැර යාම් මෙන්ම අධික සේවා ගාස්තු, දැරිය නොහැකි බදු වැනි අලකලංචි මැද සමස්ත සෞඛ්‍ය අංශයම කඩා වැටීම කෙරෙහි බහුතර අවධානය යොමු වී ඇති නමුදු මානසික සෞඛ්‍ය සඳහා දැක්විය යුතුව ඇති දැඩි අවධානය සහ සැලකිල්ල ගැන කිසිදු කතාබහක් පවා මේ වනතුරු සමාජගතව නැත. ඒ හේතුවෙන් විවිධ රෝගී මානසිකත්වයෙන් යුතු සයිකෝසීය පුද්ගලයන් හට සමාජයේ ප්‍රධාන මාතෘකා බවට පත්වෙමින් සිය මුලාවන් තුළට බහුතරයක් ආකර්ෂණය කර ගනිමින් නොඇසූ විරූ අපරාධ සඳහා යොමුකිරීමේ අවස්ථාව උදා වී තිබේ.
මානසික අවපීඩනය, කාංසාව සහ වෙනත් මානසික සෞඛ්‍ය අක්‍රමිකතා ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය අර්බුදයක් වර්ධනය වෙමින් පවතින බව ඒ ක්ෂේත්‍රයේ බොහෝ ප්‍රවීණයන් විසින් පෙන්වා දී තිබේ. අර්බුදයට මූලික වශයෙන් හේතු වී ඇත්තේ මානසික සෞඛ්‍ය ගැටලු පිළිබඳ පුළුල් හා නිවැරදි අවබෝධයක් නොමැතිකම, මානසික රෝග පිළිබඳ වැරදි විශ්වාස සහ උපකාර පැතීම හා සම්බන්ධ අපකීර්තිය, වෙන්කර හෝ කොන්කර සැලකීම ඇතුළු සමාජීය සාධකවල එකතුවකි.
මේ ඇතැම් විශේෂඥයන්ට අනුව ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය අර්බුදයක් වර්ධනය වෙමින් පවතින අතර, එසේ තිබියදීත් මානසික සෞඛ්‍යය යනු කුමක්ද සහ එය වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳව සමාජය තුළ නිසි අවබෝධයක් හෝ ඒ ගැන අවධානයක් හෝ නොමැත. එසේම, පවතින මානසික සෞඛ්‍ය සේවා පිළිබඳව පවා ජනතාව අතර පුළුල් දැනුවත් කිරීමක් සිදුව නොමැත. උපදේශන, ආධාර, ප්‍රතිකාර, ඖෂධ සහ රෝහල් පහසුකම් ආදී සම්පත් සම්බන්ධයෙන් ගත් කල වුවද, ඒවා බහුල නොවන අතර, මිනිසුන්ට භාවිත කළ හැකි නිශ්චිත සංඛ්‍යාවකට සීමා වී තිබේ. බොහෝ විට භාෂා බාධකයක් ද දක්නට හැකිය. තවමත් භාෂා තුනෙන්ම හොඳ තත්ත්වයේ සේවාවන් උපදේශනයට ලබාගත නොහැකිව තිබේ. එහිදී මිනිසුන්ට තම ආතතිය සමඟ සංහිඳියාවට ගනුදෙනු කිරීමට කාලය ගත නොකරයි. ආසියාතික සංස්කෘතියේම වැරදි ආකල්පමය බලපෑමක් ලෙස මානසික සෞඛ්‍ය යනු ශ්‍රී ලංකාව තුළ ද තහනම් හෝ අපකීර්තිමත් හෝ රහස්‍යමය මාතෘකාවකි. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව, රටේ බහුතරයකට මොහොතක් ගත කර ඔවුන්ගේ හෝ සමීපතමයන්ගේ හෝ මානසික අරගල සමඟ සම්බන්ධ වීමට ඇප කැප වී සොයා බැලීමට කාලය නැත. ඒ හෙයින් වත්මන් ජීවන අරගලය මානසික සෞඛ්‍ය පිරිහීමට සහ කැළඹීමට බෙහෙවින් දායක වී තිබේ. ඒ හේතුවම මානසික ගැටලු වැපිරීමට ද බරපතළ ලෙස දායක වී තිබේ.
එසේම මානසික සෞඛ්‍ය ගැටලු විසඳීමේදී සම්පත් හිඟයකටත් වඩා, බරපතළ විද්‍යාත්මක දැනුවත්භාවයක් නොමැතිවීම බලපායි. එය නාගරික ප්‍රදේශවලින් ඔබ්බට විශේෂයෙන් අපකීර්තියට පත් වූ මාතෘකාවක් බවට තවමත් පත්ව තිබේ. මේ නිසා බොහෝ විට, මානසික සෞඛ්‍ය ගැටලු ඉවත දැමිය හැකිය, නොසලකා සිටිය හැකිය හෝ ඒ වෙනුවට විද්‍යාත්මක ප්‍රතිකාර වෙනුවට මිථ්‍යා ආදේශක කරා ඇදී යා හැකිය. තවමත් බොහෝ අය කේන්දර සහ අණවින, කොඩිවින විශ්වාස කරයි, එබැවින් බොහෝ විට මෙම විවිධ සංස්කෘතික විශ්වාසයන් වෘත්තීය මානසික සෞඛ්‍ය සහාය ලබා නොගැනීමට හේතුවක් ද වේ. මානසික රෝගී තත්ත්ව පිළිබඳ මේ නොදැනුවත්කම සහ තමන් ද ඒ පීඩාවේම කොටසක්ව සිටින පිරිස ඉතා පහසුවෙන්ම එබඳු රෝගී මානසිකභාවයන් සහිත පුද්ගලයන්ගේ යථාවාදී නොවන සිහිනමය අදහස් මගින් මෝහනයකට ලක්ව සමූහ දිවිනසා ගැනීම් වැනි අපරාධකාරී ක්‍රියා සඳහා යොමුවීමේ අවස්ථාව ඉහළ ගොස් තිබේ.
විශේෂඥ වෛද්‍ය රූමි රූබන් පෙන්වා දෙන්නේ මේ වැනි විවිධ මිථ්‍යාවන් දරන, පතුරවා හරින සහ දිවිනසා ගැනීම් වැනි අපරාධ මානසිකත්වයන්ට අනුබල දෙන පුද්ගලයන් නීතිය හමුවට ගෙනැවුත් එතැනින් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් සඳහා ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු කිරීම සමාජයේ කොයි කාගේත් වගකීමක් බවය.
I සුගත් පී. කුලතුංග ආරච්චි