2024 ජනවාරි 13 වන සෙනසුරාදා

සැකකාර ඇමතුමකින් ප්‍රේමයට පිහි පාරක්

 2024 ජනවාරි 13 වන සෙනසුරාදා, ප.ව. 02:00 36

කාර්යාල බස් රථයෙන් බැස පාර මාරු වී ත්‍රීරෝද රථයක් වෙත යන කාන්තාවකි. පාරේ අනෙක් පස මෝටර් රථයක් ළඟ බලා සිටි පුද්ගලයකු සැණෙකින් දිවවිත් අත වූ ආයුධයකින් කාන්තාවකගේ උදරයට ඇන්නේය. ඉවසාගත නොහැකි වූ ඈ සතුව තිබූ අත්බෑගය උදරයට තබාගෙන වේදනාවෙන් පහත් වූවාය. මාරාවේශයෙන් පසු වූ පුද්ගලයා පහත් වූ කාන්තාවගේ ගෙලට තව තුන් හතර වතාවක් එකදිගට පිහි පහර එල්ල කළේය. සිහිසුන් කාන්තාව ලේ ගොඩක් මැද ඇද වැටෙද්දී සැකකාර පුද්ගලයා මෝටර් රථයට නැගී පලා ගියේය.

රූගත කිරීමක් හෝ ජවනිකාවක් නොවූ මේ මාරක දර්ශනය සැබැවින්ම සිදුවූයේ දක්ෂිණ අධිවේගයේ කහතුඩුව පිවිසුම ඉදිරිපිටය. ඉකුත් 09 වැනිදා පස්වරුවේ වූ සිද්ධියෙන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරිනියක ලෙස සේවය කළ කාන්තාවක ජීවිතක්ෂයට පත් වූවාය. දුලාංජලී අනුරුද්ධිකා මාපිටියගේ (41) නැමැති එක්දරු මවක එසේ මියගොස් තිබෙන බව කහතුඩුව පොලිසිය වාර්තා කළේය.

මේ කාන්තාව පිළියන්දල, මඩපාත, ජබුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටියාය. වෛද්‍යවරයකු සමඟ විවාහ වී සිටි මැය සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත් කටුනායක පිහිටි කාර්යාලයේ සේවය කළාය. බොහෝවිට කාර්යාල ප්‍රවාහන සේවාවකට අයත් රථයකින් සේවයට යන එන ඇය විටෙක වෛද්‍ය සැමියාට අයත් මෝටර් රථයෙන් අධිවේගී මාර්ගය හරහා කාර්යාලයට ගියාය. පසුගිය 09 වැනිදා පැවතියේ වැසිබර කාලගුණයක් නිසා සිය හිතවතකු සමඟ සැමියාගේ මෝටර් රථයෙන් සේවයට ගියේය. ඔවුන් නැවත පැමිණෙමින් සිට ඇත්තේ කාර්යාල ප්‍රවාහන බස් රථයකිනි. මෙදින උදෑසන පටන් දුලාංජනීගේ දුරකතනයට ලැබෙන ඇමතුමකි. එහෙත් ඊට ප්‍රතිචාර දෙන්නට ඇයට උනන්දුවක් තිබී නැත. එසේ තිබියදී එදින සවස ධාවනය වෙමින් පැවති කාර්යාල ප්‍රවාහන බස් රථය පසුපස කළු පැහැති මෝටර් රථයක් එන බව දැක තිබුණේ අහඹුවකිනි. දන්නා කියන වාහනයකට සමාන නිසා ඒ දෙස අවධානය යොමුකිරීමේදී තමා යන බස්රථය ලුහුබඳින බව වටහාගන්නට හැකිව තිබුණාය. එම මෝටර් රථයත් එහි පුද්ගලයාත් මඟහරිනු පිණිස උපායක් සිතූ දුලාංජලී වහා අන්තර්ජාලය හරහා ත්‍රීරෝද රථයක් කුලී ගමනට ඇණවුම් කළාය. ඒ කහතුඩුව අධිවේගී පිවිසුම අසළ සිට ජබුරලිය දක්වාය.

කාර්යාල ප්‍රවාහන බස්රථය කහතුඩුව පිවිසුම අසළට පැමිණෙන විටත් කුලී ත්‍රීරෝද රිය කොළඹ දෙසට හරවා නවත්වා තිබුණේය. කාන්තාව අධිවේගී පිවිසුම අසළ බසින විට හොරණ පාරේ පසෙක කළු පැහැති මෝටර් රථය නවතාගෙන සැකකරු එතැන සිටිනවා දැක ඇත. මේ අතර කාන්තාවගේ මිතුරකු සමඟ බසයෙන් බැස පාර මාරුවී තිබුණේ කුලී රථයට නැගීමේ අදහසිනි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ සැකකරු තියුණු ආයුධයක් අතැතිව දිවවිත් කාන්තාවගේ උදරයට පහරක් එල්ල කළේය. පහර කාගෙන වේදනාවෙන් පහත් වූ ඇයගේ ගෙලට පහර කිහිපයක් එල්ල කරන්නට ඔහු පැකිළුණේ නැත. විලාප නගමින්  ලේ විලක් මැද කාන්තාව බිම ඇද වැටෙද්දී සැකකරු මෝටර් රථයට නැගී පලා ගියේය. පොලීසිය පැවසුවේ සැකකරු හෝමාගම දෙසට ගොස් ඇති බවකි.

ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ මිතුරා මැදිහත්ව තුවාල ලැබූ තැනැත්තිය වෑතර රෝහට ඇතුළත් කිරීමට පියවර ගත්තේය. ඒ අතර සිද්ධිය 119 අංකය අමතා පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම් දුන්නේය. මෙහිදී වෛද්‍යවරු පවසා තිබුණේ කාන්තාව මියගොස් ඇති බවකි.

සිද්ධිය වූ ස්ථානයට කහතුඩුව පොලිසිය සමඟ ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්‍ෂණ නිලධාරීන් හා කැස්බෑව මහේස්ත්‍රාත්වරයා පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදුකළේය. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන ගොස් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකොට එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබිණ. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය 10 වැනිදා කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කෙරිණ. පසුව සිද්ධිය ගැන විමර්ශනයේදී සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. ඔහු විදේශයකට පලායෑමේ සැකයක් තිබූ බැවින් විදෙස් ගමන් තහනමක් පැනවීමට පොලීසිය පියවර ගත්තේය. ඒ අනුව ඔහු 10 දින රාත්‍රියේදී රටින් පලායෑමට ගුවන් තොටුපොළට ගියවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඒකකයේ නිලධාරීහූ  සැකකරු අත්අඩංගුවට ගත්හ.

සැකකරු වයස අවුරුදු 48ක විවාහක පුද්ගලයෙකි. ඔහුගේ පාපොච්චාරණය අනුව ඝාතනයෙන් පසුව සැකකරු කුලියට පදිංචිව සිටි පානදුර බෙක්කේගම ප්‍රදේශයේ තෙමහල් නිවසට ගොස්  මෝටර් රථය එතැන සඟවා තබා එහි යතුර පිළියන්දල, මඩපාත, රුචිරපුර ප්‍රදේශයේ නිවසකට ලබාදී කුලී රථයකින් කටුනායක බලා ගොස් තිබේ. ඒ අනුව පොලීසිය සැකකරු සමඟ එම නිවෙසට ගොස් සඟවා තිබූ මෝටර් රථය පොලිස් භාරයට ගෙන තිබෙන අතර ප්‍රහාරයට භාවිත කළ ආයුධය අසළ කැලෑවක සඟවා තිබියදී සොයාගෙන ඇත.

වැඩිදුර විමර්ශනයේදී හෙළිවූයේ සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන දැනට විදේශ රටක සැඟව සිටින රත්මලානේ ධර්මසිරි නමැත්තාගේ සහෝදරයකු බවය. ඒ බව හෙළි වී ඇත්තේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. මොහු ව්‍යාපාරිකයකු බවත් ඔහුට අයත් කාර්යාලයක් බම්බලපිටියේ ඇති බවටත් අනාවරණය වී ඇත. කොන්ත්‍රාත්කරුවකු ලෙසත් කටයුතු කරන ඔහුට වයස අවුරුදු 6,8,10 හා 19 වයස්වල පසුවන දියණියන් හතර දෙනකු සිටිති. පැවති පවුල් ආරවුල් නිසා මීට දෙවසරකට පමණ ඉහතදී සැකකරුගේ බිරිය මොහුව අත්හැර ගොස් තිබෙන බව හෙළිවී ඇත.

සැකකරු මියගිය කාන්තාව හා ඇසුරක් පටන්ගෙන ඇත්තේ 1996 වසර සිටය. නමුත් 2000 වසරේ මොහු වෙනත් කාන්තාවක හා විවාහ වී ඇත. පසු කලෙක මියගිය කාන්තාව වෛද්‍යවරයකු සමඟ විවාහ වී ඇත. සැකකරු විටින් විට විදෙස් ගත වුවද මේ වසර ගණනාව පුරාම අනියම් ඇසුර පවත්වා තිබේ. මීට දින ගණනකට පෙර මොරටුව හෝටලයකදී යුවළ හමුවී තිබෙන අතර කාන්තාවට ලැබුණු දුරකතන ඇමතුමක් හේතුවෙන් බහින් බස්වීමක් පටන්ගත් බව සැකකරු ප්‍රකාශ කර තිබේ. එම කතාබහ දුරදිග යාමෙන් පසුව කාන්තාව මරා දමන බවට කිහිපවතාවක්ම තර්ජනය කොට ඇත. ඒ නිසා මේ කාන්තාව අනියම් පුරුෂයා මඟහරිමින් සිට ඇති බව පැවසේ. එමෙන්ම වෛද්‍ය සැමියා හා දරුවා සමඟ විදෙස්ගත වීමේ සැලසුමක පසුවී ඇතැයිද කියැවේ. එවන් පසුබිමක වූ ඝාතනය ඇයව මැරීමේ අරමුණින් එල්ල කළ ප්‍රහාරයක් නොවන බව සැකකරු  පාපොච්චාරණය කොට ඇතැයි පොලීසිය පැවසීය.

සිද්ධිය පිළිබඳව ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ගල්කිස්ස කොට්ඨාස අංක 02 භාර සහකාර පොලිස් අධිකාරි නිලංග මහතාගේ උපදෙස් මත කහතුඩුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංකර මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඉසුරු වික්‍රමරත්න, පො.සැ (41445) ලලිත්, පො.කො. (97337) ඒකනායක (93586) දිල්ෂාන් (8436) ප්‍රියංකර (94949) මධුසංඛ යන නිලධාරීහු විමර්ශන සිදුකරති.

I සමන්ත ප්‍රදීප් විල්තෙර