පවතින ජීවන බර දරාගත නොහැකි බැවින් 2024 අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප රුපියල් 20,000කින් වැඩිකරන ලෙසට ඉල්ලා වෘත්තීය සමිති විරෝධතා දක්වන්නට වූයේ අයවැයට පෙර සිටය. ජනවාරි මාසයේ සිට වැටුප රුපියල් 20,000කින් වැඩි කිරීම, වැඩි කරන දීමනා සහ වැටුප් ජනවාරියේ සිට ලබාදීම, 2015 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාදීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක රාජ්‍ය සේවකයන් පසුගිය නොවැම්බරයේ උද්ඝෝෂණවල නිරත වූහ.
එම ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවකයන් සඳහා 2024 අප්‍රේල් මාසයේ සිට රුපියල් 10,000ක දීමනාවක් ලබා දෙන්නට ආණ්ඩුව පියවර ගෙන තිබිණි. පසුව එම දීමනාවෙන් රුපියල් 5000ක් ජනවාරියේ සිටම ගෙවන්නටද තීරණය විය. එහෙත් වෘත්තීය සමිති දිගින් දිගටම කියා සිටියේ රටේ පවතින උද්ධමනයට සරිලන පරිදි රුපියල් 20,000ක දීමනාවක් තමන්ට අවශ්‍ය බවටය.
රාජ්‍ය සේවයේ නිරත පිරිස ලක්ෂ 14කට අධිකය. ඔවුන්ට රුපියල් දසදහසකින් වැටුප් වැඩිකිරීම සඳහා රුපියල් බිලියන 168ක්ද, ලක්ෂ 7ක් වන විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප වැඩි කිරීම සඳහා බිලියන 21ක්ද වසරකට අවශ්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය සඳහන් කරයි. ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසන පරිදි රාජ්‍ය බදු ආදායමින් බිලියන 1265ක්ම වැයවෙන්නේ රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාය. ඒ අනුව රටේ ජනතාව ගෙවන බදුවලින් 72%ක්ම වැය වන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහාය.
අවසන් වරට රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩිවූයේ 2015 වසරේය. එවක පැවැති යහපාලන ආණ්ඩුව 107% කින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප වැඩි කිරීමට පියවර ගත්තේය. මේ වනවිට ආණ්ඩුව විවිධ බදු පනවමින් රජයේ ආදායම වැඩිකර ගැනීමට පියවර ගෙන තිබේ. එතෙක් 15%ක්ව පැවැති එකතු කළ අගය මත බදු හෙවත් වැට් බද්ද 18%ක් දක්වා වැඩි කර අලුතින් භාණ්ඩ 97කටද වැට් බදු පැනවීය. එහි ප්‍රතිඵලයක් ලෙස එළවළු, මාළු ඇතුළු සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මෙන්ම අනෙකුත් භාණ්ඩ මිලද අහස උසට නැග තිබේ. වෙනදා තුන්වේල කෑ ජනතාව අද කන්නේ එක් වේලක් හෝ දෙවේලකි. ඒ අනුව රටේ වැඩකරන සියලුම ජනතාවගේ වැටුප අවම වශයෙන් තුන්ගුණයකින් පමණ වැඩි විය යුතුය. මේ වනවිට රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා, ගමන් දීමනා කපා හැර ඇති අතර, ලක්ෂයට වැඩි වැටුප් ලබන පිරිසට බදු පනවා තිබේ. මේ හේතුවෙන් රටේ බොහෝ අර්බුද නිර්මාණය වූ අතර ඉංජිනේරුවන්, වෛද්‍යවරුන් ඇතුළු විවිධ වෘත්තිකයන් රට හැර යාමටද පෙළඹුණි.
රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම්බන්ධීකාරක චන්දන සූරියආරච්චි ප්‍රකාශ කළේ ''රුපියල් 20,000ක පඩි වැඩිවීමක් වෙනුවට රුපියල් 10,000ක දීමනාවක් ලබාදෙන්නට ආණ්ඩුව පියවර ගෙන තිබෙනවා. ජල බිල, විදුලි බිල, දුරකතන බිල, ගෑස් එක, දරුවන්ගේ පාසල් වෑන් එකට ගෙව්වම අපේ සොච්චම් පඩියෙන් සතයක්වත් ඉතුරු වෙන්නේ නැහැ'' යනුවෙනි.
රාජ්‍ය වියදම් ඉහළ යෑම සහ රාජ්‍ය ආදායම් සීමාසහිත වීම හේතුවෙන් රාජ්‍ය අංශයේ සහ සේවකයන්ගේ වියදම් සීමාකරමින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් මේ වනවිට නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ අතිකාල දීමනා, නිවාඩු දින වැටුප්, ගමන් වියදම් සහ වෙනත් වියදම් විශේෂ ප්‍රතිපාදන නිර්ණායක සීමා තුළ පමණක් දැරිය යුතු බවට සඳහන් කර තිබේ. ඒ අනුව සේවයට පැමිණීම හෝ සේවයේ නිරතවීම තහවුරු කිරීමකින් තොරව මින් ඉදිරියට අතිකාල ගෙවීම් සිදු නොකිරීමටත්, එම අතිකාල ගෙවීම්වල මුළු අගය ඔවුන්ගේ මූලික වැටුප ඉක්මවිය නොහැකි බවත් එම චක්‍රලේඛයේ සඳහන්ය. ඒ හැර තවත් බොහෝ දේ කප්පාදු කිරීමට එම චක්‍රලේඛය මගින් ආණ්ඩුව කටයුතු කර තිබේ. රජයේ සේවකයන් පෙන්වා දෙන්නේ එමගින් තමන් තවත් අසරණ වන බවයි.
මෙලෙස රාජ්‍ය සේවකයන්ට සීමා පැනවීම සම්බන්ධයෙන් චන්දන සූරියආරච්චි සඳහන් කරන්නේ රාජ්‍ය සේවකයන්ගේ වියදම් කපා හැරීමට පෙර රටේ මැති ඇමැතිවරුන්ගේ නාස්තිකාර වියදම් කපා කරන්නට කටයුතු කරන ලෙසටය. ''ආණ්ඩුව චක්‍රලේඛ ගහන්නේ රාජ්‍ය සේවකයගේ සොච්චම් වැටුපට. ඔවුන්ගේ අවම පහසුකම් ටික කප්පාදු කරන්න. ඊට කලින් මැති ඇමැතිවරුන්ට ලබාදෙන තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කරන ක්‍රමවේදය නවත්තන්න. ඔවුන්ගේ නිල නිවාස නඩත්තු කරන්න රජයේ මුදල් වෙන්කිරීම නවත්තන්න. හිටපු ජනාධිපතිවරු පස් දෙනෙක් නඩත්තු කරන්න කෝටි 1100 ආණ්ඩුව වෙන්කර තිබෙනවා. ඒවා නවත්තන්න. රාජ්‍ය සේවකයාට ලැබෙන වැටුප ප්‍රමාණවත් නැහැ. ඔවුන් ණය වෙලයි තම දරුපවුල් රකින්නේ. තුන්වේල කන්න පුළුවන් වැටුපක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක ඉන්න සාමාන්‍ය රාජ්‍ය සේවකයාගේ වරප්‍රසාද කප්පාදුවට එරෙහිව ඉදිරියේදී අපි දැවැන්ත වෘත්තීය අරගලයක් කරනවා'' යනුවෙන් ප්‍රකාශ කළේය.
සියලු වෛද්‍යවරුන් සඳහා පැමිණීමේ සහ ප්‍රවාහන දීමනාව හෙවත් ඩැට් දීමනාව ලෙස මසකට රුපියල් 35,000ක් ලබාදීමට ආණ්ඩුව අනුමැතිය ලබාදුන්නේ පසුගිය සතියේය. එය ඔවුන් වසර නවයක් තිස්සේ කළ ඉල්ලීමට ලද සහනයක් යැයි වෛද්‍යවරු ප්‍රකාශ කළහ. එහෙත් එම දීමනාව වැඩිකිරීම ආණ්ඩුවට පාරාවළල්ලක් බවට මේ වනවිට පත්ව තිබේ. වෛද්‍යවරුන්ට ලබාදුන් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානය වැඩවර්ජනයක් ආරම්භ කළේය එයට සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් සම්බන්ධ වී ඇති අතර ඒ හේතුවෙන් රෝහල් රැසක ප්‍රතිකාර පතා එන රෝගීන් විශාල පිරිසක් පීඩාවට පත්විය.
කෙසේ වුවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ සෞඛ්‍ය සේවකයන් මෙම දීමනාව ඉල්ලා වැඩ වර්ජනය කිරීම අසාධාරණ බවටය.
''මේ සියලු දෙනාගේම ඉල්ලීම වුණේ සමස්ත රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක්. රජය ඒකට ඇහුම්කන් දීල ඒ අනුව සමස්ත රාජ්‍ය සේවයටම රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් ලබාදුන්නා. වර්ජනයට සම්බන්ධ සේවකයන්ගෙන් බහුතරයක් අයත් වෙන්නේ දිවිතීයික ශ්‍රේණියට. තව පිරිසක් ප්‍රාථමික ශ්‍රේණියේ. වෛද්‍යවරු අයත් වන්නේ ජ්‍යෙෂ්ඨ මට්ටමට. රාජ්‍ය සේවය තුළ මේ බෙදීම සාධාරණයි. මේ අය වෛද්‍යවරුන්ට සමාන වෙන්න උත්සාහ කරනවා. ඒක කවදාවත් වෙන්නේ නැහැ. එය නොවිය යුතු දෙයක්. මොවුන් කරන්නේ අනීතික වැඩවර්ජන ක්‍රියාවලියක්'' යනුවෙන් ප්‍රකාශ කළේය.
''ඩැට් දීමනාව කියන්නේ වෛද්‍ය වෘත්තිකයන්ට පමණක් වන දීමනාවක් කියල ඇතැම් අය කියනවා. සෞඛ්‍ය සේවයේ අනෙකුත් වෘත්තිකයන්ට ඩැට් දෙන්න අමාරු නම් ඩැට් කියන්නේ වෛද්‍යවරුන්ගේ බූදලයක් නම් අපිට කැට් හරි, පෙට් හරි, රුට් හරි ඕනෑම නමකින් අප මුහුණ පා සිටින ආර්ථික ගැටලුවට යුක්තිය ඉටු කරන්න කියලා අපි කියනවා'' යනුවෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් ප්‍රකාශ කළේය.
මේ රටේ පෞද්ගලික අංශයේ හා වෙනත් වෘත්තින්හි නිරත වැඩකරන ජනතාව ලක්ෂ 71ක් පමණ සිටිති. එහෙත් රුපියල් දසදහසකින් හෝ වැටුප වැඩිවූයේ ලක්ෂ 14ක් වන රජයේ සේවකයන්ට පමණි. අනිකුත් පිරිසට වැඩි වූයේ බදුබර පමණි.
පෞද්ගලික අංශයේ ඇතැම් සේවකයන් කියා සිටින්නේ රජයේ සේවකයන්ට රුපියල් දස දහසකින් පඩි වැඩි වුවද තමන්ට කිසිවක් වැඩි නොවූ බවයි. එහෙත් රජය විසින් පනවන සමස්ත බදු සියල්ලම තමන්ටද පනවා ඇති වාතාවරණයක් තුළ රජයේ සේවකයන් ඉල්ලා සිටින 20,000ක වැටුප් වැඩි වීම කළහොත් ඒ බරද තමන් වෙත පැටවෙන බව ඔවුහු පෙන්වා දෙති. රජයේ සේවකයන්ට වැඩි කළ වැටුප ගෙවීම සඳහා වසරකට රුපියල් බිලියන 168ක් අලුතින් සෙවිය යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. එම මුදල උපයා ගන්නේ බදුවැඩි කිරීමෙන් බවද එම බදු සාමාන්‍ය ජනතාව මත පමණක් නොව අන්ත දුගී දුප්පත් ජනතාව වෙතද පැටවෙන බවද රටේ සමස්ත ජනතාවටම වැටුප් වැඩිවීමක් අත්‍යවශ්‍ය බවද එහෙත් බදු වැඩිකිරීම හැර වෙනත් විකල්ප වැඩසටහනක් ආණ්ඩුවට නොමැති බවද ඔවුහු පෙන්වා දෙති.
I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා