2024 ජනවාරි 20 වන සෙනසුරාදා

එදා බංකොලොත් කිව්වා: අද නැහැ කියනවා: මොකක්ද ඇත්ත කතාව

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 135

මෙම ලිපිය ආරම්භ කරනුයේ පසුගිය සතියේ ඉරිදා දේශය පුවත්පතේ මුල් පිටුවේ පළවූ පුවතකිනි. එයින් අනාවරණය වූයේ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන රාජ්‍ය කොමිෂන් සභාවක් ඉදිරියේ සාක්ෂි දෙමින් රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම වැරදි යැයි සඳහන් කළ බවයි. ලේකම්වරයා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්වීමට හේතු සොයාබැලීමට පත්කළ පාර්ලිමේන්තු කොමිසම ඉදිරියේ දිවුරුම් දෙමින් අවධාරණය කර සිටියේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් බංකොලොත්භාවය ප්‍රකාශ කළැයි කී සඳහන සම්පූර්ණයෙන් වැරුදි සහගත බවය. ශ්‍රී ලංකාව එවැනි දෙයක් ප්‍රකාශ කර නොමැති අතර එදා ප්‍රකාශ කළේ ලංකාවේ ඇතැම් ණය හිමියන්ට ගෙවීමට තිබෙන ණය හා පොලී මුදල් නැවත ගෙවීමට කෙටි කාලයක් ප්‍රමාද වනු ඇතැයි පැවසීම පමණක් යැයි සඳහන් කර තිබුණි. එය රට බංකොලොත් බවට අර්ථකථනය කිරීම වැරදි බව හෙතෙම පවසා සිටියේය.

මෙහිදී කොමිසම ඔහුගෙන් පෙරළා විමසා ඇත්තේ රට බංකොලොත් බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට දැනටමත් අධිකරණයෙන් දඬුවම් නියම කිරීම පිළිබඳ කියන්නේ කුමක්ද යනුවෙනි. එහිදී ඇඟ බේරා ගනිමින් ඔහු පවසා ඇත්තේ තමා එම නඩුවේ පාර්ශ්වකරුවකු නොවන නිසා කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවය.

ලේකම්වරයාගේ මෙම ප්‍රකාශය නිසා ඔහු අදහස් දක්වන්නේ රටේ නොසිටි අයකු ලෙසදැයි යමකුට සිතෙන්නට පුළුවන. ඔහු මේ රටේ පොළොවේ පය ගසා සිටින්නකු නම් ඔහුට කෙසේවත් මෙවැනි ප්‍රකාශයක් සිදුකළ නොහැකි යැයි යමෙකුට සිතිය හැක්කේ රටේ යථා තත්ත්වය පිළිබඳ සෑම පුරවැසියකුටම යම් ප්‍රායෝගික අවබෝධයක් ඇති නිසාය. එහෙත් ලේකම්වරයා ගතකරන ජීවිතය අනුව රට බංකොලොත් බව ඔහුට අවබෝධ වී නොමැති යැයිද සිතීමට පුළුවන.

රට බංකොලොත් බව මුලින්ම ප්‍රකාශ කළේ අන් කවරෙකුවත් නොව ශ්‍රී ලංකා මහ බැංකුවේ වර්තමාන අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහයි. ඔහු වැඩ භාරගෙන දින කිහිපයකින් එකවරම පැවසුවේ ශ්‍රී ලංකාව බංකොලොත් වී ඇති නිසා ලබාගත් ණය හා පොලිය ගෙවිය නොහැකි බවය. එසේ කියා ණය හා පොලිය ගෙවීම කල්දමා ගැනීම සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අදාළ පියවර ගැනීමට පටන් ගත්තේය. තමා රාජකාරි භාරගෙන එකවරම රට බංකොලොත් බව ප්‍රකාශ කිරීමට අධිපතිවරයා පෙළඹීම ඇතැම් විට විස්මය ගෙන දෙන කරුණක් විය. ඇතැමුන් කීවේ ඔහු මහබැංකු අධිපති වීමට පෙර සිටම මෙයට අදාළ කරුණු අධ්‍යයනය කරමින් සිටි බවකි. ඒ දිනවල රජයේ කිසිදු වගකිවයුත්තකු මෙයට පරස්පර ප්‍රකාශයක් නිකුත් කළේ නැත. මහ බැංකු අධිපති සහ මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද මාධ්‍ය සාකච්ඡාවලදී එක්ව වාඩිවී අදහස් පැවසූ බව අපට මතකය. ඒ අවස්ථාවලදී ලේකම්වරයා කතා කළේ මහ බැංකු අධිපතිගේ ප්‍රකාශයට එකඟ වෙමිනි. එහෙත් මේ ඊයේ පෙරේදා බංකොලොත්වීමට හේතු සෙයන කොමිසම හමුවේ ලේකම්වරයා සාක්ෂි දී තිබුණේ මහ බැංකු අධිපති රට බංකොලොත් බව ප්‍රකාශ කිරීම වැරදි බවටය. මෙම පරිවර්තනයට හේතුව කුමක්දැයි අපට නම් නොවැටහේ.

රට බංකොලොත් කිරීමට වගකිවයුත්තන් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා පාර්ශ්වයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය බංකොලොත් භාවය පිළිගත්තා පමණක් නොව හිටපු ජනාධිපති, මහ බැංකු අධිපතිවරුන් ප්‍රධාන දේශපාලනඥයන් සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ නම් පවා ප්‍රකාශ කරමින් ඔවුන් රට බංකොලොත් කිරීමට වගකිවයුතු බවට නියෝගයක්ද නිකුත් කර ඇත.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වන විශ්වවිද්‍යාල බාහිර කථිකාචාර්ය ජනාධිපති නීතිඥ ප්‍රසන්ත ලාල් ද අල්විස් මහතා ප්‍රකාශ කරන්නේ ලේකම්වරයා රට බංකොලොත් වෙලා යැයි ප්‍රකාශ කිරීම වැරදි බවට ඒ සඳහා සොයාබලන ජනාධිපති කොමිසමට පැවසීමෙන් අධිකරණයට අපහාසයක් වූවාද යන්න නිසැකවම පැවසිය හැක්කේ නියත වශයෙන්ම රට බංකොලොත් වූ බවට ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවේ අඩංගුව තිබේ නම් පමණක් බවය.

''මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ඍජුවම නියෝගයේ සඳහන් වන්නේ රට ආර්ථික ප්‍රපාතයට ඇද දැමීමට එහි නම් සඳහන් කළ දේශපාලනඥයන් හා රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බවයි. එසේම රට බංකොලොත්වීම හා ආර්ථික අගාධයකට දැමීම යන්න කරුණු දෙකක්. එහෙත් ආර්ථිකය බිඳ වැට්ටවීමට බංකොලොත්භාවයද සාධකයක් වෙනවා. ලේකම්වරයාගේ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් වූවාදැයි වෙනම තීන්දුවක් දිය හැකි අතර එය කළ හැක්කේ යම් පාර්ශ්වයක් ඒ පිළිබඳ අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමෙනි. මෙයට පෙරද එක්තරා ඇමැතිවරයෙක් අධිකරණයට අපහාසයක් කළේ යැයි තීන්දුකර දඬුවම් පැනවූයේ යම් කෙනකු ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙනි. මෙම තීන්දුවේද වගකිවයුතු යැයි ප්‍රකාශ කළා මිස එයට කිසිදු දඬුවමක් පනවා නැහැ. එසේ පැනවිය හැක්කේද අගතියට පත් පාර්ශ්වයක් මගින් අධිකරණයට ඒ පිළිබඳ පැමිණිලි කිරීමෙනි. තවම එවැනි දෙයක් සිදුව නැහැ.

කෙසේ වුවද මෙම තීන්දුව රටේ ඉහළම අධිකරණයෙන් දුන් එකක්. එයට අභියෝග කිරීමට කිසිවකුට බලයක් නැහැ. එහෙත් එයට මත ප්‍රකාශ කරන්නට රටේ පුරවැසියන්ට පුළුවන්. මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද ස්වකීය මතය ප්‍රකාශ කළා මිස නඩු තීන්දුව විවේචනය කළේ නැහැ. මෙම තීන්දුව දුන්නේ විගණකාධිපතිවරයාගේ වාර්තාවක් පදනම් කර ගෙනයි. නඩු විභාගයේදීද කිසිවෙක් එයට එරෙහිව කරුණු දැක්වූයේ නැහැ. ඇතැම් වෙලාවට නීතීඥවරු මෙම වාර්තාව සැහැල්ලුවට ගෙන කටයුතු කරන්න ඇති. ණය ගෙවන්නට බැරි බව ප්‍රකාශ කළේ මුදල් අමාත්‍යංශයයි. මහ බැංකුවට එය කරන්න බැහැ. පුද්ගලයෙක් වුවත්, ආයතනයක් වුවද ණය ගෙවන්න බැරි නම් බංකොලොත් හෙවත් ''බුංවත්* වනවා තමා. එය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මුදල් අමාත්‍යංශ ලේකම් කියනවා ඇත්තේ තීන්දුවේ එම වචනය නැති බව නිසා විය හැකියි. එහෙත් ණය ගෙවන්න බැරිනම් රට බංකොලොත් කියන එක කවුරුත් දන්නා දෙයක්.

ශ්‍රී ලංකා මහ බැංකුවේ විශ්‍රාමික නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන පවසන්නේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කිසිදිනක රට බංකොලොත් බව ප්‍රකාශ නොකරන බවයි. එසේ කළා නම් එය ඔහුට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන නිසා එම නිලධාරියා කිසිදු විටෙක ඒ බව පිළිනොගන්නා බව හෙතෙම කියයි.

''බංකොලොත් බව පිළිගත්තහොත් ඒ පිළිබඳ වගකීමේ කොටසක් එයාටත් පැවරෙනවා. එවැනි තත්ත්වයක ඔහු උත්සාහ කරන්නේ කෙලෙසක හෝ එයින් බේරීමටයි. එහෙත් කවුරුත් පිළිගන්නා සත්‍යයක් තමා රට බංකොලොත් බව. ඕනෑම පුද්ගලයකු, ආයතනයක් හෝ රටක වත්කම්වලට වඩා වගකීම් වැඩිවන විට එය බංකොලොත් වෙනවා. එය ශ්‍රී ලංකාවටත් සිදුවුණා. අපි තවමත් බංකොලොත් තත්ත්වයේ තමා තියෙන්නේ. අපට තවමත් අපේ විදේශ ණය ගෙවන්න බැරිවෙලයි තියෙන්නේ. බංකොලොත් නැතිනම් ගෙවන්න පුළුවන් වෙන්න එපායැ. බංකොලොත් යන නිර්වචනයට අනුව රට බංකොලොත් බව කවුරුත් පිළිගත යුතුය.

රටක ශුද්ධ වත්කම් ඍණ වනවිට රට බංකොලොත්. 2022 දෙසැම්බර්වල හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් චීනයෙන් අපට දුන් යුආන් මිලියන් 1400ද වත්කම්වලට එකතු කරලා අපේ වත්කම් අමෙරිකානු ඩොලර් මිලියන 4400ක් බව ප්‍රකාශ කළා. එහෙත් එය අපේ වත්කම්වලට එකතු කිරීම වැරදියි. ඒ මුදල් අපට වැයකරන්න බැහැ. එයට කොන්දේසි දමලයි තියෙන්නේ. ඒ නිසා එය අපේ වත්කමක් නොවෙයි. මූල්‍ය උපදේශකයන් එය පෙන්වා දී තිබෙනවා. අපේ ශුද්ධ වත්කම් තවමත් ඍණ (-) අගයකයි පවතින්නේ. තවමත් විදේශ ණය ගෙවන්න බැරිවෙලා ඇත්තේ ඒ නිසායි.

මුදල් අමාත්‍යංශ ලේකම් මොනවා කිව්වත් රට බංකොලොත් බව කවුරුත් පිළිගන්නවා. ඒ නිසා ලේකම් තමන්ගේ වගකීමෙන් මිදෙන්න ඒ කමිටුවට මොනවා කිව්වත් එය පිළිගන්නා කෙනෙක් නැහැ. ලෝකය අපට ණය නොදෙන්නේ අපට ණය ගෙවාගන්න බැරි බව පිළිගෙන තිබෙන නිසයි. ඒ නිසා සත්‍ය තත්ත්වය අකැමැත්තෙන් වුවද අපට පිළිගන්න සිදුවෙනවා. ඒක රාජ්‍ය නිලධාරියකුට අප වැටී ඇති තත්ත්වය වෙනස් කරන්න බැහැ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් ද අවධාරණය කරන්නේ මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන එකවරම මෙලෙස ඔහුගේ ස්ථාවරය වෙනස් කර ඇත්තේ ඇඟ බේරාගැනීමට බවය. එදා මහ බැංකු අධිපති සමග එකම වේදිකාවක සිටි මාධ්‍ය සාකච්ඡා පවත්වා ණය ගෙවන්න සල්ලි නැහැ. රට බංකොලොත් යැයි පවසා ඊට පසු කොමිසම හමුවේ මෙවැනි ප්‍රකාශයක් කිරීමෙන් ඔහුගේ දෙබිඩි පිළිවෙත අනාවරණය වන බව හෙතෙම පවසයි.

''මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පත්වෙලා දින තුන හතරකින් 2022 අප්‍රේල් 12 දින මාධ්‍ය සාකච්ඡා පවත්වලා එකම වේදිකාවක සිට පැවසුවා රට බංකොලොත්, ණය ගෙවන්න විදිහක් නැහැ කියලා. ණය ගෙවීමද නැවැත්වූවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහද මේ අනුව දේශීයව හා විදේශීය රටවලට පැවසුවා අපට ණය ගෙවන්න විදිහක් නැහැ. අපි ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ඊළඟ ලංකාවේ ණයකරුවන්ටද මෙම පීඩනය යොමුකරලා පොලී අනුපාතය සියයට 33 ඉක්මවා ඉහළ නංවලා ඒ අය අමාරුවේ දැම්මා. මේ අය මෙවැනි ප්‍රකාශයක් කරනවා නම් ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. ඒ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 145 වගන්තිය අනුව මුදල් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. මහ බැංකුව නොවෙයි. එහෙත් ඒකපාර්ශ්විකව නිවේදනය කළා.

මෙය රට අමාරුවේ දැම්මේ විශාල කුමන්ත්‍රණයක් කියලා මා එදත් කිව්වා අදත් කියනවා. මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පත්වුණේ 2022 අප්‍රේල් 8දායි. ඊළඟ දින 2 රජයේ නිවාඩු. ඒ සඳුදා දිනයත් විශේෂ නිවාඩු දිනයක්. එහෙම තිබියදී පත්වෙලා දින 2-3කින් මේ අයට රට බංකොලොත් බවට ප්‍රකාශයක් කරන්න පුළුවන්ද? මෙහිදී සමස්ත පාර්ලිමේන්තුව හා ජනාධිපතිවරයා පවා නොමග යවලයි තියෙන්නේ. එහෙම කියලා දවස් 637ක් රට විනාශ වෙන්න ඉඩහැරලා දැන් කියනවා එහෙම දෙයක් පැවසුවේ නැහැ කියලා. ඔවුන් අධිකරණයද නොමග යවා තිබෙන බව පෙනෙනවා. මෙය අනීතික ක්‍රියාවක්.

සියයට 60ක් ණය කපනවා යැයි කීවා. ඒ අනුව රුපියල් බිලියන 17ක් කපාහරින බවට ඇස්තමේන්තු කළා. දැන් එහෙම කරලා තියෙනවද? මේ දක්වා කිසිදු විදේශ ණයක් කපා හරින්න හැකිවෙලා නැහැ. ඇතැම් රටක් අවුරුදු 2කට ණය නොගෙවා සිටීමට පමණක් එකඟ වෙලා තියෙනවා. දේශීය ණයකරුවන්ද මෙයට එකඟ කරවා ගැනීමට නොහැකි වූවා. අන්තිමට කළේ දුප්පත් කම්කරුවාගේ මුදල් තිබූ සේවක අර්ථසාධක අරමුදල විනාශ කිරීම පමණයි.

ඒ අනුව මුදල් අමාත්‍යංශයේ ලේකම් කළ ප්‍රකාශය සාවද්‍ය බව පෙනෙනවා. මෙය තමන් වරද කරලා ප්‍රශ්නය ඇඟට ආ විට ලිස්සා යාමට කළ උපක්‍රමයක් බව පැහැදිලියි. රට නොමඟ යැවීම පිළිබඳ මේ අයට එරෙහිව පියවර ගන්න ඕනෑ.

I යසවර්ධන රුද්රිගු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02