2024 ජනවාරි 20 වන සෙනසුරාදා

බෝතලේට - දුම්වැටියටත් මිල සූත්‍රයක්

 2024 ජනවාරි 20 වන සෙනසුරාදා, ප.ව. 02:00 178

දුම්වැටි සහ මද්‍යසාර සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජය කටයුතු කරන බවක් පසුගිය සතියේ කියැවුණි. මෙම මිල සූත්‍රය හඳුන්වාදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයක් මත සිදුවන බවද වාර්තා විය. කෙසේ වෙතත් ඉතා ආසන්න දිනකදී නැවතත් දුම්වැටි මද්‍යසාර මිල ඉහළ යනු ඇතැයි බොහෝ දෙනකු ප්‍රත්‍යක්ෂ කොට කීවේ මේ අනුවය. මෙම නව තත්ත්වය පිළිබඳ විමසා බැලීමට අපි තීරණය කළෙමු. සැබවින්ම මෙය සරල ආර්ථික කාරණාවක් නොව ඉතා සංකීර්ණ තත්ත්වයකි.

දුම්වැටි සහ මත්පැන්වල මිල ජනවාරි පළමු සතියේ සිට  ඉහළ දැමීමට රජය කටයුතු කළේය. දුම්වැටියක මිල රුපියල් 05, 15, 20, 25 යන කාණ්ඩ 04 යටතේ ඉහළ දැමුණ අතර මිලිලීටර් 750ක මත්පැන් බෝතලයක මිල රුපියල් 300 කින් පමණත් බියර් බෝතලයක මිල රුපියල් 50කින් පමණත් ඉහළ ගියේය.

අප සතු ඇති තොරතුරු අනුව මත්පැන් නිෂ්පාදන ආයතන 23ක් පමණ තිබේ. ඔවුන්ගේ මිල ඉහළ දැමීමේ පරිමාවන් අතර වෙනස්කම්ද පවතින බව සඳහන් කළ යුතුය. එසේම මත්පැන් වර්ග පාදක කොටගෙනද මෙම මිල ඉහළ යාමේ වෙනස්කම් පවතී. මෙම සියලු මිල ඉහළ යාම සඳහා පාදක වූයේ පසුගිය බදු සංශෝධනයයි. කෙසේ වෙතත් මේ වන විට නිර්මාණය වෙමින් පවතින්නේ තරමක වෙනස් තත්ත්වයකි.

IMF මිල සූත්‍රයෙන් මත්පැන්-දුම්වැටි මිල තව ඉහළ යා හැකි බව පසුගියදා ප්‍රකාශ කොට තිබුණේ මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතාය. පසුගිය වසරේදී Reset Alcohol නමින් මද්‍යසාර භාවිතයේ ඇති වන අනිටු ප්‍රතිඵල ගැන ජනතාවට අනතුරු අඟවන මාධ්‍ය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරිණි. ලංකාවේ ADIC ලෝක සෞඛ්‍ය සංවිධානය, Vital Strategy Ape TV Academy සහභාගීත්වයෙන් ඇරඹි මෙම ව්‍යාපෘතිය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි කියැවේ.

මෙම ව්‍යාපෘතිය යෝජනා කර ඇත්තේ සුරාබදු වැඩි කිරීමෙන් මද්‍යසාර සහ දුම්වැටි මිල ඉහළ යෑමෙන් රජයට බදු ආදායම වැඩි වී පරිභෝජනය පහළ දැමිය යුතු බවකි. ඒ අනුව පරිභෝජනය පහළ යෑමෙන් මද්‍යසාර සහ දුම්වැටි භාවිත කරන්නන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා වැයවන මුදලද අඩු කරගත හැකි බවද ව්‍යාපෘති යෝජනා කර තිබේ.

ADIC දී ඇති ආකාරයට මෙම යෝජනා හරහා මේ වනවිටත් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකිව ඇත. අධ්‍යයන ප්‍රතිපත්ති කේන්ද්‍රය (IPF) ප්‍රකාශයට පත්කර ඇති පරිදි පසුගිය වසරේ මද්‍යසාර බදු 10%ක් වැඩි කිරීමේදී මද්‍යසාර භාවිතය 11.7%කින් අඩු වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් මෙරට මද්‍යසාර හා දුම්වැටි සඳහා මිල සූත්‍රයක් හෝ මද්‍යසාර සඳහා බදු අයකරන ක්‍රමයක් යෝජනා කර ඇති බව මාධ්‍ය වාර්තා කළේ ඉහත තොරතුරු අනුවය.

මද්‍යසාර සඳහා බදු අය කරන ක්‍රමය අවශ්‍යතාවය මෙම මිල සූත්‍ර යෝජනාවේ පදනම වී ඇති බව ඒ අනුව පෙනී යයි. පසුගිය වසරේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 165.2ක් පමණ වූ බවට වාර්තා පළව ඇත. එහෙත් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් සකස් කළ මද්‍යසාර පාලනය සඳහා වූ අයෝජන වාර්තාවට අනුව පසුගිය වසරේ වසරේදී මෙරට මද්‍යසාර භාවිතය නිසා සිදුවූ සෞඛ්‍ය හා ආර්ථික පාඩුව රුපියල් බිලියන 237 කි.

රටේ පුරවැසියන් විසින් දිනකට රුපියල් මිලියන 590ක් බියර් හා අරක්කු සඳහා වැය කරන බවත් දුම්වැටි සඳහා රුපියල් මිලියන 380ක් දළ වශයෙන් වැයකරන බව මෙම තොරතුරු වාර්තා සඳහන් කරයි. සෞඛ්‍ය වියදම් පිළිබඳ නොසලකා හැරියහොත් පුරවැසියාගේ බීමත්කම සහ දුම්වැටි භාවිතය රටේ ආර්ථිකයේ පැවැත්ම තහවුරු කරන බව පෙනීයයි. මද්‍යසාර සහ දුම්වැටි භාවිතා කරන්නන් මෑතකාලීන මිල ඉහළ යාම අභිමුව දැඩිව එම මතය සමාජගත කරන බව පෙනී ගියේය.

දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන සඳහා නිවැරදි බදු ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා වසරකට රුපියල් බිලියන සියයකට ආසන්න මුදලක් අහිමි වෙමින් තිබෙන බවද පසුගියදා මාධ්‍ය වාර්තා කොට තිබුණි. කෙසේ වෙතත් ගැටලුව වී ඇත්තේ නිවැරදි බදු ප්‍රතිපත්තියක් සකස් කිරීමට බලධාරීන් මැලි වන්නේ ඇයිද යන්නයි. දුම්වැටි සහ මද්‍යසාර නිෂ්පාදන සමාගම් අනියමින් ආරක්ෂා කිරීමට දේශපාලනඥයන් සහ නිලධාරීන් කටයුතු කරන බවට ඕනෑ තරම් චෝදනා තිබේ.

දිනපතා සිදුවන මරණ 40ත් 50ත් අතර ප්‍රමාණයකට හේතු වී ඇත්තේ මද්‍යසාර බවට පැහැදිවම තහවුරු ඇති බව මත්ද්‍රව්‍ය විරෝධී සංවිධාන පෙන්වා දෙයි. ඒ අනුව එම සංවිධාන තර්ක කරන්නේ මෙම තත්ත්වය පැහැදිලිවම වළක්වා ගැනීමට වගකිවයුත්තන්ට හැකි බවයි. එහෙත් එම පිරිස් තාවකාලික ලාභ ප්‍රයෝජන තකා ගතයුතු නිවැරදි තීරණ නොගන්නා බව ඔවුහු කියා සිටිති.

මෙවර අයවැයෙන් පවා මද්‍යසාර පරිභෝජනය ඉහළ දැමීමට අදාළ යෝජනා ඉදිරිපත් කර තිබෙන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරුතුරු මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ ඒ අනුවය. කෙසේ වෙතත් විශාල ආර්ථික අගාධයක් හමුවේ කෙලෙස හෝ රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ අරමුණින් ආණ්ඩුව එම තීරණ ගෙන ඇති බවද පැහැදිලිය. පරිභෝජනය පහළ ගියහොත් සෘජු බදු ආදායම පහළ යන බැවින් දුම්වැටි සහ මද්‍යසාරවලට ඉහළ බදු පැනවීමට ආණ්ඩුව තරමක් මැලිවේ.

ADICහී විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා පසුගියදා මද්‍යසාර අලෙවිකරන ස්ථාන දීර්ඝ වේලාවක් විවෘත ආණ්ඩුව ගත් තීරණය පවා විවේචනය කොට තිබුණි. දුම්වැටි හා මද්‍යසාර භාවිතය නිසා රටේ ආර්ථිකයට විශාලබරක් පැටවෙමින් තිබියදී නීතිවිරෝධී මත්පැන් පාලනයට බව සඳහන් කරමින් මද්‍යසාර අලෙවි කරන ස්ථාන විවෘත කර තැබෙන වෙලාවන් දීර්ඝ කිරීම මෙහිදී දෝෂ දර්ශනයට ලක්විය.

මේ වනවිට දුම්වැටි භාවිතය අඩු වෙමින් තිබුණද දුම්වැටි නිෂ්පාදන සමාගම්වල ලාභය ඉහළ යමින් තිබෙන බවත් මේ නිසා දුම්වැටි ආශ්‍රිතව නිවැරදි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළයුතු මෙම පිරිස් සඳහන් කරයි. මද්‍යසාර අලෙවි කරන ස්ථාන විවෘතව තබන වෙලාවන් වැඩි කිරීම හරහා මද්‍යසාර භාවිතය ඉහළ යාම සිදුවන බවත් මේ හරහා රිය අනතුරු හා විවිධ අපරාධ පවා සිදුවිය හැකි බවත් ඔවුහු කියා සිටිති.

දුම්වැටි සහ මද්‍යසාර සඳහා මිල සූත්‍ර යෝජනාව ඉදිරිපත්ව ඇත්තේ මෙවන් විශාල කථිකාවක් පාදක කර ගනිමිනි. කෙසේ වෙතත් මෙය දෙපාර්ශ්වයටම විවෘත තර්ක සහිත තත්ත්වයක් බව සඳහන් කළ යුතුය. මත්වීම යනු මානව සංහතියේ ආරම්භයේ සිටම මිනිසුන් විනෝදාස්වාදය සඳහා භාවිතා කළ උපක්‍රමයකි. ඒ ඉඳුරාම නවතා දැමීමට හෝ පාලනය කිරීමට පහසු නැත. දැන් එය වෙළෙඳපොළ සහ ආර්ථික ඒකාධිකාරියක් කරාද මෙය ගමන් කර තිබේ. එම නිසාම තත්ත්වය බොහෝ සංකීර්ණය.

I චමිඳු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:03